ඇල්පිටිය පුංචි ඡන්දය පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයන් තෝරා පත්කර ගන්නා ඡන්ද විමසීම වහාම පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නි‍යෝග කළේය.

2018 වසරේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වූ නමුත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අදාල ඡන්ද විමසීම නොපැවැත්විණි. ඒ එම පළාත් පාලන ආයතනයේ ඡන්ද විමසීම පැවැත්වීමට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් වීම හේතුවෙනි.

අදාල ප්‍රාදේශීය සභාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමෙන් පසු එම පක්ෂය විසින් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ අතර එම විභාගය අවසන් වනතුරු මැතිවරණය පැවැත්වීම තහනම් කෙරිණි.

ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගත් අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම වහාම සිදු කරන ලෙස නියෝග කර තිබේ. මීට අමතරව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය භාරගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල ප්‍රාදේශීය සභාව භාර තේරීම් භාර නිළධාරියාට නියෝග කර තිබේ.

LNW


Leave a Reply

Your email address will not be published. Required fields are marked *