|

ශක්තික , සිතු දේ නොම වී නොසිතු දේ සිදුවීම – නිශාන්ත කමලදාස

බුද්ධාගම රැක ගැනීමට සිදු ව ඇත්තේ, බුද්ධාගම රැක ගන්නට ඉදිරිපත් වන අයගෙන් වීම, අද දවසේ අප මුහුණ දෙන ඛේදවාචකය ය. මෙය බුද්ධාගමට පමණක් නොව, සෙසු ආගම්වලට ද පොදු ය. අද වන විට මුස්ලිම් ආගම රැක ගැනීමට සිදුව ඇත්තේ, මුස්ලිම් ආගමේ ම අන්තවාදීන්ගෙනි. පාස්කු ඉරිදා එල්ල වූ අන්තවාදී ප්‍රහාරය අනතුරු අඟවා සිටියේ සෙසු ආගමිකයන්ට පමණක් නොවේ. එහි තර්ජනාත්මකම පණිවිඩය තිබුණේ මුස්ලිම් බැතිමතුන්ට ය. එම ප්‍රහාරයෙන් පසු වඩාත් ම අසරණ වූයේ ඔවුන් ය.

පාලම පසුවන තුරු දකුණු පැත්ත බලන්න එපා“ යනුවෙන් සඳහන් පුවරුවක්, කෙනකු යන මඟ හමුවේ. ඔහුගේ ප්‍රතිචාරය වන්නේ, අනෙත් පැත්ත බලා ගෙන යෑම ද? නැත. ඔහු කරන්නේ පාලම පසුවන තුරුම දකුණු පැත්තම බලාගෙන යෑම ය. නොකරන්නට කී දේ කිරීම ය. එය එතැනින් යන, එම දැන්වීම දකින, සියයට සීයයක් නොවෙතොත්, සීයයට අනූ නමයක් ම ඔහු අනුගමනය කරනු ඇත. ඒ, එම දැන්වීම කුතුහලය ඇවිස්සීමේ, අවධානය දිනා ගැනීමේ, නොවරදින මඟ වීම නිසා ය. නොබැලිය යුතු යැයි කියන්නේ කුමන හේතුවක් නිසා දැයි දැන ගැනීමට නොතිත් ආසාවක් ඇති වන නිසා ය. ඒ නිසා ම, ඒ පැත්තම බලන නිසා ය.

අප මේ කතාව කීවේ ශක්තික කුමාර නම් අප නොදැන සිටි කුඩා චරිතයක් අතිශය යෝධ මිනිසකු බවට පත් කිරීමේ ව්‍යාපෘතිය තුළ ද අප මේ සංසිද්ධිය දුටු නිසා ය. ශක්තික කුමාර ඇප ලබා නිදහස් වූව ද, ඔහුට එරෙහි නඩුව තවමත් පවතින්නේ ය. ඒ නිසා ඔහුට එරෙහිව යන නඩුව සම්බන්ධ විමසීමක් කරන්නට අපට නීතියෙන් අවසර නැත. එහෙත්, ඒ නඩුවට හේතු පාදක වූ කතාව දක්වන්නටත්, ඒ හරහා ඇති කළ කම්පනය ගැන ලියන්නටත් එයින් බාධාවක් ඇති නොවේ.

ශක්තික කුමාර ලීවේ කෙටි කතාවකි. එය අවසානයේ දිග කතාවක් වී නැවතුණේ ය.

ලේඛකයා දං ගෙඩියට

හේතුව වූයේ සිදුහත් කුමරු හා යශෝධරා කුමරිය අතර සම්බන්ධයට, එම කෙටි කතාවේ එක් චරිතයක් විසින්, අප දැන සිටි අර්ථකථනයට වඩා වෙනත් අර්ථකථනයක් සපයන පරිද්දෙන්, එය ලියූ නිසා ය.

මේ දැක කිපුණු ස්වාමීන් වහන්සේලා හා ගිහියන් පිරිසක් පොලීසියේ ද ආධාරය ඇතිව ලේඛකයා අත්අඩංගුවට ගත්තෝ ය. එතැනින් නොනැවතී උසාවියට ඉදිරිපත් කොට, ඇප නොදී රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට වග බලා ගත්තෝ ය. එතැනිනුත් නොනැවතී උසාවියට ඉදිරිපත් කරන දිනවල උද්ඝෝෂණ පවත්වමින්, මාධ්‍යකරුවන්ට රේටින් වැඩි කර ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍යය ද අඩුවක් නැතිව සපයා දුන්නෝ ය. මාධ්‍යය ද මේ ලේඛකයා දංගෙඩියට යවමින්, රේටිං වැඩි කර ගැනීමේ ව්‍යාපෘතියට අත ගැසුවේ ය.

අවසාන ප්‍රතිඵලය කුමක් ද? ශක්තික කුමාර නම් බොහෝ දෙනකු නමවත් අසා නැති පුද්ගලයකු, අදීන ලේඛකයකු ලෙස ජනගත වීම ය. ශ්‍රී ලංකාව තුළ සාහිත්‍ය නිර්මාණයක් කිරීම අරබයා බන්ධනාගාර ගත වූ ප්‍රථම හා එක ම පුද්ගලයා බවට පත් වීමෙන්, ශක්තික කුමාර වාර්තාවක් පිහිටු වීම ය. හිර ගෙදර ලැබුණු ඉඩ හසර භාවිත කර ඔහු තවත් පොතක් ලිවීම ය.

මේ අධිකරණ ක්‍රියාදාමය හරහා ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු වීම ය. පොලීසියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රශ්න ඇති වීම ය. වෘත්තීයභාවය පිළිබඳ ගැටලු මතු වීම ය. ඒ සියල්ලටත් වඩා කීප දෙනකු පමණක් කියවා අමතක කර දමන්නට නියමිත වූ කථාවකට, තටු ලැබීම ය.

සිදු වූයේ අපේක්ෂා නොකළ දෙයම ය. නොසිතූ දේ ම ය.

අපේක්ෂා කළේ දඬුවම් දීම වුව ද, ලැබී තිබෙන්නේ කීර්තියකි. අපේක්ෂා කළේ සිදුහත් කුමරු හා යශෝධරා පිළිබඳ “නව“ කතාව ජනප්‍රිය කරවීම නොවූව ද, සිදු ව ඇත්තේ ද එය ම ය.

එපමණක් නොවේ. ඒ හරහා තව තවත් අතීතයේ ප්‍රශ්නයක් නොවූ සාහිත්‍ය කෘති ද අළු ගසා ප්‍රශ්න මතු කරමින් එළියට පැමිණියේ ය. ඒ මේ උද්ඝෝෂණය හරහා විවර වූ ඉඩහසර භාවිතයෙන් ය.

සැක සංකා පහළ වීම

එක් සති අන්ත පුවත්පතක් මේ සිද්ධිය ගැන සඳහන් නොකර, එහෙත්, එයට ඇති අදාළත්වය හැඟී යන පරිද්දෙන්, පැරැණි ගීතයක් එළියට ගත්තේ ය. ඒ, වසන්ත සන්දනායක විසින් ගායනා කරනු ලැබූ “නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා“ යන ගීතය ය. ඒ ගීතය සම්බන්ධයෙන් කුතුහලයක් ඇති කර, ඔබ අතරමං නොකරනු පිණිස එය සම්පූර්ණයෙන් නැවත මෙහි දක්වා ඇත.

නොකියාම එදා ඇසළ මහේ

හඳ ඇති පායා

මහ රෑක මොකෝ යන්න ගියේ

මා හැර දාලා

නින්දේය එදා හිමි ඔබ යන විට

මා උන්නේ

දැනුණා නම් පැන යන බව නෑ

යන්නට දෙන්නේ

මේ මාලිගයේ මේ මාලිගයේ

දැන් මට මොන සැපතද ඇත්තේ

මා තාම නැතේ සඳළුතලෙන්

පහළට බැස්සේ

පොඩි රාහුල පුතු හා මට

දුක් ගින්දර දීලා

ගියෙ ඇයිද තපස් රැකුමට

සිදුහත් හිමි රාජා

සංසාර සැපේ කලකිරුණලු

ඇත්තද ඒක

සිදුවීද නැතොත් මාගෙන්

වරදක් කිසි දාක

ගලවාල දමා ගලවාල දමා

කණකර අබරණ හැම දාක

වැලපේවි යසෝදරා

සොහොන් පිටියකි මේක

නින්දාව නිසා කපිලවස්තු පුර

බැහැ ඉන්න

නොපමාවම ඇවිදින් අපව ද

ඔහි ගෙන යන්න

මේ ගීතය අසන අයට යශෝධරා කුමරිය ගැන අනුකම්පාවක් ඇති වනු නියත ය. කෙනකු තවත් ගැඹුරට හිතන්නේ නම්, ඒ අනුකම්පාවට සමගාමී ව ඇතිවන්නේ සිදුහත් කුමරු පිළිබඳ නෝක්කාඩුවක් බව පෙනෙනු ඇත. එය මෙතෙක් මේ ගීතය ඇසූ අපට මඟහැරණු බව මගේ මතය ය. දැන් මේ නව සන්දර්භය තුළ මේ ගීතය නැවත මතු කරන විට පෙනෙන්නේ, අපට කලින් පහළ නොවූ සැක සංකා මේ හරහා පහළ කර වීමට මේ මැදිහත් වීම මඟින් අවකාශයක් සලසා ඇති බව ය.

ශක්තික කුමාර සංසිද්ධිය හරහා මෙසේ කරලියට පැමිණි තව ගීතයක් වූයේ “නව දැලි හේනක පෑව වැඳිරි රුව“ යන ගීතය ය. අප කලින් සඳහන් කළ ගීය එල්ල වුණේ සිදුහත් කුමරුට ය. බුදුරජාණන් වහන්සේගේ ගිහි කල චරිතයට ය. ඒත් මේ ගීය, බුදුරජාණන් වහන්සේට ම ය.

මේ ගීයෙන් නන්ද කුමරු බුදුරජාණන් වහන්සේට වඩා ඉහළින් තැබෙන්නේ යැයි කෙනකුට තර්ක කළ හැකි ය. ඒ බව හඟිස්සන්නට මේ ගීතය මුළුමණින් ම නොදක්වා බැරි ය.

නව දැලි හේනක පෑව වැඳිරි රුව

ලෙස උවමින් දෙනුවන් රවටා

මා පෙම් කළ ජනපද කල්‍යාණිට

හිමියනි මට කළ නොහැක නිගා

සුරඟන රූ සිරු දුටිමි හැඳින්නෙමි

සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා

මා හඳුනන මගෙ හද ගත් කලනිය

මට නුදුරුයි සුරඹුනට වඩා

මා සිත සුවපත් කරලනු නොහැකිය

සෝ ලතැවුල් දෙයි රැය ද දිවා

නෙත දුටු සුරඟන රූ සිරු කුමට ද

හද දුටු ජනපද කලන නිසා

මේ ගීය ද නව පනක් ලැබ වේදිකාවට කැන්දා ගෙන ඒමට පමණක් නොව, ඒ දෙස වෙනදා නොදුටු දෘෂ්ටියකින් බැලීමට ද අවස්ථාවක්, ශක්තික කුමාර සංසිද්ධිය හරහා විවර වනු පෙනිණි. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ‘බව තරණය‘ පිළිබඳව ද මේ සංවාදය ඔස්සේ නව උනන්දුවක් ඇති වනු ද මම දුටුවෙමි. මේ කිසිවක් මේ උද්ඝෝෂකයන් අපේක්ෂා කළ දේ නොවේ. එහි ප්‍රතිපක්ෂයන් ය.

මේ තුළ සිදු වූයේ ධර්මය පිළිබඳ පණිවිඩය යටපත් වී, චරිතය සම්බන්ධ කුකුස් ඇති වීම ය. බෞද්ධ ධර්මය වෙනුවට, බෞද්ධ සාහිත්‍යය සංවාද, තලයට පිවිසීම ය.

මීට සමාන දෙයක් පසු ගිය දවසක දහම් පාසල් සම්බන්ධයෙන් ද සිදු විය. ඒ ටියුෂන් පන්තියකට පැන, අශෝභන ලෙස හැසිරෙමින්, අසභ්‍ය ලෙස බැණ වදිමින්, භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිසක් නැටූ ජවුසම නිසා ය. මේ ප්‍රතිචාරයට පාදක වූයේ, දහම් පාසල් පවත්වන වෙලාවට ටියුෂන් පන්ති පැවැත්වීම ය. අඩි හප්පා කෑකෝ ගසා කියන ලද්දේ, ළමයින් ටියුෂන් පන්තියට නොව, දහම් පාසලට යා යුතු බව ය. යැවිය යුතු බව ය.

මේ සිද්ධිය දුටු බොහෝ අය කීවේ, දහම් පාසල්වල දේශනා කරන්නේ මෙවැනි භික්ෂූන් නම්, යන ළමයින්ට අබ සරණ බව ය. මෙහෙව් භික්ෂූන් ඉන්නා පන්සල්වල පවත්වන දහම් පාසල්වලට නම් ළමයින් නොයැවිය යුතු බව ය.

අපේක්ෂාව වූයේ දහම් පාසල්වලට ගෙන්වා ගැනීම ය. ප්‍රතිඵලය වූයේ ළමයින් එවන්නේ නැතිව සිටීමට සිතා ගැනීම ය. ඉන්නා ළමයින් ද අස් කර ගැනීමට මාපියන් පෙලඹීම ය.

මේ බොහෝ දෙනකු හැසිරෙන්නේ, මකස ජාතකයේ වඳුරා වගේ ය. රජුගේ ඇඟේ වසන මැස්සාගෙන් රජු බේරා ගැනීම සඳහා කඩුවෙන් මැස්සාට කොටන්නට ගොස් රජුට තුවාල කළ, රජු මරා දැමූ, වඳුරා වගේ ය.

බුද්ධාගමේ චිරස්ථිතිය පතා කරන්නේ යැයි කියන්නේ වුව ද, මේ විසූක දස්සනවලින් අවසානයේ සිදු වන්නේ, බුද්ධාගම තව දුරටත් අසරණ කිරීම ය. අර්බුදයට පත් කිරීම ය. ඒ නිසා ම, අතීතයේ අප නොදුටු, මේ අර්බුද ඇති කරන විසූක දස්සන පහළ වන්නේ ඇයි ද යන්න අප විසින් සොයා බැලිය යුතු ය.

එක් ප්‍රධාන හේතුවක් විය හැක්කේ අවට සිදු වන වෙනස් වීම් තේරුම් ගැනීමට භික්ෂූන් වහන්සේට හා ආගමික හැගීම් ඇති මිනිසුන්ට නොහැකි වීම ය. ඒ නිසා ම දක්නට ලැබෙන්නේ, එයින් අවුලට පත් ව කරන, පමණ ඉක්මවන ප්‍රතිචාර ය.

අප අවට ලෝකය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් තිබෙන්නේ ය. වෙනදා අපට හමු නොවූ දේ අප දෝතටම දැන් ලැබෙමින් පවතින්නේ ය. අතීතයේ බණක් ඇසීමට නම් අප පන්සලකට යා යුතු විය. නැතිනම් ස්වාමීන් වහන්සේ නමක් ගෙදර වඩම්මා ගත යුතු විය. දැන් එසේ නොවේ. රූප පෙට්ටිය විසින් ස්වාමීන් වහන්සේලා උදේ හවස ගෙදරට වඩම්මා දෙනු ලබන්නේ ය. ගුවන් විදුලිය පමණක් තිබුණු කාලයේ වත් නොතිබුණු පරිදි ධර්මය සඳහා ම වෙන්වුණු නාලිකා කීපයක් අපට තිබෙන්නේ ය. අන්තර්ජාලය භාවිත කරගෙන කැමැති ස්වාමීන් වහන්සේ කෙනකුගේ බණක් ද අපට ඇසිය හැකි ය. ධර්ම පොත් පවා පරිහරණය කළ හැකි ය.

ඒ නිසා මිනිසුන්ට පන්සල් යෑමට එදා තරම් අවශ්‍යතාවක් නැත. ධර්මය ඉගෙනීම සඳහා දහම් පාසල් යෑමට ද අවශ්‍ය නැත.

සුපර් මාර්කට් ඇති වන විට සිල්ලර කඩවල ඉල්ලුම පහළ ගියේ ය. ඊට සමාන දෙයක් අද පන්සලට ද සිදුව තිබේ.

වඩා නිවැරැදි හා වඩා හරවත් ධර්මයක්, වඩාත් ධර්මධර භික්ෂුවක් වෙතින්, ලබා ගත හැකි ව තිබිය දී, අප සිල්ලර භික්ෂූන් පිටුපස යන්නේ කුමක් නිසා ද? මේ විසූක දස්සන පිටුපස ඇත්තේ මේ තත්ත්වය නිසා, සෙසු භික්ෂූන් තුළ ඇතිව තිබෙන අපේක්ෂා භංගත්වය ද? අහිමි වෙමින් යන ප්‍රතිරූපය වෙනත් අරුතකින් මතු කර ගැනීමට ඇති වුවමනාව ද? මේ විසූක දස්සනවලින් පෙනෙන්නේ, වඩාත් විද්‍යාමාන වන්නේ, මේ භික්ෂූන්ගේ හීනමානය ය. ඇතුළත ඇති හිස් බව ය. අභිමානවත් මිනිසුන් මෙසේ හැසිරෙන්නේ නැත. ඔවුන්ගේ හැසිරීමෙන් ප්‍රදර්ශනය වනුයේ නිහතමානය ය.

බුද්ධාගම රැක ගැනීමට සිදු ව ඇත්තේ, බුද්ධාගම රැක ගන්නට ඉදිරිපත් වන අයගෙන් වීම, අද දවසේ අප මුහුණ දෙන ඛේදවාචකය ය.

මෙය බුද්ධාගමට පමණක් නොව, සෙසු ආගම්වලට ද පොදු ය. අද වන විට මුස්ලිම් ආගම රැක ගැනීමට සිදුව ඇත්තේ, මුස්ලිම් ආගමේ ම අන්තවාදීන්ගෙනි. පාස්කු ඉරිදා එල්ල වූ අන්තවාදී ප්‍රහාරය අනතුරු අඟවා සිටියේ සෙසු ආගමිකයන්ට පමණක් නොවේ. එහි තර්ජනාත්මකම පණිවිඩය තිබුණේ මුස්ලිම් බැතිමතුන්ට ය. වඩාත් ම එම ප්‍රහාරයෙන් පසු අසරණ වූයේ ඔවුන් ය.

ලොව ආගම් සියල්ල අද වන විට සමාන අර්බුදවලට මුහුණ පා තිබේ. ඒවා රැක ගැනීම සඳහා මූලධර්මවාදී කණ්ඩායම් බිහි වීම එම අර්බුදයේ ම ප්‍රතිඵලයකි. ප්‍රශ්නයක් ව තිබෙන්නේ අර්බුදය සමනය කිරිමට නොව, එය වඩාත් විශාල කිරීමට එම මැදිහත්වීම් හේතු වීම ය. අන්තවාදීන්ගේ මැදිහත් වීම නිසා සිදුව ඇත්තේ ආගම තව දුරටත් සාමයේ පණිවිඩයක් නොවීම ය. වෛරයේ ගිනිසිළුවක් බවට එය පත් වෙමින් තිබීම ය. මැරයන්ට මිසක සාමය පතන මිනිසුන්ට එය තව දුරටත් හව්හරණක් නොවිම ය.

මිනිසුන් පොදුවේ ආගමෙන් ඈත්වන ප්‍රවණතාවක් ලොව බොහෝ රටවල දක්නට ලැබේ. විශේෂයෙන් දියුණු රටවල මෙය වඩාත් දක්නට ලැබේ. එයට එක් හේතුවක් වන්නේ, පැරැණි විශ්වාස එලෙසම පවත්වාගෙන යන්නට සම්ප්‍රදායික ආගමික ආයතන මඟින් කටයුතු කරන නිසා ය. ආගමික සාහිත්‍ය, සාහිත්‍ය ලෙස නොව, ඇදහිය යුතු ආගමික මූලධර්ම ලෙස ගන්නා නිසා ය. අද ඉපදුණු දරුවකු පය තබා ඇවිදින බව කියැවෙන සාහිත්‍ය, අදට ද රස කරමින් කියන නිසා ය. නිසි සංඝායනාවන් නොකරන නිසා ය. සන්දර්භය වෙනස් වූ විට, ඔවුන් විසින් කළ යුතු වෙනස්කම් නොකරන නිසා ය.

උදාහරණයක් ලෙස කාන්තාව අරබයා ආගම්වල ස්ථානය යහපත් එකක් ලෙස හැඩ ගැසී තිබුණේ නැත. එයට එක් කලෙක කාන්තාව සතු සමාජ භූමිකා ද අඩු වැඩි වශයෙන් හේතුවන්නට ඇත. අද ඒ භූමිකා වෙනස්ව තිබේ. එසේ තිබිය දී කාන්තාව හා සම්බන්ධ පැරැණි වත් පිළිවෙත්, දිව්‍ය වාක්‍ය ලෙස ගැනීමෙන් ආගම් තමන්ගේ ම පරිහානිය පාදා ගෙන ඇත. වත්මන සන්දර්භය හා නොගැළපෙන ආගම් සමඟ ගනුදෙනු කිරීමෙන්, තමන්ගේ ජිවිත කැප කිරීමට සූදානම් මිනිසුන් සොයා ගැනීමට හැකි එක ම ක්‍රමය, ඔවුන් සෙසු අයගෙන් හා සෙසු ක්ෂේත්‍රයන්ගෙන් වෙන්කොට ආගමට අන්තවාදී ලෙස ගැට ගැසීම ය. සහරාන් හා ඔහුගේ සගයින් ගත හැක්කේ එසේ ගැට ගැසූ මිනිසුන් ලෙස ය.

එහෙත් එසේ සැවොම ගැට ගසා ගැනීමට බැරි ය. ඒ නිසා සිදු වන්නේ ආගමට අනුග්‍රාහකයන් අඩු වීම ය. ආගම් විහිළුවට ලක් වීම ය. මිනිසුන් ආගම වෙනුවට වෙනත් ආදේශක සොයා ගැනීම ය. පන්සල් වෙනුවට අසපු සොයා යෑම ය. භාවනා මධ්‍යස්ථාන කරා යෑම ය.

ආගමික ප්‍රබෝධය

පන්සලෙන් පරිබාහිරව ඇති ව තිබෙන ආගමික ප්‍රබෝධයට හේතුව ද පන්සල් ගතානුගතිකත්වයෙන් මිදිමට අපොහොසත් වීම ය. ධර්ම දේශනාවලට සවන් දෙනු වෙනුවට මිනිසුන් භාවනා වැඩසටහන් සොයා යන්නේ ඇයි දැයි විමසන්නේ නම්, සිදුවන නැඹුරුව තේරුම් ගත හැකි වනු ඇත. මේ ඇතැම් භාවනා මධ්‍යස්ථානවල ස්වාමීන් වහන්සේලාට වඩා ජනප්‍රියව ඇත්තේ ගිහියන් වීමේ රහස සොයා ගත යුතු ය.

ස්වාමීන් වහන්සේලා මේ තත්ත්වය ඉදිරියේ පරල වන්නේ නැතිව, මේ තත්ත්වයට මුහුණ දිය යුතු වඩා යහපත් ම ආකාරය ගැන සංවාද පැවැත්විය යුතු ය.

ආණ්ඩුවට එල්ලී බලහත්කාරය භාවිතයෙන් ද මේ තත්ත්වය වෙනස් කළ නොහැකි ය. මත්පැන් තහනම් කර, පස්වැනි සිල් පදය ක්‍රියාත්මක කරන්නට හිතුවොත් වෙන්නේ, මිනිසුන්ට කසිප්පු පොවා, ඔවුන් එලොව යවා, පව් පුරවා ගන්නට ය.

ස්වාමීන් වහන්සේලා පාර්ලිමේන්තුවට රිංගුවේ ද ඒ හරහා ආණ්ඩුවට බලපෑම් කිරීමේ අපේක්ෂාවෙනි. බුදුන් අත්හැර ගිය රාෂ්ඨ පාලනය, ස්වාමීන් වහන්සේලාට ගෝචර වූයේ, අප මේ එළැඹෙන්නේ අබුද්දස්ස කාලයට නිසාවෙන් විය හැකි ය.

අන්තිමේ එයින් ද වැඩක් වූයේ නැත. එසේ රිංගීමෙන් ඇති කර ගන්නට හැදූ රිමෝට් කන්ට්‍රොල් ද අන්තිමේ වැඩ කළේ නැත. පළමු පන්සිල් පදය රකින්නේ නැති මිනිසුන්ට එය බලහත්කාරයෙන් රැක්කවීම සඳහා නීති පැනවීමට කළ උත්සාහ ද අන්තිමට සිදු වුණේ අකුලා ගන්නට ය.

දහම් පණිවිඩය

මේ සියල්ල අවසානයේ මෙහෙයවනු ඇත්තේ මිනිසුන්ට ආගම පමණක් නොව, රට ද එපා වීම ය. ප්‍රතිඵලය වනු ඇත්තේ නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් සොයා මිනිසුන් නැව් නැගීම ය.

කරන හැම දෙයකින් ම පාහේ කියමින් ඉන්නේ මක බෑ වෙයල්ලා කියා ය.

මේ තත්ත්වය තේරුම් ගත් ස්වාමීන් වහන්සේලා කීප නමක් සිය කාලය කැප කරමින්, වෙහෙස නොබලා, බුදු දහමේ සැබෑ පණිවිඩය ජනතාවට ගෙන ඒමේ උත්සාහයක යෙදෙති. එහෙත්, වඩාත් දැඩිව නැගෙන ඝෝෂාව විසින් ඒ දහම් පණිවිඩ යටපත් කරමින් තිබේ. ඝෝෂාව විසින් භාෂාව යටපත් කරනු ලැබ තිබේ.

සිවුරට බිය වන තාක් මේ ඝෝෂාව යටපත් කරන්නට බැරි ය. බිය විය යුත්තේ සිවුරට නොවේ. සිවුරට මුවා වී කරන අකටයුතුකම්වලට ය. ඒ තුළ මියෙන ධර්මයේ පණිවිඩයට ය. ශක්තික කුමාර අපට හිරේ යමින්, නව වාර්තාවක් තබා කියා දුන්නේ, ඒ පාඩම විය හැකි ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *