මහ රෑ හමු වූ නායකයෝ – බිනර දන්තුරේබණ්ඩාර

‘මහ රෑ හමුවූ ස්ත්‍රිය’ 60 දශකයයේ අතිශයින්ම ජනප්‍රිය වු චිත්‍රපටයකි. හරියටම කියනවා එය තිරගත වූයේ 1967 අප්‍රේල් මස 7 වැනි දිනය. ඒවකට අතිශය ජනප්‍රිය නළු නිළියන්, සංගීත අධ්‍යක්ෂවරුන්, ගායක ගායිකාවන් ආදී ශිල්පීන් රැසක් දායක වූ මෙම චිත්‍රපටයටයෙහි  සන්ධ්‍යා කුමාරිගේ රඟපෑමත්, සුජාතා අත්තනායකගේ ගායනයත්, රොක්සාමිගේ සංගීතයත් සිංහල සිනමා වංශකතාවෙන් කිසිදා මැකී නොයන අමරණීය සිහිවටන වනු ඇත.   

ඒ ගැන කතා කිරීම පසෙක තබා දැන් අපි කතා කරන්නට යන්නේ කලින් ප්‍රසිද්ධ කිරීමකින් තොරව (පූර්ව ප්‍රචාරක පටයකින් තොරව) මහ රෑ හමු වූ දේශපාලන ප්‍රබලයන් දෙදෙනෙකු ගැන සැබෑ කතාවක්ය.

ඒ හමුව සිදුවුවේ  2019 අගෝස්තු 27 අඟහරුවාදා රාත්‍රියේය. ඒනම් පසුගිය අඟහරුවාදාය. ඒ හමුව විශේෂ වන්නේ, අන්කවරදාටවත් වඩා උණුසුම් ජනාධිපතිවරණයක් අත ළඟ තිබිය දී වීම හා එසේ හමුවුණේ ඒසේ මෙසේ දෙනෙකු නොව දේශපාලන කරළියේ අද ප්‍රධානතම භූමිකාවකට පණ දෙනු ලබන දේශපාලඥයන් දෙදෙනකු බැවිනි.

එක් අයෙක් පසුගිය (2015) ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වී ජයගත්, ඉන්පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වු, වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. අනෙක් තැනැත්තා හිටපු ජනාධිපති, මෑතක දී දින 52ක් අගමැති වරයකු වූ වත්වමන් විපක්ෂ නායක ද වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂය.

අතිශයින්ම රහසිගත හමුවක් වූ මෙම සාකච්ඡාව මාධ්‍යයට නිරාවරණය නොවූ අතර හමුවෙන් පසුව ඔවුන් දෙදෙනාගෙන් ඒක් අයකුවත් නිල ප්‍රකාශයක් නොකිරීමට ද වගබලා ගත්හ.

කෙසේ වෙතත් ආරංචි මාර්ග පවසන අන්දමට නව සංධානයක් බිහි කරන්නේ නම්, මීළඟ ජනාධිපතිධුරය හෝ අගමැතිධුරය තමන්ට හිමිවිය යුතු බව වත්මන් ජනාධිපතිවරයා තරයේම ප්‍රකාශ කර සිටි බවත්, කිසිසේත් තම ස්ථාවය වෙනස් නොකරන බවත් ස්ථිරවම ප්‍රකාශ කර සිටි බව වාර්තාවේ.

පොහොට්ටු පක්ෂ විසින් ජනාධිපතිවරයාට ලබා දෙන්නට අදහස් කර තිබූ නාමික උප ජනාධිපති ධුරය ජනාධිපතිවරයා හාස්‍යයෙන් යුතුව ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශකර ඇත්තේ කර ඇත්තේ, ‘විහිළු කරනවාදැ’යි අසමිනි. කෙසේ වෙතත් තමන්ගේ වැඩි උනන්දුවක් ඇත්තේ අග්‍රාමාත්‍ය තනතුරට බව වත්මන් ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාට පවසා ඇති බව සැලවේ.

මෙසේ අදහස් දැක්වීමෙන් මහින්ද රාජපක්ෂ මහතා දැඩි කලබලයට පත් වී ඇති අතර ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතා වෙනුවට වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට අවශ්‍ය වාතාවරණය තමන්ට සකසා හැකි බව ප්‍රකාශ කර තිබේ.

තමන් ගෝඨාට අපේක්ෂකත්වය ලබාදුන්නත්, ඔහු එය නිවැරැදි ලෙස කළමණාකරණය කර ගැනීමට අපොහොසත් වූ බවත්, ඔහු ඇතුළු ඔහුගේ සමීපතමයන් කියූ පරිදි, ඔහුට ඇති බව කියන ලද ජනතා රැල්ල පෙන්වීමට අපොහොසත් වූ බවත්, සුළු ජාතික ඡන්ද දිනා ගැනීමට කිසිදු ප්‍රබල උත්සාහයක් නොගත් බවත් සදහන් කර ඇති මහින්ද රාජපක්ෂ මහතා, මේ බව සියල්ලන්ටම පැහැදිලි කර ඔහුව ජනාධිපති සටනින් ඉවත් කිරීමේ හැකියාව තමන්ට ඇති බවත් සඳහන් කර ඇති බව පැවසේ.

මේ අදහසට ප්‍රතිචාර දක්වමින් මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ, සන්ධානයක් බිහිකිරීම හෝ ජනාධිපතිවරණ අපේක්ෂකයකු පත්කිරීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු හදිස්සියක් නොමැති බවය. පොහොට්ටුව සමඟ සන්ධානගතවීම තමන්ට ඇති ඒකම විකල්පය නොවන බවත්, තමන්ට මේ වන විට වෙනත් විකල්ප ද ඇති බවත් අවධාරණය කර ඇත්තේ ඉතාම සැහැල්ලුවෙනි.

ඒ අනුව මේ සාකච්ඡාව අවසන් වී ඇත්තේ තීරණයකින් තොරව බව වාර්තාවෙ. මෛත්‍රිපාල මෙසේ දැඩි ස්ථාවරයක සිටින්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද නොමැති වුවහොත් පොහොට්ටුව පාර්ශ්වය අන්ත පරාජයකට වැටෙන බව විශ්වාස නිසාය.

එදා ජී.ටී.ඩබ්ලිව් ද සිල්වා මහතාගේ ජනප්‍රිය නවකතාවක් පාදක කරගෙන මහ රෑ හමු වූ ස්ත්‍රිය චිත්‍රපටය නිෂ්පාදනය කළේ එකල ප්‍රබල  ජනතා රස වින්දන මාධ්‍ය වන සිනමාවෙන්  රසික හදවත් පිනවීමටය.

අද මේ ප්‍රබල දේශපාලඥයන් මහ රෑ හමුවී සාකච්ඡා කරන්නේ රටේත් ජනතාවගේ යහපතට නොව ඔවුන්ගේ තනතුරු බෙදී යන ආකාරය ගැන රහස් සාකච්ඡා කිරීමට බව මෙයින් මොනවට ප්‍රකට වේ.

බිනර දන්තුරේබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *