කැලණි පාලමේ සිට වරායට අධිවේගී මාර්ගයේ වැඩ ඇරඹෙයි

කොළඹ නව කැලණි පාලමේ සිට වරාය දක්වා කුලුනු මත ඉදිවන අධිවේගී ගුවන් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ  ආරම්භ විය. කොළඹ මාර්ග තදබදය අවම කිරීම සඳහා මෙන්ම කටුනායක සිට පැමිණෙන වාහනවලට පහසුවෙන් කොටුවට ළඟාවීම සඳහා මෙම මාර්ගය ඉදිවෙයි. මාර්ගයේ ඉදිරිකිරීම් වසර තුනකින් නිමකිරීමට සැලසුම් කොට ඇත.

තවත් මෙබඳුම මාර්ගයක් කැලණි පාලමේ සිට බත්තරමුල්ල හරහා මාලඹේ දක්වා ඉදිකිරීමට නියමිතය.

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන  අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරවීර යන මහත්වරුන්ගේ සේවා දායකත්වයෙන් ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ඉදිවන මෙම ‘වාරය පිවිසුම් ගුවන් මාර්ගය’ ශ්‍රී ලංකාවේ කුලුනු මතින් දිවෙන ප්‍රථම අධිවේගී මාර්ගය ලෙස ඉතිහාසයට එක්වේ.

වාරය පිවිසුම් ගුවන් මාර්ගයේ දිග කි.මි.5.3කි. දළ ඇස්තමේන්තු ගත මුදල රුපියල්  බිලියන 28කි. මෙම අධිවේගී මාර්ගය ඉඟුරුකඩේ මංසන්දිය අසලින් නව කැලණි පාලමට සම්බන්ධවන අතර එතැන් සිට කුලුනු මතින් අභිනව වරාය නගරය දක්වා පැමිණේ. එය එතැන් පටන් යෝජිත උමං මාර්ගය ඔස්සේ ගාලුමුවදොරෙහි ඇති සුන්දරත්වයට බාදාවක් නොවන පරිදි වෙරළබඩ මාර්ගය දක්වා සම්බන්ධ වේ.

වසර 03ක් ඇතුළත ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂිත මෙම අධිවේගී මාර්ගය ඔස්සේ ගාලුමුවදොර සිට පෑලියගොඩ දක්වා මිනිත්තු 04කින් පමණ ගමන් කළ හැකිවන අතර ඉන් අනතුරුව අධිවේගී මාර්ග පද්ධතිය හා සම්බන්ධවීමෙන් මාර්ග තදබදයකින් තොරව පිටපළාත් සඳහා ගමන් කළ හැකිය. තවද ඉන්දන පිරිවැය අඩුවීම, වාහන නඩත්තු පිරිවැය අඩුවීම, නව රැකියා අවස්ථා බිහිවීම, ආයෝජන අවස්ථා වැඩිවීම, සංචාරක ව්‍යාපාරය දියුණු වීම වැනි ප්‍රතිලාභ රැසක් මෙමඟින් ජනතාවට හිමිවෙයි.

මෙම වරාය පිවිසුම් මාර්ගය ඉදිරිකිරීම කොළඹ වරාය පරිශ්‍රය තුළ සිදුකරන බැවින් ඉඩම් අත්පත් කරගැනීමක් සිදුනොවේ. එම නිසා ඉන් මහජනතාවට සිදුවන අවහිරතා අවම වේ.

කන්ටේනර් බහාලුම් ප්‍රවාහනය සඳහා වෙනම නව ප්‍රවේශයක් ලබාදෙන බැවින් දැනට පවතින මහාමාර්ග වල තදබදය ද සැලකියයුතු ලෙස අඩුවේ. ප්‍රධාන වශයෙන් ඔරුගොඩවත්ත, බේස්ලයින් මාර්ගය, හා පවතින තදබදය අවම කිරීම මෙමගින් සිදුවේ.

තවද, මෙම ව්‍යාපෘතිය නිසා වරාය පරිශ්‍රය තුළ ඇති අක්‍රමවත් ගොඩනැගිලි රැසක් කඩා ඉවත් කිරීම මගින් කොළඹ වරාය පරිශ්‍රය ක්‍රමවත් ලෙස පුළුල්වීමක් සිදුවේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සදහා වසර ගණනාවක් තිස්සේ අඩුපාඩුවක්ව පැවති මහල් 18කින් යුත් නවීන අංගෝපාංග සහිතව නාවික පහසුකම් සැලසීමේ නව මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු මෙමගින් දැනටමත් ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *