රනිල් කූඩුවට නංවන කතාව ජනාධිපතිගේ තවත් පචයක් – නීති අංශ කියයි

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චූදිතයකු ලෙස අධිකරණයේ කූඩුවට නැංවීමට සියලු ලිපිගොනු සූදානම් බවට ශ්‍රී ලං.නි.ප. 68වන සංවත්සරය දා කතාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේ තවත් විශාල බොරුවක්  බව නීතිපති දෙපාර්තමේන්තුවේ හා නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග කියයි. ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සඳහන් නොකර කීවේ අර්ජූන මහේන්දුන්ට වඩා ඉහළ බලධාරියකු කූඩුවට නංගවන බවයි. එම සඳහන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගැන බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි.

කෙසේ වෙතත් මෙයද කුඩු ජාවාරම් කරුවන්  එල්ලුම් ගස් යැවීමට නියෝගයට අත්සන් කළ බවට හා ජනාධිපතිවරයා කළ එබඳු වෙනත් ප්‍රකාශ මෙන්ම අමූලික බොරුවක් බව නීති අංශවල හා අධිකරණ ක්ෂේත්‍රවල ආරංචි මාර්ග කියයි.

අපේ ආරංචි මාර්ග කියන්නේ බැඳුම්කර සිදුවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ එජාපයේ වෙනත් කිසිවකුගේ සම්බන්ධයක් නැති බව ජනාධිපති පරීක්ෂණ කොමිසන් වාර්තාවේ පැහැදිලිව සඳහන් කොට ඇති බවයි. එබැවින් රනිල් වික්‍රමසිංහ මහතාට හෝ මලික් සමරවික්‍රම, කබීර් හසීම් ඇමතිවරුන්ට හෝ එරෙහි කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට පදනමක් නැති බව ආරංචි මාර්ග කියයි.

එමෙන්ම යම් කිසිවකුට එරෙහිව අධිකරණයේ චෝදනා ඒල්ල කිරීමට පෙර ඒම තැනැත්තාගෙන් විමසා කටඋත්තරයක් ගැනීම අනිවාර්ය කොන්දේසියකි. බැඳුම්කර වංචාවට සම්බන්ධව නිලධාරින්ගෙන් මෙන්ම ව්‍යාපාරිකයන්ගෙන් හා සමාගම් ලොක්කන්ගෙන් ද ඒලෙස කටඋත්තරගෙන මේ වනවිට චෝදනා ගොනු කොට හමාරය.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ ඒජාපයේ කිසිවකුගෙන් එබඳු කටඋත්තර ගෙන නැත. රවී කරුණානායක ඇමතිවරයාට කටඋත්තරයක් දීමට සිදුව තිබෙන්නේ ජනාධිපති කොමිසම ඉදිරියේ අසත්‍ය ප්‍රකාශ කළේ ද යන්න ගැන පරීක්ෂණයක් සඳහාය.

එබැවින් කිසිදු පරීක්ෂණයකින් තොරව අගමැතිතුමාට හෝ වෙන කිසිවකුට ඒරෙහිව නඩු ගොනු සකස් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට හෝ ජනාධිපති කාර්යාලයට හෝ බලයක් නැත.

ජනාධිපතිගේ ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ මහතා මෙම වංචාවට සම්බන්ධ බවට ඇඟවීමට හා එබඳු සැකයක් දිගටම පවත්වාගෙන යාමට කළ අමූලික බොරු ප්‍රකාශයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *