සන්ධ්‍යා එක්නැලි‍ගොඩ කාන්තාවක් නොවේද? – අනුර සූරියබණ්ඩාර

පසුගිය අගෝස්තු මස 31 දා පොදු ජන පෙරමුණේ කාන්තා සමුළුව අමතමින් මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ (වත්මන්) ආණ්ඩුවේ ලොකුම වැරැද්ද කාන්තාවන්ගේ හැඟීම් තේරුම් නොගැනීම බවයි.

විපක්ෂයේ සිටින විට ඔනෑම කණ්ඩායමකට ආණ්ඩුව විවේචනය කිරීමට අවශ්‍ය තරම් කරුණු තිබේ. මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් ගත්විට ද තත්ත්වය එසේමය.‍

එහෙත් මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමේ සැබෑව තේරුම් ගැනීමට පැහැදිලි සාක්ෂි තවමත් මේ භූමිය තුළ ඔනෑවටත් වඩා තිබේ. ඒ සඳහා වැඩි ඈත අතීතයට යාමට අවශ්‍ය නැත. පසුපසට යා යුතුව ඇත්තේ වසර හතරකට ආසන්න කාලයක් පමණි.

මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ ඔවුන් යුද බියෙන්, දකුණේත් උතුරේත් කාන්තාවන් මුදවා ගත් බවයි. යුද්ධය නතර කිරීම පිළිබඳ ගෞරවය ඔවුන් තමන්ට ජීවිත භුක්තියෙන් ලියාගන්නට උත්සාහ කරන බව ඇත්තකි. ඒහෙත් යුද්ධය නතර කිරීම හුදෙක් මහින්ද රාජපක්ෂ පවුලේ හෝ ඔවුන්ගේ සහචරයන්ගේ වික්‍රමයක් පමණක් නොවන බවද අමතක කළ යුතු නැත. එක්සත් ජාතික පක්ෂයේ කරූ ජයසූරිය ඇතුළු පිරිසකගේ සහය ඊට ලැබුණි. පාටලී චම්පික ජනතා විමුක්ති පෙරමුණ ආදීන්ද යුද්ධය නිම කිරීම වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුවට සහයෝගය පළ කළහ. රාජපක්ෂවරුන්ගේ වරද වන්නේ ඒ සියල්ල අමතකකර යුද්ධය හුදෙක් තමන්ගේ වික්‍රමයක් පමණක් යැයි හුවා දක්වන්නට උත්සාහ කිරීමයි.

යුද්ධය අවසන් වීමෙන් පසුව රාජපක්ෂ රෙජිමය මෙරට කාන්තාවන් සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත කුමක්ද? ඒ ගැන තේරුම් ගන්නට ජීවමාන නිදර්ශන කීපයක් සමාජයේ තිබේ. ඉන් එක් තැනැත්තියක් වන්නේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියයි. වත්මන් ආණ්ඩුව හමුදාව (රාජපක්ෂවරුන්ගේ වචන අනුව රණවිරුවන්) දඩයම් කළාය කියන රාජපක්ෂවරුන් වත්මන් ආණ්ඩුවට රණවිරුවන් අත්අඩංගුවට ගැනීමට කරුණු සැලසුණේ කුමක් නිසාද යන්න අමතක වී තිබේ.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය වැන්දඹුවක් බවට පත් වුයේ ඊළාම් යුද්ධය නිසා නොවේ. අවි නොදැරුවකු මෙන්ම මාධ්‍යවේදියකු වූ ඇගේ සැමියා පැහැරගෙන ගොස් (හෙළිවී ඇති කරුණු අනුව) ඝාතනය කිරීමට එකම හේතුව  ඔහු ආණ්ඩු විරෝධි අදහස් දැරීමය. රණවිරුවන් ඊට ගාවා ගැනුණේ රාජපක්ෂ රෙජිමය විසිනි. ඒ අනුව රාජපක්ෂ රෙජිමය කටයුතු කර ඇත්තේ හමුදාව යොදවා තම ප්‍රතිවාදින් ඝාතනය කරවා රණවිරුවන් නීතියේ රැහැනට බිළිදීම බව තේරුම් ගත යුතුය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට පමණක් නොව ඇමරිකාවේත් නඩු පවරා ඇත්තේ ඔහුගේ අතීත ක්‍රියාකාරකම් නිසාය. එසේ අසරණ භාවයට පත් තවත් කතුන් දෙදෙනකු වන්නේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිය සහ ඔහුගේ දියණිය අහිම්සාය. අද කාන්තා අයිතීන් ගැන කතා කරන රාජපක්ෂවරු තම පියා සැමියා ඝාතනය වීමෙන් අසරණ වු අහිම්සා හෝ ඇගේ මව ගැන වගකීම් බාර ගන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් තවමත් උත්සාහ දරන්ණේ නඩුවලින් බේරීයන්නේ කෙසේද කියාය. තමන් අත වරදක් නැති බව හෘද සාක්ෂියට එකඟව දන්නේ නම් ගෝඨාභය මහතා කළ යුතු වන්නේ නිර්භීතව නීතියට මුහුණ දීමය. මහින්ද රාජපක්ෂ මහතා කළ යුතු වන්නේ උසාවිය හමුවේ සිය නිවැරදිභාවය ඔප්පු කරන්නට තම බාල සහෝදරයා උනන්දු කර වීමය.

ඊළඟට මතක් වන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රය. ඇගේ පියා රජපක්ෂ රෙජිමයේ විරුද්ධවාදියකුවත් නොවේ. එකල මහින්ද රාජපක්ෂ මහතාගේ වෘත්තීය සමිති කටයුතු උපදේශක වරයාය. භාරත ලක්ෂමන් මහතා මියගියේ ඒල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදියකු අතින් හෝ පාතාලයකුගේ වෙඩි පහරකින් නොවේ. ඔහු උපදේශකත්වය දැරූ ජනාධිපතිවරයා යටතේ ආරක්ෂක අමාත්‍යාංශ අධික්ෂක මන්ත්‍රි ධුරය දැරු තැනැත්තා අතිනි. 

2015 ජනවාරි වෙනස නොවන්නට භාරත ලක්ෂ්මන් මහතාගේ ඝාතකයන්ට තවමත් අතිතය මතක්වන්නේ නැත. ඔවුන් තවමත් නිදැල්ලේය. අද කාන්තාවන් ගැන කතාකරන මහින්දලාට ගෝඨාභයලාට හිරුණිකා මහත්මිය හෝ ඇගේ මවගේ වියෝදුක එදා දැනුණේ නැත.

හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට රාජපක්ෂ රෙජිමය සැලකූ ආකාරය බලය තිබියදී ඔවුන් කාන්තාවනට සැලකූ ආකාරය පිළිබඳ තවත් එක් නිදර්ශනයකි. ශිරානි භණ්ඩාරනායක මහත්මිය කළ එකම වරද වුයේ රටේ ආණ්ඩුක්‍රම අව්‍යවස්ථාවට සහ නීතියට අනුව තීන්දුවක් ලබා දීමය. ඇයට ඒ වෙනුවෙන් දරන්නට සිදු වු අපහාස සීමාවක් නැත. ගෙවන්නට සිදු වු වන්දිය සුළුපටු නැත.

ඊට අමතරව තවත් අම්මාවරුන් පස් දෙනකු සිටී. ඔවුන් නම් කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ රඳවාතබාගෙන සිට ඝාතනය කර මුහුදේ ගිල්වා දැමූ තරුණ ශිෂ්‍යයන් පස් දෙනාගේ මවුවරුන් පස් දෙනාය. ඔවුන්ගේ අතුරුදන් වීම සහ ඝාතන සම්බන්ධයෙන් වගකිව යුත්තේ රාජපක්ෂ සමයේ නාවික හමුදාවේ ඉහළම වගකීම් දැරූ පුද්ගලයන්ය.

රතුපස්වලදී වෙඩි ප්‍රහාරවලට ලක්ව මියගිය අයගේ මවුවරුන් බිරියන් පෙම්වතියන් සහෝදරියන් ද අයත් වන්නේ මෙරට කාන්තාවන් අතරටය. කටුනායකදීත්, මීගමුවේදීත් මියගිය තැනැත්තන්ට මවුවරුන් බිරියන් දියණිවරුන් සහෝදරියන් සිටිති. රතුපස්වලදී කටුනායකදී මීගමුවේදී මියගියේ ත්‍රස්තවාදීන් නොවේ. සාමකාමි උද්ඝෝෂණවල නියැලුණු තැනැත්තන්ය. අද ආරක්ෂාව ගැන පුරාජේරු ගහන රාජපක්ෂවරු එදා ජනතාවට උණ්ඩයෙන් පිළිතුරු දී තමන්ගේ සහ තම ආණ්ඩුවේ ආරක්ෂාව සලසා ගත්තේ එසේය. වැලිකඩ බන්ධනාගාරයේ දී ඔවුන් විසින් අත්හදා බලනු ලැබුවේ ද ඒ ආකාරයේම භීෂණයකි. එදා වැලිකඩ දී මියගිය අයටත් මවුවරුන් දියණිවරුන් සහෝදරියන් බිරියන් සිටිති.

දැරියන් දූෂණය කර සාද පැවැත් වු ප්‍රාදේශීය නායකයන් සිටියේ ද රාජපක්ෂ පාලනය යටතේය. විදේශික සංචාරකයකු ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කළේද රාජපක්ෂගේ ගෝලබාලයන්ය. පුදුමය වන්නේ රාජපක්ෂලා ඒ සියල්ල අමතකකර මැරී ඉපදුණු සේ කතා කිරීම නොවේ. ඒ ඔවුන් ඒ සියල්ල කරන්නේ බලය ඩැහැගැනීමට නිසාය. පුදුමය කාන්තාවන් රෙදිත් ඇඳගෙන විත් ඔවුන්ගේ කතා අසා සිටීම සහ ඒවාට කතුන් එවන සැමියන් සහ පියවරුන් ගැනය.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *