සොච්චම් බඩුමිල අඩුකිරීමක් කරලා ජනතාව මත විශාල බදු බරක් පටවලා. – ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

Vijitha Herath J.V,Pමේ අයවැය තුළ 2016 අපේක්‍ෂිත ආදායම රුපියල් බිලියන 2047ක්. වියදම ගත්තොත් බිලියන 2787යි. මේ අනුව බලනවිට අයැවය හිඟය රුපියල් බිලියන 740යි. මේවා ආණ්ඩුවේ අපේක්‍ෂිත ඉලක්කයි. ඇත්තම ගත්තොත් මේ ආදායම් ලැබෙන්නේ නැහැ. වියදම වැඩි වෙනවා. මේක සුපුරුදු තත්වයක්. මේ නිසා පරිපූරක ඇස්තමේන්තු මගින් මුදල් පියවාගන්න වෙනවා. 2015 අයවැය හිඟය රුපියල් බිලියන 675යි. අයවැය හිඟය වැඩිවෙලා. වියදම් ලැයිස්තුව වැඩිවෙලා. 2014 අයවැය හිඟය 5.7යි. 2015 6%යි. 2016 ඇස්තමේන්තුව 5.9%යි.

ආදායම වුණු රු. බිලියන 2047න් රු. බිලියන 1584ක්ම බදු ආදායම්.

ආණ්ඩුව අයවැයෙන් සොච්චම් බඩුමිල අඩුවීමක් පෙන්නුවා. මේ අඩුකිරීම් සඳහා ආණ්ඩුවට වැයවන්නේ රු.මිලියන 3,000ක්. නමුත් ජනතාව මත පටවන බදුවලින් ගන්න ප‍්‍රමාණය අතිවිශාල ලෙස වැඩිකරලා. ජාතිය ගොඩනැගීමේ බද්දෙන් පමණක් රු.මිලියන 90,000ක් හොයනවා. බඩුමිල අඩුකරන්න වැයවන රු. මිලියන 3,000 අඩුකළොත් රු.මිලියන 87,000ක් ලාභයි. වරාය හා ගුවන්තොටුපොළ බද්ද වැඩිකරලා. ආණ්ඩුව ඒකෙන් රු. මිලියන 30,000ක් හොයනවා. දුරකතන ගාස්තුව වැඩිකරලා රු.මි. 4,000ක් හොයනවා. අයි.ඞී.ඞී. ගාස්තු වැඩිකරලා. මැදපෙරදිග ලාංකිකයෝ ලක්‍ෂ 20ක් පමණ සේවය කරනවා. ඒ අයට කතාකරන දුරකතන ගාස්තු වැඩිකරලා. වෙනත් ගාස්තු හා අයකිරීම් මගින් රු.මි. 75,000ක් හොයනවා.

සොච්චම් බඩුමිල අඩුකිරීමක් කරලා ජනතාව මත විශාල බදු බරක් පටවලා. මේක රාජපක්‍ෂ පාලනය කළ දේම තමයි. කලින් තීරුබදු අයකිරීම කාණ්ඩ 4ක් යටතේ සිදුවුණා. තිරුබදු නැති, 7.5%, 15%, 25% බදු ප‍්‍රතිශත වශයෙනුයි. දැන් එය තීරුබදු කාණ්ඩ 3ක් දක්වා වෙනස්කර තිබෙනවා. ඒ, තීරුබදු නැති, 15%, 30% වශයෙනුයි. සැබැවින්ම මෙහිදී සිදුකර ඇත්තේ, 7.5%ක්ව තිබූ බදු 15%දක්වාත්, 25%ක්ව තිබූ බදු 30% දක්වාත් වැඩි කිරීමයි. ගුවන්තොටුපොළ බද්දත් 5%කින් වැයකරලා. විදේශවල සේවයට යන අයට අමතර ඩොලර් 5ක් ගෙවන්න වෙලා. ආණ්ඩුව බදු මතින්ම ආදායම හොයනවා.

ණය ප‍්‍රශ්නය ගත්තොත් රාජපක්‍ෂ පාලනය, 1950 සිට 2005 දක්වා රට ලබාගත් ණය වගේ තුන් ගුණයක ණය තමන්ගේ 2005-2014 කාලයේ ගත්තා. ඊනියා යහපාලන ආණ්ඩුවත් යමින් සිටින්නේ ඒ පාරෙමයි. 2014 දෙසැම්බර් බිලියන 7390ක්ව තිබූ ණය ප‍්‍රමාණය 2015 ජූලි මාසය වන විට මාස 07ක කාලය තුළ රු.බිලියන 600කින් (කෝටි 60,000කින්* වැඩිවුණා. මේ ආණ්ඩුවත් ණය අරන් තිබෙන්නේ කලින් ආණ්ඩුව වගේම ඉහළ පොලී ප‍්‍රතිශතවලටයි. 2015 මැයි මාසයේ ආණ්ඩුව ඩොලර් බිලියන 2.5ක් ණය ගත්තේ 6.5%ක පොලී ප‍්‍රතිශතයකටයි. ලෝක වෙළඳපොළේ තෙල් මිල විශාල ලෙස අඩුවෙලා තියෙද්දි තමයි මේ ණය අරන් තියෙන්නේ.

අපේ අපනයන ආදායම බිඳවැටිලා. 2005දී 26%ක් වුණු අපනයන ආදායම රාජපක්ෂ පාලනයේ අවසානය වුණු 2014 වෙද්දී 14.9% දක්වා අඩුවුණා. 2015 පළමු මාස 08 තුළ අපනයන ආදායම ඩොලර් මිලියන 7147ක්. ආනයන වියදම ඩොලර් මිලියන 12,559යි. හිඟය ඩො.මි. 5412යි. 5%කින් කඩා වැටිලා. වෙළඳ පරතරය ඉහළ ගිහින්. රාජපක්‍ෂ පාලනයේ වසර 09 තුළ වෙළඳ ශේෂය 400%කින් කඩා වැටුණා. මේ ආණ්ඩුවේ පළමු මාස 08 තුළ වෙළඳ ශේෂය 05%න් කඩා වැටී තිබෙනවා. රාජපක්‍ෂ ආණ්ඩුව තුළ සිදුවූ දේම පුනරාගමනය වෙමින් තිබෙනවා. අයවැය ඇතුළේ ජනපි‍්‍රය ලෙස පේන්න ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීම නිසා ගෑස් මිල අඩුකර තිබෙනවා. ඒත් ජනතාවට ලැබෙන ප‍්‍රතිලාභය අඩුවෙමින් තිබෙනවා. 2014දී ඩොලරයක් සඳහා රු. 131ක් වුණා. දැන් ඒක රු. 144 දක්වා කඩා වැටිලා. මෙහි නතර වීමක් නැහැ.

එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණය කාලයේදී දැන්වීම් දාලා තරුණයින්ට කිව්වා වාහනයක් ගන්න පුළුවන් ආණ්ඩුවක් හදනවා කියලා. ඒත් දැන් මේ අයවැය ඇතුළේ වාහනයක් තියෙන කෙනාත් රිම් එකෙන් යන තත්වයට පත්කරලා. හිමිකම් සහතිකයකට රු. 15,000යි. දුම් පරීක්‍ෂාවට රු. 5,000යි. ඊට අමතරව ලියාපදිංචි ගාස්තුවත් ඉහළ දාලා තියෙනවා. සාමාන්‍යයෙන් පොදු දේපොළකට අනතුරක් වුණොත් අනතුර සිදුකරපු කෙනා ඒකට ගෙවන්න  ඕන. දැන් ඊට අමතරව ආණ්ඩුවට රු. 10,000ක් ගෙවන්නත් සිදුවී තිබෙනවා. ඒක හරියට ගහෙන් වැටුණු කෙනාට ගොනා ඇන්නා වගේ වැඩක්. බල්ලෙක් පැනලා බයිසිකලෙන් වැටුණු මිනිහට ආණ්ඩුවටත් සල්ලි ගෙවන්න වෙලා.

මිනිස්සු ඉතාම අමාරුවෙන් මුදල් එකතු කරලා වාහනයක් ගත්තා. දැන් ආණ්ඩුව ඒකත් හීනයක් කරලා. වාහන බදු විශාල ලෙස වැඩිකරලා. ඉලේක්ටි‍්‍රක් වාහනයටත් 50%ක බදු වැඩිකරලා. ඒක ලක්‍ෂ 20කින් විතර මිල ඉහළ යනවා. වෙනත් රටවල පරිසර හිතකාමී වාහනවලට ධෛර්යය දෙනවා. මෙතන කරන්නේ ඒකේ දුම් පරීක්‍ෂණය නැති නිසා ඒකට අදාල බද්ද කලින් ගහලා සල්ලි හොයන එකයි. මේ අතර ආණ්ඩුව සුඛෝපභෝගී වාහනවල බදු අඩුකරලා.

සහනාධාර මිලට පොහොර දුන්නේ ඒ පොහොර වගාවට යොදවන බව සහතික කරගන්න. දැන් ආණ්ඩුව යෝජනා කරන්නේ ඒක නවත්වලා රු. 25,000ක් දෙන්න. යල-මහ කන්න දෙකක් තිබ්බත්  අවුරුද්දටම එක පාරයි. මේකෙන් වෙන්නේ මේ සහනාධාරය අතරමැදියෙකුට විකිණෙන එකයි. ඊට පස්සේ ආණ්ඩුව මේක අසාර්ථකයි කියලා නවත්තලා දානවා. මේ අතර තේ සහ පොල් ආදායම කඩා වට්ටන යෝජනාත් මේ අයවැය තුළ තියෙනවා. කලිනුත් තේ මිශ‍්‍ර කිරීම නිසා අපේ රටේ අපනයන තේ වෙළඳපොළ කඩාවැටුණා. දැන් ආණ්ඩුව තවත් තේ ආනයනය කරන්න ඉඩ දීලා, තේවලට තිබුණු අපේ කීර්තිනාමය කඩා වට්ටන්න මඟ සලස්වලා.

රජයේ සේවකයෝ බලාගෙන හිටියා  රු. 10,000ක් තමන්ගේ මූලික වැටුපට එකතු වෙනකන්. මේක ආණ්ඩුවේ ඡුන්ද පොරොන්දුවක් විදියටත් තිබුණා. පහුගිය දවසක මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවෙත් උත්තරයක් දුන්නා ‘අපි කිව්වොත් කිව්වා’ කියලා. නමුත් මේ අයවැයෙන් ඒක කරලා නැහැ. ඒකට වංගුවක් දාලා විශ‍්‍රාම වැටුප දීමේදී ඒ පිළිබඳව සලකා බලන බව කියා තිබෙනවා. ඒ වගේම රජයේ සේවකයන්ගේ වරප‍්‍රසාදයක් වෙලා තිබුණු විශ‍්‍රාම වැටුපත් අවසන් කරන්න ආණ්ඩුව යෝජනා ඉදිරිපත්කර තිබෙනවා. ඒ අනුව 2016 සිට බඳවා ගන්නා සියලූ රජයේ නිලධාරීන්ට විශ‍්‍රාම වැටුප අහිමියි. ඒ වෙනුවට ඔවුන්ට දායක විශ‍්‍රාම වැටුප් අරමුදලක් හදන බව කියනවා. දැන් රජයේ සේවක තීරු බදු සහන වාහන බලපත‍්‍රය අහෝසි කරලා. බොරුවට මුදලින් රු. 50,000ක් දෙන බව කියනවා. පෞද්ගලිකව වාහනයක් පාවිච්චි කරන්න බැරි කරලා මෙහෙම සල්ලි දෙන බව කීම විහිළුවක්.

රජයේ බැංකුවල අඩු පොලියට තමන්ගේ රන් භාණ්ඩ උගස් කරලා ජනතාව සහනයක් ලැබුවා. රජයේ බැංකුවලින් මෙම උගස් ගැනීම් සඳහා 25%ක් වෙන්කරලා තිබුණා. දැන් එම ප‍්‍රමාණය 05%කට සීමා කරලා. තමන්ගේ කණකර උගස් කරන්න ගියාම රජයේ බැංකුවලින් කියාවි, තමන්ගේ මුදල් ප‍්‍රමාණය අවසන් බව. ඔවුන් මුදලාලිලා වෙතට තල්ලූ කරලා. ආණ්ඩුව විපක්‍ෂයේ සිට කිව්වා කැසිනෝ නතර කරන බව. දැන් නම වෙනස් කරලා බදු සහන දෙනවා. ටික කාලෙකට කලින් නගර ශාලාව අසල කුප‍්‍රකට සූදු රැුජින විසින් පවත්වාගෙන ගිය සමාජ ශාලාවක් තිබුණා. ඒකේ රැුජිනෝ සූදු කිීඩාව පැවැත්වුවා. ඒක සමාජ ශාලාවල පවත්වන එක කී‍්‍රඩාවක් පමණයි. මේ අයවැයෙන් රැුජිනෝ සූදු බද්ද මිලියන 200 සිට මිලියන 5 දක්වා අඩු කරලා. මෙහෙම සහන දෙන්නේ මුදල් ඇමති එක්ක මෙයාලාගේ දේශපාලන සම්බන්ධයක් නිසාද කියන එක සොයා බැලිය යුතුයි.

ආර්ථිකයේ ඉතා වැදගත් අංශයකට මේ අයවැයෙන් අතපොවා තිබෙනවා. විශේෂයෙන් ඉඩම් වෙළඳපොළටත් ප‍්‍රාග්ධන වෙළඳපොළටත් විදේශිකයන්ට ඇතුල්වීමට මෙයින් ඉඩකඩ විවෘත කර තිබෙනවා.  මේක රාජපක්‍ෂලා ටික ටික කරගෙන ආපු දේ ඉදිරියට ගෙනයාමක්. මේ ආණ්ඩුව ආනයන අපනයන සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කරලා. මේක වැව් බැම්ම කඩාදාපු අයවැයක්. සියල්ල විනාශ කරමින් ඉදිරියට යන ආර්ථිකයක්.

මේ නිසා ආණ්ඩුවට එකවර මුදල් ටිකක් ඒවි. නමුත් ඉදිරිය අති බිහිසුණුයි. දේශීය ව්‍යාපාරිකයින්ට, නිෂ්පාදකයින්ට මරු පහරක්. 77දීත් මෙය දක්නට ලැබුණා. මුලින් අලංකාරයි. ටික කලක් යනකොට රටේ ආර්ථිකයේ සියල්ල කුණුවී යනවා. පහුගිය සන්ධාන පාලනයත් ඊට කලින් පැවති එජාප පාලනයනුත් අනුගමනය කරගෙන ආපු ආර්ථික මොඩලයම තමයි මේ ඉදිරියට ගෙනයමින් තිබෙන්නේ. ඒ මූලෝපාය තමයි මේ අනුගමනය කරමින් තිබෙන්නේ. දෙගොල්ල වෙන වෙනම කරල පෙන්වපු බංකොලොත් ආර්ථික ක‍්‍රමය දැන් එකට ඉඳගෙන කි‍්‍රයාත්මක කරනවා. නමුත් රටට අවශ්‍ය වන්නේ නිෂ්පාදනය ඉහළ නංවන, එහි ප‍්‍රතිලාභ ජනතාව වෙත ලැබෙන නිෂ්පාදනය පදනම් කරගත් ආර්ථිකයක්.

සකස්කළේ – මනෝජ් රූපසිංහ

ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යය ඒකකයට ස්තූතියි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *