‘මහේන්ද්‍රන් ගෙන්වීම ලේසි නෑ’; වසර දෙකකට වැඩි කාලයක් යාවි – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

සිංගප්පූරු නීතියට අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම අතිශය දුෂ්කර වනු ඇතැයි බටහිර ඉන්දීය කොදෙව්හි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ නීති පීඨාධිපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා අද (6) පැවසීය. 

මූලික මිනිස් අයිතිවාසිකම් කෙරෙහි සිංගප්පූරු නීතියෙන් වැඩි අවධානයක් යොමු කිරීම ඊට හේතුව යැයි ද යම් හෙයකින් එවැනි අවස්ථාවක් ලැබුණත් ඊට වසර දෙකකට වැඩි කාලයක් ගතවනු ඇතැයි ද ආචාර්ය මහානාමහේවා මහතා අවධාරණය කළේය. 

මෙරට නීතිපති දෙපාර්තමේන්තුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු සකස් කිරීම එරට නීති අංශවලට පහසුකාරකයක් වනු ඇතත් ඒවා අධ්‍යයනය කිරීමට සැළකිය යුතු කාලයක් ගත වනු ඇතැයි ද මහානාමහේවා මහතා සඳහන් කළේය.

බැඳුම්කර සිදුවීමට අදාළව මෙරට ජනමාධ්‍යයෙන් ප්‍රකාශ කළ පුවත් වාර්තා අර්ජුන් මහේන්ද්‍රන්ට හොඳ ආයුධයක් යැයි කී හෙතෙම බැඳුම්කර සිදුවීම ඉලක්ක කරගෙන දේශපාලකයන් කළ ප්‍රකාශ ආදිය මගින් දේශපාලන වර්ගීකරණයක් මත සිදුවන නෛතික කටයුත්තක් හැටියට ඊට අර්ථකතනයක් දීමට ඔහුට අවස්ථාව උදාවන්නේ යැයි ද කීවේය.

තමා දන්නා ආකාරයට මේ වනවිටත් අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසියකු හැටියට තම නීතිඥයා හරහා සිංගප්පූරු විදේශ අමාත්‍යංශයේ ප්‍රොටකෝල් අංශයට දිවුරුම් ප්‍රකාශයක් දී ඇතැයි ද ඒ මහතා පැවසීය.

පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අදාළ අංශය ප්‍රමුඛතාවයක් දෙන්නේ යැයි ද ඒ අනුව ඇතැම් විට ඉදිරි නෛතික ක්‍රියාමාර්ග වලදී අවශ්‍ය නම් වීඩියෝ තාක්ෂණය හරහා සාක්ෂි ලබාදීම වැනි අවස්ථාවක් සලසාදීමට එරට රජයේ අවධානය යොමු විය හැකි යැයි ද ආචාර්ය මහානාමහේවා මහතා කීය.

රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා හරහා මාකඳුරේ මධුෂ්, කංජිපානි ඉම්රාන් යන පාතාල නායකයන් ඩුබායි රාජ්‍යයෙන් මෙරටට ගෙන්වා ගත්ත ද උදර්පණ නීතිය යටතේ ගිවිසුම් අත්සන් කර තිබූ යුක්රේනයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වූයේ මන්දැයි තමා ප්‍රශ්න කරන්නේ යැයි ද ආචාර්යවරයා පැවසීය. 

ළමා අපයෝජන චෝදනාවක් එල්ල වූ අවස්ථාවේදී වික්ටර් බහුමාන් නමැති ස්විස්ටර්ලන්ත ජාතිකයකු මෙරටින් පලා ගිය අවස්ථාවේදී ස්විස්ටර්ලන්ත රජය කළේ ද එරට අධිකරණ නිලධාරීන් මෙරටට එවා පරීක්ෂණයක් කර සැකකරුට එරෙහිව එරටදී නීතිමය පියවර ගෙන දඬුවම් කිරීම යැයි ද සිංගප්පූරු රජය ද එවැනි පියවරක් අනුගමනය කිරීමට ඉඩ ඇතැයි ද මහානාමහේවා මහතා සඳහන් කළේය.

ඉතාලියට අයත් ගුවන් යානයක් තම ග්‍රහණයට ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සේපාල ඒකනායක සම්බන්ධයෙන් ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා අනුගමනය කළේ ද මේ ප්‍රතිපත්තියම යැයි ද උදර්පණ නීතිය යටතේ වෙනත් රටක පුරවැසියකු ගෙන්වා ගැනීම හිතන තරම් පහසු නොවන්නේ යැයි ද ආචාර්ය මහානාමහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

බිඟුන් මේනක ගමගේ

ලංකාදීප 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *