|

ජනාධිපති අපේක්ෂකගෙ ප්‍රතිපත්ති සැකසීමට ඇමති රාජිතගෙ නායකත්වයෙන් කමිටුවක් ; රවීගෙ ගෙදර තානාපතිලට පාටියක් ; සංධාන ව්‍යවස්ථාව ගැන ප්‍රශ්න විසඳලා ඉවරයි

පසුගිය සතිය පුරාවටත් එජාපය තුල සංධාන තැනීමේ හා අපේක්ෂකයා නම් කිරීමට අදාල සාකච්ඡා මෙන්ම විවිධ පාර්ශව අතරේ රාත්‍රී භෝජන සංග්‍රහ තරගයක්ද සිදුවිය. නියෝජ්‍ය නායක සජිත් පිළිගැනීම සඳහා මාතරදී ඇමති මංගල සංවිධානය කර තිබූ රැළියට වර්ෂාව මැදද අතිවිශාල ජනකායක් එක් වූ අතර එජාප මැති ඇමතිවරු විශාල පිරිසක්ද ඔවුන් අතර විය. ආණ්ඩුවට වසර 4 ක් පිරීම නිමෙත්තෙන් අගමැති රනිල් එදින රාත්‍රියේ සූදානම් කොට තිබූ භෝජන සංග්‍රහයටද ඉහළ ප්‍රතිචාර ලැබිණ. එජාපෙ මැති ඇමතිවරු 90 කට ආසන්න සංඛ්‍යාවක් ඊටද එක් වූ අතර එදින දහවල් මාතර රැළියට එක් වූ ජනතා නියෝජිතයින් බහුතරයක්ද ඒ අතර සිටීම විශේෂත්වයක් විය.

“මේ දවස් වල ඔයගොල්ලන්ට රෑ කෑම බීම හැම තැනින්ම ලැබෙනව නේද? ඒත් මම දෙන්නෙ ඩිනර් විතරයි. දේශපලන සාකච්ඡා මෙතන නෑ.” අරලියගහ භෝජන සංග්‍රහය ආරම්භයේදීම අගමැතිවරයා කීවේ උස් හඬින් සිනාසෙමිනි.

ඉන් පසු දිනවලද ඇමති මංගල, රවී, ෆොන්සේකා වැනි අයද විවිධ රාත්‍රි භෝජන සංග්‍රහ පැවැත්වූ බවටත් එහිදී ජනපති අපේක්ෂකයා හා නව සංධානය ගැනද විවිධ කෝනයෙන් කතා බහ කෙරුණු බවටද කතාබහ පළවිය.

බ්‍රහස්පතින්දා සුපුරුදු ලෙස අගමැතිවරයා ගෙවීගිය සතියට අදාල සිදුවීම් ගැන මැති ඇමතිවරුන් හා කතාබහ කළේ අරලියගහ මැදුරේදීය.

“ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලත් නැතුව මූද හත් ගව්වක් තියලා අපේක්ෂකයෙක් නම් කරලා පොහොට්ටුව හොඳටම නාලයි ඉන්නෙ. අපි තව ටිකක් පරක්කු වුණාට කමක් නෑ. ඒත් මේවා ඉක්මනින් විසඳාගන්න ඕනෑ.” සභානායක ලක්ෂමන් කිරිඇල්ල කීවේ අගමැති රනිල්ටය.

“ඔව්. ඒ වැඩපිළිවෙළ වේගයෙන් සිදුවෙනවා. සංධාන ව්‍යවස්ථාව ගැන ලැබුණු සංශෝධන වලට අදාල ප්‍රශ්න විසඳලා ඉවරයි. සංධානයේ ප්‍රධානත්වය එජාපෙටයි. දැන් තියෙන්නෙ සංධාන ලේකම් හා අපේක්ෂකයා කාගේත් එකඟත්වයෙන් පත් කර ගැනීමයි.” අගමැතිවරයා ඊට ප්‍රතිචාර දැක්වීය.

“සංධානෙ ලේකම්කමත් එජාපෙටද?” නවීන් දිසානායක ප්‍රශ්න කළේද අගමැතිගෙනි.

“ලේකම්කම තීන්දු කරන්නෙ අපියි. ලේකම් එජාපයෙන් වගේම වෙනත් පක්ෂෙකින් වෙන්නත් බැරි නෑ. මේක අපි තනියම කරල බෑ. අනිත් පක්ෂත් සතුටු වෙන විදියට තීන්දු ගන්න වෙනවා.” අගමැති කීය.

“දැන් අපේ අපේක්ෂකයා තේරීමයි, ඔහුගෙ ජනපතිවරණ ප්‍රතිපත්ති හදන එකයි කොහොමද වෙන්නෙ?” චමින්ද විජේසිරි විමසීය.

“අපේක්ෂකයගෙ ප්‍රතිපත්ති සැකසීමට ඇමති රජිතගෙ නායකත්වයෙන් කමිටුවක් දැම්මා. ඒකට එජාප අය වගේම අනිත් පක්ෂවල සාමාජිකයිනුත් ඇතුලත්.” අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කරුණු පැහැදිලි කළේය.

“දැන් අපේ අපේක්ෂකය කවුද කියලයි හැමෝම අහන්නෙ. මිනිස්සු අතරින්  අපේක්ෂකයෙක් මතුවෙලා ඉන්නවා” හේෂා විතානගේ කීවේ එවැන්නකි.

“සංධානය හදල ඒ පදනම මත අපේක්ෂකයා තේරීම නිසි වේලාවට කළ යුතුයි. අපේක්ෂකත්වය තාම “ඕපන්” කරලයි තියෙන්නෙ කියන එකයි මට තේරෙන්නෙ.” දිනේෂ් වීරක්කොඩි කීය.

“රනිල්, සජිත්, කරූ හා සුළු ජාතික පක්ෂ භේදයක් නැතුව එකමුතු වුණාම අපේ ජයග්‍රහණය කාටවත් වලක්වන්න බෑ. ඒ නිසා සියළු දෙනා සමගි කිරීම වගේම සියළු පාර්ශව නම්‍යශීලී වීමත් අත්‍යවශ්‍යයි” ලක්ෂමන් කිරිඇල්ලගේ අදහස සියළුදෙනා අනුමත කළහ.

“ජනාධිපතිවරණයට කලින් ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එජාපෙ උත්සාහ කරන්නෙ ගෝඨට බයවෙලා කියල සමහර මාධ්‍ය වල යනවා. මේ කතාව මොකක්ද?” මහාචාර්‍ය ආශු මාරසිංහ විමසීය.

“සම්පූර්ණ බොරුවක් ඔය පැතිරෙන්නෙ. මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද කියල ජනාධිපතිතුමයි මගෙන් අහුවෙ. කැබිනට් එක ඉවරවෙලා ජනාධිපති කාර්‍යාල කාමරයේදී තමයි මේ ගැන මුලින්ම අහුවේ. රවීත් මේකට මැදිහත් වුණා. ඇත්ත කතාව රවී දන්නවා. ඊට පස්සේ ජනාධිපතිතුමාගෙ ගෙදරටත් එන්න කියල මේ ගැන කතා කළා. මම කිව්වේ ඡන්දයක් අත ලඟ තියෙද්දි මේක දැන් කරන්න පුළුවන්ද කියලයි. මහින්දලත් කැමතිනම්  අවශ්‍ය නම් මේ සාකච්ඡා ඉදිරියට ගෙනියන්න මගෙන් බාධාවක් නෑ කියන එක විතරයි මම කිව්වේ. ඊට පස්සේ පක්ෂ නායකයින්ගෙ හමුවක් තියලා මේක පුළුල්ව සාකච්ඡා කරන්න පුළුවන් කියල මගේ අදහස් කිව්වා විතරයි” අගමැතිවරයා පැහැදිලි කලේය.

“හැම කුණු ගොඩක්ම බේරුවල් බොක්කට වගේ හැම දේශපාලන කුණු කන්දක්ම එජපෙ පිට පටවලා අනිත් අය ඇඟ බේරගන්නා පහත් දේශපාලන හා ජනමාධ්‍ය සංස්කෘතියක් දැන් මේ රටේ තියෙනන්නේ.” නවීන් දිසානායක කී දේ සියළුදෙනා අනුමත කළහ.

“පාස්කු ප්‍රහාරයෙන් පස්සේ විවිධ පාර්ශව වලට සහන දුන්නා අගමැතිතුමාගෙ මැදිහත්විමෙන් මේ රටේ අත්‍යවශ්‍ය ආහාර ගෙන්නන ප්‍රධානම ආණයනකරුවන්ට ලබාදුන් සහන ක්‍රියාත්මක කරන්න රාජ්‍ය හා පෞද්ගලික බැංකු අදි මදි කරනවා. ඒ මිනිස්සු හිරවුණොත් රටේ අත්‍යවශ්‍ය ආහාරවල හිඟයක් ඇතිවෙන්නත් බැරි නෑ.” අගමැතිවරයා හමුවීමට පැමිණ සිටි රෝහිත බෝගොල්ලාගම කීවේ එවැන්නකි.

“මගේ මැදිහත් වීමෙන් ආණ්ඩුව ඒ ආහාර ආනයනකරුවන්ට සහන දෙන්න ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තහම මහ බැංකු අධිපති සහ මේ රටේ සියළු බැංකු ඊට ප්‍රතිචාර දැක්විය යුතුමයි. මගේ උපදේශකයෙක් හැටියට දිනේෂ් වීරක්කොඩි මැදිහත් වෙලා මේ ප්‍රශ්නය නිරාකරණය කරාවි.” අගමැතිවරයා බෝගොල්ලාගමට පිළිතුරු දුන්නේය.

“ගෝඨා හමුදා ඇඳුමට උඩින් සුදුරෙදි පෙරොවගෙන ආවට එයාගෙ කෙරුවාව ආරම්භයේදිම පෙන්නුම් කළා. කියන දේ අහගෙන යනවා මිසක් ප්‍රශ්න අහන්න කඩේ යන මාධ්‍ය වලටත් තහනම් දැම්මා. තරුණ සමුළුවෙන් මාධ්‍යකාරයො ඔළු පලල එලවල දැම්මා. ඔබට සතුටුයිද දැන් කියල ඒ මාධ්‍ය කරුවන්ගෙන් අගන්න කියල අපි මහින්ද රාජපක්ෂට කියනවා” ගයන්ත කරුණාතිලක කීවේ කාගේත් සිනා මැදය.

“පොහොට්ටු තරුණ සමුළුවට ආපු තරුණයන්ට ටෙලිෆෝන් එක හෝ කරේ තිබුණ බෑග් එකවත් ගෙනියන්න දීල නෑ. ඒ මදිවට තිර පිටපතක් ලියල ගෝඨගෙන් ප්‍රශ්න අහපු තුන්දෙනාගෙන් එක්කෙනෙක් පාර්ලිමේන්තුවේ මයික් කඩලා රාජ්‍ය දේපල හානි කරපු කෙනෙක්. අනිත් තැනැත්තිය හිටපු රජයෙන් පඩි 2ක් අරගත්ත හා මුදල් විසුද්ධිකරණයට අදාලව දැනට නඩු දෙකකින් ඇප පිට ඉන්න තරුණියක් කීවාට ඇත්තටම ඇය කාන්තාවක් වෙන්න ඕනෑ.” එජාප නීති නිළධාරීයෙකු කීවේ කාගේත් සිනා මැදය.

“ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලීසියේ ප්‍රධානිය ලංකාවට ඇවිත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඉතා කෙටි කළකදී මුස්ලිම් ත්‍රස්තවාදය ලංකාවෙන් මුලිනුපුටා දමන්න ක්‍රියා කිරීම ගැන ආරක්ෂක අංශ ප්‍රමුඛව ජනාධිපති අගමැති හා මේ ආණ්ඩුවට ප්‍රශංසා කිරීම රටක් වශයෙන් අපි ලැබූ විශාල ජයග්‍රහණයක්” ඇමති නවීන් දිසානායක කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළවිය.

“ඊයේ පන්නලදී පොඩි බොම්බයක් දෙකක් හම්බු වෙලා. පොහොට්ටුවාදී ජනමාධ්‍යවල මේක මාර විදියට උලුප්පලා පෙන්නනවා. ඒ වගේම පොහොට්ටු අපේක්ෂකයට ලකුණු දමාගන්න මෙවැනි සැලසුම්ගත කුමන්ත්‍රණ දියත්වීමට ඇති ඉඩකඩ ගැන බුද්ධි අංශ සැක පළකර තිබීම ගැන අපි ආණ්ඩුවක් හැටියට දැඩි අවධානය යොමු කරල තියෙන්නෙ ඕනෑ. ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“ඇමති රවීගෙ ගෙදර අගමැතිතුමයි ඇමතිවරු කට්ටියකුයි තානාපතිවරුයි හමුවුණා කියන්නේ ඇත්තද?” දිනේෂ් වීරක්කොඩි විමසීය.

“ආ ඔව්. ඒක සාමාන්‍ය හමුවක්. තානාපති කාර්‍යාලවල පාටි වලට අපිට ආරාධනා කරනවා වගේ රවීගෙ ගෙදර පාටියට තානාපතිලටත් ආරාධනා කරල තිබුණා. මමයි රාජිතත් ගියා. තවත් කට්ටිය හිටියා. ඉන්දියාව ඕස්ට්‍රේලියාව කැනඩාව ස්කැන්ඩෙනියානු රට්වල් ඇතුළු තානාපතිවරු හුඟ දෙනෙකුත් ඇවිත් හිටියා. ඒක සාමාන්‍ය සුහද හමුවක්” අගමැතිවරයා පිලිතුරු දුන්නේ සැහැල්ලුවෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *