රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඊයේ  (9) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය භාරව කටයුතු කරන අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගන්නා බව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අද (9) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය හා එහි පරිපාලනය සම්බන්ධයෙන් ඉකුත් කාලය පුරා ගැටලු සහගත තත්ත්වයක් පැවැතිණි.මංගල සමරවීර මහතා ජනමාධ්‍ය ධුරය හෙබවූ සමයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට ඉනෝකා සත්‍යාංගනී මහත්මිය පත්වූවාය.

පසුව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධුරයට පත් රුවන් විජයවර්ධන මහතා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඉකුත් ජුලි මාසයේදී සංජීව විජේගුණවර්ධන මහතා පත් කළ නමුත් සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය ඊට අවස්ථාව ලබා නොදී තනතුරේ දිගටම රැඳී සිටියාය.

මේ අතර ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් නැවතත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට රූපවාහිනියේ හිටපු නිෂ්පාදකවරයකු වූ කැළුම් පාලිත මහීරත්න මහතා පත්කළ ද ඔහුට ද රාජකාරි කර ගැනීමට සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය ඉඩ ලබා නොදුන්නාය.

නව සභාපතිවරයා වශයෙන් පත් කළ කැළුම් පාලිත මහීරත්න මහතා පසුගිය 6 වැනිදා උදෑසන වැඩ බාර ගැනීමට රූපවාහිනී සංස්ථාවට ගොස් ඇති නමුත් ඊට ඉඩ නොදී සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය ද දිවා කාලයේ පැමිණ සිය නිල කාර්යාලයෙහි සිට රාජකාරි කටයුතු කළාය.

රංජන් කස්තුරි සහ බිඟුන් මේනක ගමගේ

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *