තීරු බදු රහිත වාහන බලපත් ඉල්ලා පළාත් සභා මන්ත්‍රිවරු නඩු මගට

පසුගිය කාලයේ පළාත් සභාවලට තේරී පත්වී මන්ත්‍රිවරු ලෙස කටයුතු කළ අය අතරින් සුළු පිරිසකට තීරූබදු රහිත වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබා දී තිබියදී ඉතුරු පිරිසට එය ලබා නොදීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන් බලාපොරොත්තුවන බව පළාත් සභා හිටපු මන්ත්‍රිවරු ප්‍රකාශ කරති. සමානව සැලකීමේ මූලධර්මය උල්ලංඝනය වී ඇතැයි යන පදනමින් මෙම අධිකරණ ක්‍රියාමාර්ගය ගැනීම සඳහා මේ වනවිට නීති උපදෙස් ලබාගෙන ඇති බව ඔවුහු කියති.

මෙම මන්ත්‍රිවරුන් සියලු දෙනාට තීරුබදු රහිත වාහන ලබාදීම සඳහා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිතුමාගේ හා මුදල් ඇමතිතුමාගේ විරුද්ධත්වය නිසා ප්‍රතික්ෂේප වීමෙන් පසුව පළාත් සභා හිටපු මන්ත්‍රී පිරිසක් එක්ව මෙම නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කොට ඇත.

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයකු ප්‍රකාශ කළේ උතුරු පළාත් සභාවේ මෙන්ම දකුණු පළාත් සභාවේද ඇතැම් මන්ත්‍රිවරුන්ට මෙම වරප්‍රසාදය ලැබී තිබෙන බවයි. තමන්ට පමණක් එය අහිමි කිරීම අසාධාරණ බව ඔහු ප්‍රකාශ කළේය. රටේ පැවති අර්ථික තත්ත්වය නිසා එය ලබාදීම ප්‍රමාද කළ ද මේ වනවිට රට ස්ථාවර වී ඇති නිසා මෙය ලබාදීම අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කළේය.

තවත් පළාත් සභා මන්ත්‍රිවරයකු ප්‍රකාශ කළේ මාස කිහිපයක් සඳහා පත්වු ආණ්ඩුකාරවරුන්ට ද මෙම වරප්‍රසාදය හිමි වී ඇති බවයි. ඔහු කීවේ වජිර අබේවර්ධන ඇමතිවරයාගේ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කොට ඇත්තේ අලුතින් වරප්‍රසාද දීමක් නොව සිදුවී ඇති වරදක් නිවැරදි කිරීමක් බවයි.

රජයේ නිලධාරින්ට, වෛද්‍යවරුන්ට ආදී වෘත්තිකයන්ට ද තීරුබදු රහිත වාහන බලපත්දීම නවතා දැමුවද දැන් නැවත ඒම වරප්‍රසාදය ලබා දී ඇති බවද පළාත් සභා හිටපු මන්ත්‍රිවරු කියති.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *