ගෝඨාගේ පෙත්සම් දෙකම විසිවෙයි

 
ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී  මුදල් අවභාවිත  කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු  පිරිසකට එරෙහිව  පවරා ඇති නඩුව විභාගයට අධිකරණ බලයක් නොමැති යයි නියෝග කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර ඇති පෙත්සම් දෙකම විභාගයට නොගෙන ඉවත දැමීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (11) තීන්දු කළේය. මෙම නඩුව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබිණ.
 
 මෙම අභියාචන පෙත්සම් විභාගයට ගැනීමට නීතිමය පදනමක් නොමැති බහුතර විනිසුරු මඩුල්ලේ තීරණය බවද පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති සිසිර ද ආබෲ මහතා  කියා සිටියේය.
 
 මෙම අභියාචනා පෙත්සම් සිසිර ද ආබෲ , ප‍්‍රියන්ත ජයවර්ධන , ප‍්‍රසන්න ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලිණි.
 
 ඞී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු  විත්තිකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විරෝධතා ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම අභියාචනා පෙත්සම්  ඉදිරිපත් කර ඇත.
 
පෙත්සමේ මෙසේද සඳහන් වේ.

ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක  මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි.

 
එම නඩුව විභාග කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු  මූලික විරෝධතාවක් මතු කෙරිණි.එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කෙරිණි.
 
 එම විරෝධතාව පිළිබඳ අභියාචනා ඉදිරිපත් කළද , එයද ප‍්‍රතික්ෂේප කෙරිණි.එම විරෝධතාව ප‍්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය ඉවත දමා අදාළ  ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට තමාට එරෙහිව නඩුව විභාගයට ගැනීමට අධිකරණ බලයක් නැතැයි නියෝග කරන්නැයි පෙත්සම මඟින් ඉල්ලා ඇත.
 
 පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපිත නීතීඥ අලි සබ්රි මහතා පෙනී සිටියේය.
 
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් , ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් යන මහත්වරුන් පෙනී සිටියේය.

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *