කුලියාපිටිය තාක්‍ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට මුල්ගල තැබේ.

රුපියල් මිලියන 2500 ක් වැය කරමින් ඉදිකිරීමට යෝජිත, තාක්‍ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය සඳහා මුල්ගල තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කුලියාපිටිය නාරංගල්ල ප්‍රදේශයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා රජය හා කොරියානු ජන රජය එක්ව සකස් කළ ඒකාබද්ධ සැලැස්මක් අනුව, කොරියානු ජනරජයේ රුපියල් මිලියන 2500 සහ ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 500ක මූල්‍ය ආයෝජනයකින් කුලියාපිටිය නාරංගල්ලේ අක්කර 16ක භූමිභාගයක මෙම විද්‍යාපීඨය ඉදිකෙරේ

ආර්ථිකය නවීකරණය කර ඉදිරියට යෑම සඳහා පුහුණු ශ්‍රමිකයන් අවශ්‍ය බවත් තම අරමුණ වී තිබෙන්නේ ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාව පුහුණු ශ්‍රමිකයන් සිටින රටක් බවට පරිවර්තනය කිරීම බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම උත්සවයේදී ප්‍රකාශ කර ඈත.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද ප්‍රකාශ කර ඇත..

තාක්‍ෂණ ගුරුවරු වෙනුවෙන් අද කුලියාපිටියේ ආරම්භ කළ විද්‍යා පීඨය අධ්‍යාපනය නවීකරණය කිරීමත් ඒ තුලින් ආර්ථික නවීකරණයේ වැදගත් පියවරක් බව කිව යුතුයි.

මගේ පරමාර්ථය වී තිබෙන්නේ තව අවුරුදු 10 ක් තුළ මෙරට නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් ඇති රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමයි. 

කොරියාව, ජපානය වැනි රටවල නුපුහුණු ශ්‍රමිකයන් නැහැ. ඒ රටවල සියලූ ශ්‍රමිකයන් පුහුණු ශ්‍රමිකයන් බව කිව යුතුයි.

පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීමේ තවත් පියවරක් ලෙස පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ විශාලම කාර්මික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඔරුගොඩවත්තේ ආරම්භ කළා. ඉදිරි වසර කිහිපය තුළ මෙවැනි ආයතන ගණනාවක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙන බව කිව යුතුයි.

අපේ අරමුණවී තිබෙන්නේ නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට වෘත්තීය පුහුණු ශ්‍රම බලකායක් ඇති කිරීමයි.”

  අනාගතයට වැඩියෙන්ම ප්‍රතිලාභ ලැබෙන්නේ අධ්‍යාපනයෙන් බවත්, මේ නිසා අධ්‍යාපනයට කරන හැම වියදමක් ම ආයෝජනයක් බවත් අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා මෙම උත්පැසව අවස්වථාවේදී පවසා ඇත.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“මම ඉතාමත් සතුටු වෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ සංකල්පයක් අනුව මේ රටේ ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් බිහි කෙරෙන 20 වැනි විද්‍යාපීඨය කුලියාපිටියේ ඉදිකිරීමට ලැබීම ගැන. 

මෙම විද්‍යාපීඨය තාක්ෂණික ගුරුවරුන් පුහුණු කරන විද්‍යාපීඨයක්. මෙහි ගුරුවරුන් වසර 4ක් පුරා පුහුණු කරනවා විතරක් නොවෙයි, අවසානයේ තාක්ෂණවේදය සම්බන්ධ ව උපාධියකුත් පිරිනමනවා

මෙය අපේ රටට ලැබුණු ලොකු අවස්ථාවක්. ඒ වගේම මේ වැඩපිළිවෙළ අධ්‍යාපනයේ නව ප්‍රවණතා සමග ඉදිරියට යන්නට හොඳ අවස්ථාවක්”.

මෑතකාලීන ව අධ්‍යාපන පද්ධතිය තුළ ඒ අතර, 13 වසරක අධ්‍යාපන වැඩසටහන, ළගම පාසල හොදම පාසල, සුරක්ෂා රක්ෂණාවරණය, ඇතුළු විප්ලවීය ක්‍රියාමාර්ග රැසක් දියත් කළ බව ද, මෙවර විද්‍යාපීඨ ශික්ෂණලාභීන් 8000ක් එකවර විද්‍යාපීඨ වෙත බඳවා ගැනීමට කටයුතු කළ බව ද, එමෙන් ම රජය විසින් බඳවාගනු ලබන උපාධිධාරීන් 16000න් 5000ක් ගුරුවරුන් ලෙස  ඉදිරියේ දී අධ්‍යාපන පද්ධතියට බඳවාගන්නා බවත් ඒ නිසා ඉදිරි‍යේ දී ගුරු හිඟයක් මතු නොවන බවත්, වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *