1971 අපේ‍්‍රල් නැඟිටීම සහ වර්තමාන සමාජ ප‍්‍රශ්න – ආචාර්ය ලයනල් බෝපගේ

­­­­උපාලි රත්නායක විසින් පරිවර්තනය කරන ලද ‘ඉතිහාසය හමුවේ ලයනල් බෝපගේ’ යන කෘතිය ඊයේ (3) පස්වරුවේ කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවගේ මහැවිලි කේන්ද්‍රයේ දී ජනගත කෙරිණි.

ඒහි දී ආචාර්ය ලයනල් බෝපගේ විසින් කරන ලද කතාව පහත පළවේ. මෙහි දී ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක, මහාචාර්ය ලියනගේ අමරකීර්ති යන අය ද අදහස් දැක්විය.

1971 අපේ‍්‍රල් නැඟිටීමට පසුව අඩ සිය වසක් ගත වෙන්නට ආසන්න වෙමින් තිබෙනවා. එම නැඟිටීමට නොයෙක් අයුරෙන් දායක වුනු, එහි කොටස් කරුවන් බවට පත්ව සිටි අප බොහෝ දෙනෙකුගේ පොදු අරමුණ වුනේ කුමක්දැයි මෙනෙහි කරන්නටත්, එම පොදු අරමුණ සිහිපත් කර ගනිමින් වර්තමාන සන්දර්භය තුළ රජයන සමාජ-ආර්ථික හා දේශපාලණ ගැටළු දෙස බැලිය හැක්කේ කෙසේදැයි සලකා බලන්නටත් මෙම අවස්තාව යොදා ගැනීම උචිතයයි මා කල්පනා කරන නිසා ඒ පිළිබඳව අදහස් ස්වල්පයක් දක්වන්නට මා අදහස් කරනවා.

1971 අපේ‍්‍රල් නැඟිටීම මෙන්ම සමාජසාධාරණත්වය සඳහා කරන ලද නොයෙකුත් අරගලවලදී දිවි කැප කරන ලද ඉමහත් පරිත්‍යාගයන් කරන ලද සියළු දෙනාගේ, තවමත් ජීවතුන් අතර සිටින අප සියළු දෙනාගේ එකම පැතුම වුනේ හැම මිනිහෙකුටම මිනිහෙක් ලෙස නිදහසේ ජීවත් විය හැකි ආකාරයෙන් සමාජ හා ආර්ථික සාධාරණත්වය රජයන සමාජ ක‍්‍රමයක් ගොඩ නැඟීම වුනු බවයි මගේ මතය. අප එකිනෙකාගේ සමාජ-ආර්ථික හා සංස්කෘතික පසුබිම කවරක් වුනත්, අප සියළු දෙනාගේ එකම අරමුණ වුනේ සමාජ හා ආර්ථික සාධාරණත්වය අත් කර ගත හැකි සමාජ-ආර්ථික ක‍්‍රමයක් ගොඩ නඟා ගැනීමයි. එදා මේ සඳහා යොදා ගන්නා ලද උපාය මාර්ග, ප‍්‍රතිපත්ති සහ වැඩ පිළිවෙලවල් අතර තවමත් වලංගු වන ඇතැම් යහපත් කරුණු අඩංගු වූ බව මම සළකනවා.

* පවතින ධනේශ්වර සමාජ ක‍්‍රමයට එරෙහිව කරන අරගලයේදී ධනේශ්වර පන්තිය හා ඔවුන් නියෝජනය කරන පක්ෂ සමඟ සභාග ගත නොවුනු, ධනේශ්වර කඳවුරෙන් ස්වාධීනව පවතින වමේ බල වේගයක් ගොඩ නැඟීම;

* ලාංකීය සමාජයේ ධනේශ්වර පන්තියේ ආධිපත්‍යය සහ ධනේශ්වර ක‍්‍රමය තහවුරු කර ගැනීම සඳහා කුල, ජාති සහ ආගම් වාදී ආකාරයේ වැඩවසම් නෂ්ටාවශේෂ යොදා ගන්නා ආකාරය සමාජයට හෙළිදරව් කිරීම සහ එම වැඩවසම් නෂ්ටාවශේෂ අහෝසි කර දැමීමේ ක‍්‍රියාවලියට දායක වීම;

* අප‍්‍රකට ජාතිකවාදී දේශපේ‍්‍රමයක් සහිතව වුවත් ජාත්‍යන්තරවාදයේ ධජය ඔසවා තබන්නට දැරූ ප්‍රයත්නය;

* ලංකාවේ සංස්කෘතික හා භූ විද්‍යාත්මක සුවිශේෂතාවයන්ට අනුකූල වුනු සමාජxආර්ථික සංවර්ධන මාදලියක් සකස් කර ගැනීමට කරන ලද යෝජනා;

* සමාජ හා ආර්ථික සාධාරණත්වය අත් කර ගැනීමට අදාල අදහස් බිම් මටිටමින් ජනතාව අතරට ගෙන ගොස් ඒ පිළිබඳව ඔවුන් දැනුවත් කොට සංවිධානය කිරීම

වැනි කරුණු ඒවා අතර වේ.

අප අනුගමනය කරන ලද උපාය මාර්ග, ප‍්‍රතිපත්ති සහ වැඩ පිළිවෙල වල්වල පැවති ඌණතා ලෙස මා දකින කරුණු අතර:

* පක්ෂය පසු කාලීනව කම්කරු ගොවි ජන ඇතුළු වැඩ කරන ජන කොටස්වල ගැලවුම් කරුවෙක් වෙන්නට උත්සාහ දැරීම;

* සමාජය වෙනුවට පක්ෂ සංවිධානය ආදේශ කිරිම;

* පක්‍ෂය තුළ ඌණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයකින් යුත් මධ්‍යගතවාදයක් ක‍්‍රියාත්මක කිරීම;

* සමාජවාදයේ එකම ඒජන්තවරයා සහ උරුමක්කාරයා ලෙස පෙනී සිටිමින් සමාජවාදී හෝ ප‍්‍රගතිශීලී හෝ ඒ හා සම්බන්ධ වෙනස් දේශපාලන මති මතාන්තර හා අදහස් දරන පක්ෂ, කණ්ඩායම්, කොටස් සහ පුද්ගලයන් සමඟ සාකච්ඡා කිරීම හා ඔවුන් සමඟ එකට කටයුතු කරන්නට ඇති හැකියාව සොයා නොබැලීම හා ප‍්‍රතික්‍ෂේප කිරීම;

* පළපුරුදු කම් හා අත්දැකීම් නොමැති යෞවනයන් දැක්වූ අතිධාවනකාරී ප‍්‍රවණතා කළමණාකරණය කර ගැනීමට නොහැකි වීම;

* ලාංකීය විප්ලවය ගත යුතු මඟ පිළිබඳව පැවති බරපතල අවතක්සේරු සහ ප‍්‍රායෝගික ඌණතා;

* කණ්ඩායම් හා කට්ටිවාදය ඉස්මතු වෙන්නට ඉඩකඩ ලබා දීම සහ ඒවා නායකත්වයේ පටු උවමනාවන් සඳහා යොදා ගැනීම; සහ

* පක්ෂයේ සංවිධාන ශක්තිය සහ සන්නද්ධ ශක්තිය පිළිබඳව බොහෝ සේ අධිතක්සේරුවලට එළැඹීම

වැනි ඒවා සැළකිය හැකියි.

එදා පැවති තත්වය පිළිබඳව මා ඉහත දක්වා තිබෙන කරුණු අසම්පූර්ණ මෙන්ම අඩුපාඩු සහිත ද විය හැකියි.

අනෙක් අතට, වර්තමාන ජාත්‍යන්තර හා දේශීය සමාජ-ආර්ථික, දේශපාලනික, යුද්ධමය සහ සංස්කෘතික සන්දර්භය එදා පැවති පසුබිමට වඩා සෑහෙන්නට වෙනස්.

එදා පැවති සුවිශේෂ ඵෙතිහාසික වාතාවරනය ගැන නොසලකා 1971 අපේ‍්‍රල් නැඟිටීම ගැන කතා කරන්නට බැහැ. එසේ කිරීමෙන් වැරදි නිගමනවලට එළැඹිය හැකියි.

එදා රුසියාවේ, සෝවියට් දේශයේ, චීනයේ හෝ කියුබාවේ සන්දර්භය තුල අප සැලකිල්ලට ගත් සමාජවාදය හා සමාජ සාධාරණත්වය පිළිබඳ සංකල්ප, අද 21 වන සිය වසේ පවතින තත්වයන් හා කෙතරම් දුරට අනුකූල වෙනවාද?

පවතින අළුත් සංදර්භය තුළ ධනේශ්වර ක‍්‍රමය සිය කටයුතු කර ගෙන යන ආකාරයත් එහි ගතිකත්වයනුත් වෙනස්කම් වලට භාජනය වෙමින් පවතිනවා.

සමාජ සාධාරණත්වය සඳහා කරන ලද අරගලවල ජාත්‍යන්තර හා ඵෙතිහාසික අත්දැකීම් විචාරාත්මක ලෙස අගැයුමට ලක් කරමින්, සමාජ සාධාරණත්වය සඳහා අද කර ගෙන යනු ලබන අරගලවලට නිවැරුදි ප‍්‍රවේශයක් ඇති කර ගන්නට හැකි වෙන ආකාරයෙන් පාඩම් උකහා ගත යුතුව තිබෙනවා; ඉන් ප‍්‍රධාන තැනක් ගන්නේ සමාජ සාධාරණත්වය සඳහා කටයුතු කරන දේශපාලන ව්‍යාපාර තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතාවන්වල ඇති බරපතල ඌණතාවයයි. ඒ සඳහා තිබෙන දැඩි අවශ්‍යතාවයයි.

රාජ්‍ය බලය අත් කර ගත් අවස්ථාවල පක්‍ෂය සහ රාජ්‍යයේ  කාර්යභාරයන් මෙන්ම ඒවා අතර පවත්වා ගත යුතු සම්බන්ධතාවන් පිළිබඳව, ආර්ථික කළමණාකරණයේදී දැක්විය යුතු නම්‍යශීලිත්වය පිළිබඳව, සමාජ-ආර්ථික, සංස්කෘතික සමානත්වය ගොඩනැඟීමට කටයුතු කිරීමේදී දේපල අයිතිය පිළිබඳව පවතින බහුවිධ ආකෘති පීළිගැනීම වැනි කරුණු පිළිබඳව ප්‍රබල සංවාදයක් අවශ්‍ය වෙනවා.

ඒ සමඟම, ශක්ති සම්පන්න නවලිබරල්වාදී ධනේශ්වර ආර්ථික ක‍්‍රමයක් රජයන ලෝකයක, විශේෂයෙන්ම අපේ වැනි රටවල්වල සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා කටයුතු කිරීම, ප‍්‍රබල සමාජවාදී කඳවුරක් පැවති වකවානුවේ දී බලාපොරොත්තු වූවාට වඩා සංකීර්ණ, දිග් ගැස්සුණු හා විවිධාකාර වූ ක‍්‍රියාවලියක් බවට පත් වී තිබෙනවා. මේ සඳහා තනි මාදිලියක් හෝ ආකෘතියක් හෝ කෙටි පාරක් හෝ පවතින බවක් මා විශ්වාස කරන්නේ නැහැ.

විසිවෙනි සියවසේ ප‍්‍රධාන දේශපාලන ක‍්‍රියාවලි වූනේ යටත් විජිතවාදය මහා පරිමාණයෙන් ලෝකයෙන් අතුගෑවී යෑමත් සමාජවාදී කඳවුරේ ආරම්භයත් ධනේශ්වර කඳවුර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජගත් මුර දේවතාවා ලෙස පෙනී සිටින්නට පටන් ගැනීමත්. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය භාවිතාවේ යෙදූ බටහිර ධනේශ්වර රටවල් ඒ කාලයේ ආරක්‍ෂා කළේ ආර්ථික ඒකාධිකාරයනුයි. ඔවුන් අදහස් කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් සමාජ ආර්ථික අසමානතා අවම කර දැමීමක් කිසිසේත්ම අදහස් වූයේ නැහැ.

අද දකින්නට තිබෙන තත්වය තමයි, ධනේශ්වර ක‍්‍රමය එහි නව ලිබරල් වාදී අවධිය තුල වඩාත් යුදවාදී තත්වයටත් ආක‍්‍රමණකාරී බවටත් පත් ව තිබීම. මුළු මහත් ලෝකය පුරා වැඩ කරන ජනයා මත අධිරාජ්‍යවාදී කොල්ලකාරී ගෝලීයකරණයත් බිහිසුණු නව ලිබරල්වාදයත් බලහත්කාරී ලෙස පටවමින් තබෙනවා. මේ සඳහා ඉරාකය, ඇප්ඝනිස්ථානය, ලිබියාව, පලස්තීනය, අළුතෙන්ම ඉරානය, ඒ ව ගේම ඊශ‍්‍රායල්-ඇමෙරිකන් අක්‍ෂය වැනි බොහෝ උදාහරණ දක්වන්නට පුළුවන්. අනෙක් අතට, මෙම නව ලිබරල්වාදී අධිපතිවාදයට එරෙහිව ලෝකය පුරා කරනු ලබන අරගලත් උත්සන්න වෙමින් පවතිනවා.

බටහිර ලෝකය පුරා පවතින ආර්ථික අර්බුදයෙනුත්, මුළු මහත් ලෝකය පුරා පවතින සරණාගතයන් පිළිබඳ අර්බුදයෙනුත් පැහැදිලිවම පෙනෙන්නේ සමාජ සාධාරණත්වය සඳහා ධනේශ්වර ක‍්‍රමය කටයුතු නොකරන බවයි. යළි යටත්විජිතකරණයට ලක් කරනු ලැබීමට එරෙහිව, සම්පත් කොල්ලකා ගැනීමට එරෙහිව, මෘග ආකාරයෙන් යුද්ධ බලය යොදා ගැනීමට එරෙහිව ධනේශ්වර සමාජ ආර්ථික ක‍්‍රමයෙන් වෙනස් වූ විකල්ප සාධාරණ සමාජ ආර්ථික ක‍්‍රම ගොඩ නැඟීම අවශ්‍ය බව මගේ කල්පනාවයි.

සමාජවාදී කඳවුර මගින් සමාජ සාධාරණත්වය ඇති කිරීම පිළිබඳව කරන ලද අත්හදා බැලීම්වල අසාර්ථකත්වය, හුදෙක්, ධනේශ්වර රටවල් සහ ඒවායේ ඔත්තු සේවා මඟින් ඇති කරන ලද කඩා කප්පල් ක‍්‍රියා නිසා ඇතිවූවක් පමණක් ලෙස නොසැළකිය යුතුයි. එසේ වන්නට බල පෑ ප‍්‍රධාන හේතු ලෙස දක්වන්නට පුළුවන් සමාජවාදී වෙනස්කම් ඇති කරන්නට උත්සාහ දැරූ කාල පරිච්ඡේදයේදී මුහුණ දෙන්නට සිදුවී තිබුනු ප‍්‍රායෝගික ගැටළු.ඒ වගේම කර්මාන්ත හා කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රවල මහා පරිමාණ කාර්මීකරණයන් ඇති කරන්නට තරම් දියුණු තාක්‍ෂණයක්, සමාජ කාර්යක්‍ෂමතාවයක් සහ ඵලදායකත්වයක් නොතිබීම ප්‍රධාන කරුණු ලෙස සළකන්නට පුළුවන්. ඒ රටවල ජීවත් වෙන පුරවැසියන්ගේ පෞද්ගල අවශ්‍යතා සැළකිල්ලට නොගෙන, පාරිභෝගික අවශ්‍යතා සම්පූර්ණ නොකොට, ධනේශ්වර නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයට ඉඩකඩ සැපයෙන අයුරෙන් නිෂ්පාදන සම්බන්ධතා වැඩි දියුණු කිරීමෙන් තොරව පොදු සමාජවාදී වෙනස්කම් ඇති කල නොහැකි බව මෙයින් පෙනෙනවා. එවැනි සංක‍්‍රමණ කාල පරිච්ඡේදවලදී ඇතිවෙන අකාර්යක්‍ෂමතා, අල්ලස්, දූෂණ, පාලකයන්ගේ හා පරිපාලකයන්ගේ අත්තනෝමතික කටයුතු කළමණාකරණය කරන්නේ කෙසේද යන ප්‍රශ්ණ අපේ සාකච්ඡාවල මුල් තැනක් ගත යුතු බවට මා සළකන්නේ ඒ නිසයි.

මා මිත්‍ර කල්‍යාණ කරුණාරත්න සහෝදරයා විසින් ලියන ලද  “ජවිපෙ, විජේවීර සහ කල්‍යාණ” නමැති කෘතිය ඊයේ මෙම ස්ථානයේදීම ජනගත කෙරුණා. ඒ කෘතිය සම්පූර්ණයෙන් කියවන්නට මට අවස්ථාවක් නොලැබුනත්, කියවන්නට ලැබුනු ඇතැම් කොටස්වලින් මම දැක්කේ එහි ඉදිරිපත් කර තිබෙන ඇතැම් කරුණු සාවද්‍ය බවයි. සිංහල බෞද්ධ ගැමි පරිසරවල හැදී වැඩුණු අප අතින් කවර ආකාරයේ වැරදි අඩුපාඩුකම් සිදු වුනත්, අප බොහෝ දෙනා තුළ කවර ආකාරයේ වැරදි අඩුපාඩුකම් තිබුනත්, අපි හුදු ජාතිවාදීන්, ජාතිකවාදීන්, ආගම්වාදීන් හෝ කුලවාදීන් නුවූ බව කිව යුතුයි.

ඒ වගේම අවධාරනයෙන් කිව යුතුයි, ඊයේ මෙම ස්ථානයේදී කරන ලද කතාවලදී කියවුන කරුණු සම්බන්ධව මා දුටු බරපතල අඩුපාඩුවක් ගැන.

ලාංකීය සන්දර්භය තුල බලහත්කාරය, විප්ලවය හා සමාජවාදය පිළිබඳව කතා කරන විට1960 ගණන්වල ජාත්‍යන්තර මෙන්ම දේශීය වශයෙන් පැවතුන සමාජ-ආර්ථික හා දේශපාලන වාතාවරණයෙන් වියුක්ත ව අපට කතා කළ නොහැකියි.

ඒ කාලයේ ඇමෙරිකන් නව යටත් විජිතවාදය තම පැවැත්ම සහතික කර ගන්නට දැන් වගේම එහෙත් බොභෝවිට විවෘතව හෝ ආවෘතව රටවල් ආක්‍රමණය කරා. හැට ගණන්වල අප්‍රිකාවේ, ආසියාවේ, යුරෝපයේ සහ ඇමෙරිකානු මහද්වීපවල හමුදා ආඥාදායකත්වයන් විශාල වශයෙන් පිහිටුවා තිබුනා. අද කරනවා වගේම ඒ අන්දමට බලය අල්ලා ගැනීමේ අරමුණ සාධාරණය කෙරුණේ සන්නද්ධ හමුදාව බොහෝ විට ,මධ්‍යස්ථ, මතධාරීන් බව පවසමින්, බේරුම් කරුවන් ලෙස පෙනී සිටිමින්, දූෂිතයන් බවට පත්ව ඇති, දුර දිග බලා කටයුතු නොකරන දේශපාලනඥයන්ගෙන් රට ජාතිය, ආගම බේරා ගන්නට ඉදිරිපත් වන්නට පෙනී සිටීමින්.

ඔබට මතක ඇති, යටත් විජිත යුගයේ දී ඇමෙරිකාව දැවැන්ත ස්වාභාවික සම්පත්වලින් මූලෝපායිකව ඉතා වැදගත් වෙන කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ කොටසක් අත්පත් කර ගෙන, 1960 දි එහි ප්‍රථම අගමැති වරයා වශයෙන් ජනතාව තෝරා පත් කර ගත් පැට්‍රිස් ලුමුම්බාව ඝාතනය කිරීම. අප්‍රිකාවේ වගේම උතුරු, මධ්‍යම සහ දකුණු ඇමෙරිකාවේ, ආසියාවේ සහ යුරෝපයේ රටවල් 51 කම පාහේ ඒ වන විට ආඥාදායක ආණ්ඩු පිහිටුවා තිබුනා. ආසියාවේ ඇමෙරිකන් මැදහත් වීම්වල සමූලඝාතන ස්වභාවය පැහැදිලිවම ඒ කාලයට ආසන්නව ප්‍රකාශයට පත් වූනේ ඉන්දුනීසියාවේ.

1960 ගණන්වල අග භාගයේ ජාත්‍යන්තර වශයෙන් පැවති ඇමෙරිකන් ආක්‍රමණත්, රටේ අභ්‍යන්තරයේ ඒකාධිපතිත්වයක් ඇති කරන්නට ඇමෙරිකන් ගැති දේශපාලකයන් දැරූ ප්‍රයත්නත් හමුවේ දේශපාලන බලය වැඩෙන්නේ තුවක්කු කඳ තුලින් ය යන ප්‍රකාශය අනුව යමින් අප ආයුධ සන්නද්ධ වෙන්නට පටන් ගත්තා. මා ඕ වාදී සටන් පාඨ අපේ උපාය මාර්ගය බවට පත් වුනා. ලතින් ඇමරිකානු විප්ලවවාදීන් විසින් භාවිතා කරන ලද අරගල මාදිලීන්වලින් අපි දැඩි උත්තේජනයක් ලැබුවා. අප එදා විශවාස කලේ ශ්‍රී ලාංකික ධනවාදී රාජ්‍යයට එරෙහිව කරන අවිගත් අරගලයකින් පමණක් වැඩ කරන ජනතාව විප්ලවීය ක්‍රියාකාරිත්වය වෙත අවදි කළ හැකි බවයි. අප වඩා කැමති ක්‍රම වේදය වුනේ නගර සහ ගම් දනව් බොහොමයක එකවර සිදු කරන අවිගත් කැරැල්ලක් දියත් කිරීමයි. රටේ කුඩා භූමි ප්‍රදේශය, හුදකලා පිහිටීම, දුර්වල හමුදා සහ පොලිස් බලය වැනි කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවේ විප්ලවය ක්ෂණික ස්වරූපයක් ගත යුතු බව යි.

සමාජවාදය හා සමාජ සාධාරණත්වය පිළිබඳ සංකල්ප 21 වන සිය වසේ අද පවතින තත්වයන්ට අනුකූල කර ගන්නට නම් ආර්ථික ප්‍රශ්ණ මෙන්ම ජාතික හා මානව වාර්ගික පීඩා පිළිබඳ ප‍්‍රශ්ණ, පාරිසරික ප‍්‍රශ්ණ, විවිධාකාර වෙනස්කම් මත කරනු ලබන පීඩා සහ මර්දනය කිරීම් වැනි ප‍්‍රශ්ණද අන්තර්ගත කර ගත යුතු වෙයි. අපේ ලෝකයේ පරිසරයට, ජීවත් වෙන්නට සහ එහි පැවැත්මටම තර්ජනයක් වී පවතින්නාවූ ද කෙසේ හෝ ලාභ උපරිම කිරීම පමණක් ඉලක්කය කර ගත්තාවූ ද කෑදර ධනේශ්වර සමාජ ක‍්‍රමය සාර්ථක ලෙස පවත්වා ගෙන යා නොහැකි ක‍්‍රමයක් බව වැඩි වැඩියෙන් සනාථ වෙමින් පවතී. ධනේශ්වර සමාජ ක‍්‍රමයට ඇති විකල්පය ලෙස වඩා යහපත් වඩා සාධාරණ සමාජ ක‍්‍රමයක් ගොඩ නැඟිය හැකි බවත්, ගොඩ නැඟිය යුතු බවත් මගේ කල්පනාවයි.

ධනේශ්වර සමාජ ක‍්‍රමය බිඳ වැටීම ඉබේ සිදුවන්නක් නොවේ. එය දැනුවත් බවට පත් සක්‍රීය බලවේගයක් ලෙස සංවිධානය වූ බලමුළු ගැන්වුනු වැඩ කරන ජන කොටස් විසින්, සමාජය විසින් විස්ථාපනය කළ යුතු වූවකි. මේ සම්බන්ධයෙන් අපේ අනිවාර්ය දුබලතාවය වන්නේ අප අපේම ශක්තිය පිළිබඳව, සමාජයේ ශක්තිය පිළිබඳව අධිතක්සේරු කිරීමත් ධනේශ්වර ක‍්‍රමයේ ශක්තිය පිළිබඳව අවතක්සේරු කිරීමත් ය. ඒ හේතුවෙන්  සමාජ සාධාරණත්වය සඳහා කරනු ලබන මතවාදී අරගලය නිරන්තරයෙන් මුවහත් කොට ශක්තිමත් කරන්නට ඇති වුවමනාව මොට බවටපත් වෙයි.

ඒ අවධියේ පැවතුනු සම්ප‍්‍රදායික පැරණි වමේ පක්‍ෂ අද වන විට නාම මාත‍්‍රික බවට පත්ව ඇත. පොදුවේ ගත් විට, වමේ ශක්තිමත් බවක් පෙනෙන්නට නැත. රටේ සමාජ-ආර්ථික හා දේශපාලනික ගැටළු සමස්තයක් වශයෙන් ගෙන කරන විශ්ලේෂණයක්, ඒ ගැටළු වෙත විද්‍යාත්මක පදනමක් මත ගොඩ නඟා ගන්නා ලද ප්‍රතිපත්ති  සමුදායක් මගින් ඉදිරිපත් කරන විසඳුමක්ද පෙනෙන්නට නැත. නාගරික වශයෙන් ප්‍රචලිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිනා ගැනීම සඳහා කරන අරගල, ජාතික ගැටළුව හා ජන වාර්ගික සංහිඳියාව, යුද අපරාධ හා සම්බන්ධ ගැටළු වැනි ඒවාට අමතරව නගරයෙන් පිටස්තරව වාසය කරන, විශේෂයෙන්ම ගැමි ජනතාවගේ ප්‍රශ්ණ, සෞඛ්‍ය, කාන්තා සහ ගොවි ජන ගැටළු වැනි කරුණු ආමන්ත්‍රණය කරන වැඩපිළිවෙලක් ද දකින්නට නැත. එසේ නැතහොත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් බවට පත් වී නැත.

සමාජ සාධාරණත්වය සඳහා අරගල කරන සියළු දෙනාම ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිනා ගන්නටත්, තහවුරු කර ගන්නටත්, අපේ රටේ වසන සෑම පුර වැසියෙකුටම සමානයන් ලෙස සැලකීමේ, සහ සම අවස්ථා ලබා දීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් ජන කොටස් දැනුවත් කරන්නටත් කටයුතු කළ යුතුව ඇත.

සාධාරණ සමාජයක්, වඩා යහපත් සමාජයක් ගොඩ නැඟීම සඳහා තම ජීවිත කැප කළ, සකලවිධ ආකාරයේ කැප කිරීම් කළ සහෝදර සහෝදරියන් සියළු දෙනාගේ පොදු අරමුණ, ඔවුන් සියළු දෙනාගේ එකම පැතුම වූයේ අපේ ලෝකයේ, විශේෂයෙන්ම අපේ රටේ වාසය කරන හැම මිනිසෙකුටම මිනිසෙක් ලෙස නිදහසේ ජීවත් විය හැකි ආකාරයේ සමාජ හා ආර්ථික සාධාරණත්වය රජයන සමාජ ක‍්‍රමයක් ගොඩ නැඟීම යි.

එය අප සියළු දෙනාගේම පොදු අරමුණ ද, එකම පැතුම ද විය යුතුය. අප බොහෝ දෙනා අතර කවර ආකාරයේ අඩු ලූහුඬුකම් පැවතුන ද, අප ජාති වාදීන් හෝ ජාතික වාදීන් හෝ ආගම් වාදීන් හෝ කුල වාදීන් හෝ නොවිය යුතුය. එකිනෙකාගේ සමාජ-ආර්ථික හා සංස්කෘතික පසුබිම් කවරක් වූවද, අප සියළු දෙනාගේ එකම අරමුණ විය යුත්තේ සමාජ හා ආර්ථික සාධාරණත්වය අත් කර ගත හැකි සමාජයකට අත්තිවාරම දැමීම යි. මේ සඳහා අප සියළු දෙනාට අධිෂ්ඨානයත්, ශක්තියත්, ධෛර්යයත් ලැබේවා යයි ප‍්‍රාර්ථනා කරමින් අදට ඔබෙන් සමු ගන්නෙමි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *