ගෝඨාභයට එරෙහි සොහොන් කොත් නඩුව දිනපතා විභාගයට

ඩී. ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගරය ඉදිකිරීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝබර් මස 15 වැනි දා සිට දිනපතා විභාගයට ගැනීමට පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද තීරණය කර තිබේ.

නඩුව අද කැඳවනු ලැබුවේ, සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේදීය.

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ මැදමූලන ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයට අයත් රුපියල් තුන්කෝටි තිස් නව ලක්ෂයකට අධික මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා එම නඩුවේ චෝදනා පත්‍රය පෙළ ගැසීම සම්බන්ධයෙන් ඉදිරිපත් කොට තිබු අභියාචනාවක් කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා විසින් එකඟ වූ පරිදි ඉදිරිපත් කළ සංශෝධිත චෝදනා පත්‍රය අනුව නඩුව පවත්වා ගෙන යෑමට එකඟ නොවන බව ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරයා අද දින අධිකරණයට දැනුම් දුන්නේ ය.

එම චෝදනා පත්‍රයට විත්තිය එකඟ නොවන්නේ නම් පෙර ඉදිරිපත් කර තිබු චෝදනා පත්‍රය අනුවම නඩුව ඉදිරියට පවත්වා ගෙන යෑමට පැමිණිල්ල සුදානම් බව පෙන්වා දුන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලිප පීරිස් එම නඩුව විභාගයට ගැනීමට දින නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගෝඨාභය රාජපක්ෂ එම නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරනයට ඉදිරිපත් කර ඇති පෙත්සම ලබන ඔක්තෝබර් 1 වැනි දා සිට දිනපතා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ මේ වන විටත් දින නියම කර ඇති බවත් එම විභාගය සඳහා සතියක පමණ කාලයක්ගත වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ ය.

එම ඉල්ලීම සලකා බැලු විනිසුරු මඩුල්ල නඩුව විභාග කිරීමට දින නියම කර පැමිණිල්ලේ සාක්ෂිකරුවන් සිව්දෙනෙකුට ලබන ඔක්තෝබර් 15 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට ද නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *