පොහොට්ටුව දිනවන සජිත් ගේ සටන – සම්පත් අමරසිංහ

කුරුණෑගල නගරයේ පැවැති එජාප රැළිය අමතමින්, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය අපේක්ෂා කරන එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේ, තමා ජනාධිපති ධුරයට පත්වුව හොත් ඊළඟ වසර 10 තුළ රට සශ්‍රීකත්වය කරා ගෙන යනු ලබන බවයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට එජාප ජනාධිපතිධුර අපේක්ෂකත්වය ලැබුණ හොත් සහ ඊළඟ ජනාධිපති වරණයෙන් ඒ මහතා ජයගනු ලැබුව හොත් ඔහුගේ පළමු ධුර කාලය තුළ මෙරට විධායක ජනාධිපති ධුරයේ වෙනසක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු වන්නට පුළුවන් කමක් නැත. එපමණක් නොව යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතා 2020 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ධුරයට පත්වුව හොත්, ඒ මහතාගේ බලාපොරොත්තුව වන්නේ හැකි උපරිම කාලය එනම් දෙවන වතාවටත් හෙවත් වසර 10ක් පුරාම එනම් 2030 දක්වාම ජනාධිපති ධුරයේ බලතල ක්‍රියාවේ යොදවන්නටය. ඒ අනුව ගත් කළ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වුවහොත් මෙරට විධායක ජනාධිපති ධුරයේ දැනට පවතින තත්ත්වයට එහා ගිය වෙනසක් සිදුවනවා ඇතැයි අපේක්ෂා කරන්නට හැකියාවක් නැත.

මෙතැනදී විමසා බැලිය යුතු වැදගත් කරුණක් වන්නේ 2020 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයට තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය යන සටන් පාඨයක් ඉදිරිපත් කරන්නට හැකි වාතාවරණයක් ඇති වුයේ කවර හේතු නිසා ද යන්නයි. එම තර්කයේ අනෙක් පාර්ශවය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා තමා විය යුතුය යන මතය ජනගත කරන්නට හෝ මේ වනවිට වටාපිටාවක් සජිත් ප්‍රේමදාස මහතා හමුවේ ගොඩනැඟී ඇත්තේ කවර තත්ත්වයක් යටතේ ද යන්නයි.

එම ගැටලුව ලිහා ගැනීම සඳහා අපට 2015 ජනාධිපති වරණය සහ ඉන් එපිට ආසන්නම කාලය දක්වා යාමට සිදුවේ. 2015 ජනාධිපතිවරණ සටන යනු මාදුලාවේ සෝභිත හිමියන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ ගෙනයනු ලැබුවාවු සටනක කූඨප්‍රාප්තිය හෙවත් අවසන් අධියරයි.

මාදුලාවේ සෝභිත හිමියන් ඇතුළු සමාජ බලවේග විසින් 2015 ජනාධිපතිවරණයට ආසන්න කාලයේ සහ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ දී ඉදිරිපත් කරනු ලැබූ සටන්පාඨ අතරින් ප්‍රධානතම කරුණු දෙකක් වුයේ, එක විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමය. සෝභිත හිමියන් ඉදිරිපත් කරන්නට යෙදුණු තවත් වැදගත් සහ ප්‍රබල තර්කයක් වුයේ ජනාධිපති ධුරයට කවර පක්ෂයකින් කවර තැනැත්තකු පත් වුවද ඔහු ජනාධිපති ධුරයට පත්වනු ලබන්නේ පක්ෂයක සාමාජිකයන්ගේ ඡන්දයෙන් පමණක් නොව සමස්ථ රටවැසියන්ගේ ඡන්දයකින් වන බැවින් ජනාධිපතිධුරයට පත්වනු ලබන තැනැත්තා තම පක්ෂය අත්හැර පක්ෂ දේශපාලනයෙන් ඉවත් වී පොදු ජනතාවගේ ජනාධිපතිවරයා වශයෙන් ඉන් පසුව කටයුතු කළ යුතු බවයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වුයේ, ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේය’ යන පොරොන්දුව පෙරදැරි කර ගෙනය. 2020 ජනාධිපති වරණය සඳහා තමන්ගේ අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය යන තර්කයක් ගොඩ නගන්නට හෝ එම පාක්ෂිකයන්ට මේ මොහොතේ ඉඩ සැලසී ඇත්තේ ද විධායකය අහෝසි කිරීමේ පොරොන්දුව පිට මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනාධිපති වරණයෙන් ජයග්‍රහණය කළ නිසාය.

‘විධායක ජනාධිපති ධුරය අහෝසි කරමි’ යන පදනම මත පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් නොකළේ නම් 2015 ජනාධිපතිවරණය තීරණය වන්නට තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා තුන්වන වතාවටත් ජනාධිපති ධුරයට පත්වීමෙනි. එසේ වුයේ නම් 19වන සංශෝධනයක් ද නැත. එසේ වුයේ නම් මේ වන විට රටේ ක්‍රියාත්මක වන්නේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. එසේ වුයේ නම් මේ වතාවේත් ජනාධිපිතිධුර සටනට එකතුවනු ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාම බවටද සැකයක් නැත.  

මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වී ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පසුව නැවත ශ්‍රී ලං.නි.ප.ය ට ගොඩවැදුණා පමණක් නොව එම පක්ෂයේ නායකත්වය ද බාර ගත්තේය. ඉන් සිදු වුයේ ජනාධිපති අපේක්ෂකයාගේ පොදු බව අහෝසි වී මෛත්‍රි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයා බවට පත් වීමය. 

දැන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට අපේක්ෂකයා වශයෙන් නම් කරන ලෙස ඉල්ලන එජාප පිරිසට අවශ්‍යව ඇත්තේ එක්සත් ජාතික පාක්ෂිකයකු ජනාධිපති ධුරයට පත්කර ගැනීමටය. ඒ අනුව එම පිරිස සෝභිත හිමියන්ගේ එක් සිහිනයක් වන නිර්පාක්ෂික ජනාධිපති තනතුරට මේ වන විටත් පයින් ගසා තිබේ. එය අනෙක් පැත්තෙන් යහපාලන අපේක්ෂාවෙන් 2015 ජයග්‍රහණය සඳහා එක් වූ පිරිසකගේ අපේක්ෂාවන්ටද පයින් ගැසීමකි.

එපමණක් නොව දැන් සජිත් ප්‍රේමදාස මහතා කතා කරන්නේ ධුර කාල දෙකක් ජනාධිපතිකම දැරීම ගැන වන බැවින් ඔහු යටතේ විධායක ජනාධිපති ක්‍රමයේ වෙනසක් වේ යැයි බලාපොරොත්තු වන්නට පුළුවන්කමක් ද නැත. ඒ අර්ථයෙන් ගත් විටද සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු  ඔහුට හිතවත් කණ්ඩායම 2015 ජනවාරි වෙනසට දායක වු පිරිසගේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ අපේක්ෂාවට පිටුපා තිබේ. එවැනි තත්ත්වයක් තුළ සජිත් ප්‍රේමදාස මහතාගෙන් හෝ ඔහුට හිතවාදී පිරිසගෙන් රටේ මූලික අපේක්ෂාවක් සහ අවශ්‍යතාවක් වශයෙන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආදියද ඉටුවේයැයි බලාපොරොත්තු වන්නට හැකියාවක් නැත.

සජිත් ප්‍රේමදාස මහතා අවම වශයෙන් ආණ්ඩුක්‍රම සංශෝධනය, මැතිවරණ ක්‍රම සංශෝධනය, ජාතික ගැටලුව වැනි වචනයක් හෝ තම රැස්වීම්වලදී සාකච්ඡා කරන බවක් ද පෙනෙන්නට නැත. ඒ වෙනුවට ඔහුට වැදගත් මාතෘකා බවට පත්ව ඇත්තේ පන්සල් කෝවිල් පල්ලි ඉදිකිරීම සහ දහම් පාසල් ඉදිකිරීම ආදි කාරණාය.

සජිත් ප්‍රේමදාස මහතාට යම් හෙයකින් එජාප ජනාධිපතිධුර අපේක්ෂකත්වය හිමි වුව හොත් ඔහුගේ ජයග්‍රහණය සඳහා වෙහෙසෙන්නට 2015 වෙනසට දායක වූවන්ට කිසිම හේතුවක් නැත. ජනවාරිවරුන්ගේ සහය නොලැබුණේ නම් 2015 ජනවාරි මැතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන්නේ නැත. සජිත් ප්‍රේමදාස මහතාට ද 2020 ජයග්‍රහණය කරන්නට හයපාලන හිතවාදින්ගේ සහය ‌නොමැතිව හැකි වන්නේ නැත. ඒ අනුව සජිත් මහතා ඇතුළු පිරිස සූදානම් වන්නේ එජාප ය නොව පොහොට්ටුව දිනවන සටනට බව කියන්නට පුළුවන.

සම්පත් අමරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *