ජනාධිපතිවරණයක් ප්‍රකාශ කර නැති අවස්ථාවක අපේක්ෂකයෙකු නම් කිරීම මෝඩ වැඩක් – රන්ජන් රාමනායක

රනිල්ට සජිතුත්, සජිත්ට රනිලුත් නැතුව බෑ, වගේම ඒ දෙන්නටම රන්ජන් රාමනායක නැතුවත් බෑ යැයි “මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය” රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය හුණුමුල්ල මහ විදුහල ආසන්නයේ මාර්ගය හරහා ගුවන් පාලමක් ඉදිකිරීම සඳහා බදාදා (5දා) පැවති උත්සවයේදී කීය.

විදුහල ආසන්නයේ මහා මාර්ගය හරහා ගුවන් පාලමක් ඉදිකර දෙන ලෙසට වසර විසිපහකට (25) අධික කාලයක් තිස්සේ කර ඇති ඉල්ලීම් ඉටු නොවූ බවද, මහාමාර්ගය හරහා මාරුවීමේදී ගත වූ වර්ෂය තුළදී සිසු දරුවන් පස් දෙනකු වාහන අනතුරුවලට ලක්වී ඇති බවද දැනගත් රාජ්‍ය අමාත්‍යවරයා මහාමාර්ග හා මර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන  අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ අවධානය ඒ සඳහා යොමුකර රුපියල් එක්කෝටී එක් ලක්ෂයක (11,00,00) ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමෙන් ඉදිකිරීම් කටයුතුවලට මුල පුරා තිබේ. රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

ගුවන් පාලමට ප්‍රතිපාදන සොයාගනු ලැබුවේ  සිසුන් පස්දෙනකු අනතුරටපත්වීමෙන් පසුවයි. ලංකාවේ දේශපාලකයින් කරන්නේ මහජනතාවගේ බදු මුදල්වලින් පාලම්,පාසල් ගොඩනැගිලි හදලා තමන්ගේ නම දාගන්න එකයි. ඒක මහ විලි ලැජ්ජ නැති වැඩක්.

මහජනතාවගේ මුදල්වලින් කරන කිසිම වැඩකට මගේ නම දාන්න එපා කියලා මම දෙයියන්ගේ නාමෙන් ඉල්ලනවා. මේවා මහජනතාවගේ මුදල් මිසක් මාගේ සල්ලි නෙවෙයි.

අපේ දේශපාලනඥයින් විවෘත කිරීම නිසා ගහගන්නවා. එකම පාලම තුන් හතරදෙනා චණ්ඩිකම් පෙන්නලා තුන් හතර සැරේ පීත්ත පටි කපලා විවෘත කරනවා.

අගමැති මහින්ද, කථානායක යන මහත්වරු ඒ ඒ තනතුරු දරනකොට මිහින් ලංකා වගේ ආයතන වල සභාපතිලා කවුරුන්ද කියලා මම ගෝඨාභය මහත්තයගෙන් අහනවා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති උනොත් බැසිල්, නාමල්, ශෂීන්ද්‍ර,නිරූපමා,පවිත්‍රා ලට දෙන අමාත්‍යාංශ මොනවද?

එතකොට මාල කඩන, එතනෝල් කුඩු ඇමති කවුද? කුඩු විකිණීමේ අධීක්ෂණ ඇමති කවුද, ඒ ඒ රටවල තානාපතිවරුන් හැටියට යන්නේ කවුරුන්ද?  කියලා මහජනතාව දැනගන්න කැමති නිසා මම එතුමාගෙන් ඒ ප්‍රශ්න ටික අහනවා.

ගෝඨාභය මහත්තයා කරේ තියාගෙන යන කට්ටිය ආවත් ඔය අයම තමයි තනතුරුවලට එන්නේ. පරණ අයමයි. පරණ ක්‍රමයමයි. 2015 දී මහජනයා විසින් ගෙදර යවන ලද කණ්ඩායමමයි ආයෙත් ගේන්න හදන්නේ.

2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙන්නට තිබූ දා පාන්දර ඇමරිකාවට පලාගිය අයම මේ පාරත් එන්න හදන්නේ. අයවැය ලේඛණයෙන් සියයට හැටපහක්ම වෙන්කළේ (65%) රාජපක්ෂලාට.

ජනාධිපතිවරණයක් ප්‍රකාශ කර නැති අවස්ථාවක අපේක්ෂකයෙකු නම් කිරීම මෝඩ වැඩක්. ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ නම් කරනු ලැබීමෙන් මහත් හිරිහැරයකට පත්වෙලා. ගිය ගිය තැනදී නොයෙකුත් ප්‍රශ්නවලට උත්තරදෙන්න වෙලා. 

මම උසස් පෙළ විභාගයට පෙනී සිට නීතීඥයකු ලෙස කටයුතු කරන්න අපේක්ෂා කරන්නේ මේ රටේ නඩු කියන්න මුදල් නැතිව ඉන්න දුප්පත් පිරිස වෙනුවෙන් උපකාර කරන්නයි.

මම පොඩිකාලේ හිතුවේ පංති කට් කරලා කැලේ පනින එක චණ්ඩිකමක්, හපන්කමක් කියලා වුනත් දැන් තේරෙනවා ඒක මෝඩකමක් කියලා. ඒ නිසා මේ දරුවන්ගෙන් මං ඉල්ලනවා එක මොහොතක් හෝ අපතේ නොයවා ඉගෙනගන්න කියලා.

මම පස් ජාවාරම් කරුවන්ට එරෙහිව කළ සටනින් ජාවරම් කරුවන් ජයගත් නිසා මට දිවුලපිටියෙන් යන්න වුණා.

දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ආචාර්ය කිත්සිරි මංචනායක, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ගරු අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් නීල් උදයශාන්ත, ගරු මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් කුෂාන් තිලකරත්න, ගරු මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ගයාන් රංගික, දිවුලපිටියේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධම්මික උදය කුමාර යන මහත්වරුද, විදුහල්පති ඩබ්.බී.ජී. සෙනවිරත්න මහත්මියද, අදහස් දැක්වූහ.

මනෝජ් රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *