උදේ 04.00 සිට රෑ 12.00 දක්වා වැඩ කරන ප්‍රේමදාසගේ ක්‍රමය මෙන්න

තමා ජනාධිපති වුවහොත් උදේ 4.00 සිට රෑ 12.00 තෙක් වැඩ කරන බව සජිත් ප්‍රේමදාස මහතා කියා තිබිණි. මෙය රණසිංහ ප්‍රේමදාස මහතා හඳුන්වා දුන් ක්‍රමයකි. ඔහු උදේ 4ට 5ට රජයේ නිලධාරින්ට දුරකතන ඇමතුම් දී නොයෙකුත් උපදෙස් දෙන්නට පුරුදු වී සිටියේය. ටික දිනකින් රටේ ප්‍රචාරය වුයේ ජනාධිපතිතුමා නොනිදා වැඩ කරන බවයි.

කෙසේ වෙතත් මෙහි රහසක් ටික දිනකින් නිලධාරින් අතර ප්‍රචලිත විය. ඒ ප්‍රේමදාස ජනාධිපතිතුමා දවස දෙකඩ කඩා දින දෙකක් කරගෙන තිබෙන බවයි. ඔහුගේ එක දවසක් උදේ 4 සිට දවල් දවල් 12 දක්වාය. දවල් කෑමෙන් පසු ඔහු පැය කීහිපයක් නිදාගන්නට පුරුදුව සිටියේය. ඒ එක දවසකි. ඔහුගේ ඊළඟ දිනය ආරම්භ වෙන්නේ සවස 4ට හෝ 5ටය. ඒතැන් සිට රෑ 11 පමණ දක්වා ‍තවත් දවසකි. ඒ අතර ගමන් බිමන් යනවිට වාහනයේ දී ද මදක් නිදා ගැනීමට ප්‍රේමදාස ජනාධිපතිතුමා පුරුදුව සිටි බව කියති. රටේ ප්‍රචාරය වුයේ ප්‍රේමදාස ජනාධිපතිතුමා නොනිදා වැඩ කරන කරන බවයි. කෙසේ වෙතත් මේ ක්‍රමයෙන් එතුමා දවසේ කාලයේ උපරිම ප්‍රයෝජන ගත් බව නම් ඇත්තකි.

ප්‍රේමදාස ජනාධිපතිතුමා දවස දින දෙකක් කරගත් ආකාරය පසු කාලයේ නිලධාරින් අතර ද ප්‍රචලිත විය. ඇතැම් නිලධාරිහුද මෙයට හැඩ ගැසුනේය.

මේ අතර ප්‍රේමදාස මහතා මෙන් දවස දින දෙකක් කරගෙන, දවල්ට මදක් නිදාගෙන රෑ වනතෙක් වැඩ කරන්නට කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයකුටද අවශ්‍ය විය. ඔහු තම සැලසුම ගැන බිරිඳට කීවේ ඇගේද අවසරය ගෙන තම ජීවිතය කාර්යක්ෂම කරගන්නටය. ඔහුට ලැබුණේ අපූරු  පිළිතුරකි. එනම්, “නෑ. ඔයා ගෙදර එන්නම ඔනේ නෑ. ඉන්න තැනටම වෙලා නිදාගන්නවා” යනුවෙනි.

මහාචාර්යවරයාට දවස දින දෙකක් කරගන්නට බැරි වුණේ එහෙමය. මහාචාර්වරයා කීවේ, ඒක කරන්නත් විධායක බලය අවශ්‍ය බවයි.

සජිත් ප්‍රේමදාස මහතා උදේ 4 සිට රෑ 12 වෙනල් වැඩ කරන බව කියන්නේ තාත්තාගේ ක්‍රමය දන්න නිසා විය හැකිය. එසේ වුවද ඒ තාත්තාගේ රහස් දන්න උදවිය තවත් සිටින බව සජිත් දැනගත යුතුය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *