අගරදගුරු ඉල්ලන යුක්තිය‍ – සම්පත් අමරසිංහ

රාගම තේවත්ත බැසිලිකාවේ උත්සවයකට සහභාගි වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමි නැවතත් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් යුක්තිය ඉටු වී නැති බවය. පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපක්ෂපාතී, සාධාරණ සහ යුක්තිසහගත පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් නීතිය හමුවට පමුණුවන්නැයි මෙයට පෙර කතෝලික රදගුරු සම්මේලනය ද නිවේදනයක් කරමින් ඉල්ලා සිටියේය.

මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේත්, රදගුරු සම්මේලනයේත් අදහස වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට පත්කර ඇති කමිටුවල අරමුණ ප්‍රහාර සම්බන්ධව ආරක්ෂක අංශවලින් ඇති වු හිඩැස පිළිබඳ සොයා බැලීම බවය. කාදිනල් හිමියන් සහ රදගුරු සම්මේලනය කියන්නේ, පරීක්ෂණ වල අවසන් ඉලක්කය විය යුත්තේ වරදකරුවන් කවුද, ඔවුනට අනුග්‍රහය දැක්වුවන් කවුද, අනුබල දුන් අය කවුද යන්න හඳුනා ගැනීම බවය.

අගරදගුරු හිමියන් සහ රදගුරු  සම්මේලනය ඒ අනුව කියන්නේ පාස්කු ප්‍රහාරයේ දී ආරක්ෂක අංශවලින් යම් වරදක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳ සොය බැලිය යුතු බවද? ඒහෙත් ඒ අතරම රදගුරු සම්මේලනයේ නිවේදනයේ තවත් කරුණක් සඳහන් වේ. ඒය නම්, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ ත්‍රි පුද්ගල කොමිසමේ වාර්තාව මෙතෙක් ප්‍රකාශයට පත් වී නැති බව සහ ඒම කමිටුවේ ප්‍රතිඵල දැනගැනීමට ජනතාව බලාපොරොත්තු වන බවය.

ඒ අනුව කාදිනල් හිමිගේ ප්‍රකාශයේ සහ රදගුරු සම්මේලනයේ  නිවේදනයේත් බරපතළ පරස්පරතාවක් දක්නට ලැබේ. ඒයනම් ඒක් අතකින් පාස්කු ප්‍රහාරයේ දී ආරක්ෂක අංශ වලින් යම් වරදක් සිදු වී දැයි සොයා බැලීම පළක් නැති ක්‍රියාවක් යැයි කියන අතරම ජනාධිපති කොමිසමේ වාර්ථාව පිළිබඳ ප්‍රශ්න  කිරීමය. ජනාධිපතිවරයා විසින් ත්‍රි පද්ගල කමිටුව පත්කරනු ලැබුවේ එහිදී ආරක්ෂක අංශ අතින් යම් වරදක් වී ඇත්දැයි සොයාබැලීම සඳහාය. ඒ ගැන සොයාබැලීමෙන් පලක් නැතැයි අගරදගුරු හිමි සහ රදගුරු සම්මේනලය කියන්නේ නම් ඒහි වාර්තාව ගැන කතාකිරීමද තේරුමක් නැත.

පාස්කු ප්‍රහාරයේ දී ආරක්ෂක අංශ අතින් වරදක් සිදු වී ඇතිද යන්න සොයා බැලීම තේරුමක් නැති ක්‍රියාවක් ලෙස රදගුරු සම්මේනයත් කාදිනල් හිමියනුත් කල්පනා කරන්නේ නම්, පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ද පල රහිත වනු ඇත. රාජපක්ෂ හිතවාදීන්ගේ මතය වන්නේ ද මෛත්‍රි පාර්ශවයේ මතය වන්නේ ද පාස්කු ප්‍රහාරය සම්බන්ධව ආරක්ෂක අංශවල දුර්වලතා පැවතුණිද යන්න විමසා බැලෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තේරුමක් නැති බවය. ඔවුන් ඒම කමිටුව නියෝජනය නොකරන්නේ ද ඒම හේතුව ඉදිරිපත් කරමිනි. ජනාධිපතිවරයා කියන්නේ ද තමන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ කරුණු දැක්වීමට නොයන බවය. එසේම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යනු අරලියගහ මන්දිරයේ පිටපත ලියා පුහුණු වී පාර්ලිමේන්තුවේ දී රගදක්වන නාටකයක් බව ද ජනාධිපතිවරයාගේ අදහසය. ඒ අනුව ගත් කල මහින්දවාදීන්ගේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රි හිතවාදී පිලේත් ජනාධිපතිරයාගේත්, රදගුරු සම්මේලනයේත්, කාදිනල් හිමියන්ගේත් අදහස් අතර වෙනසක් ඇත්තේ නැත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙතින් වරදක් සිදු වී ඇත් ද යන්න සොයා බැලීම වැදගත් වන්නේ නැවත ඒවැනි ප්‍රහාරයක් වලක්වා ගැනීම සඳහා ආරක්ෂක අංශවල දුර්වලතා වෙත් නම් ඒවා නිවැරදි කර ගැනීමටය. ආරක්ෂක අංශවල වරදක් ඇතිද යන්න සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අනවශ්‍යයැයි කාදිනල් හිමි සහ රදගුරු සම්මේලනය සිතන්නේද?

පාස්කු ප්‍රහාරය සම්බන්ධව කෙරෙන ඒකම කයුත්ත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෝ ත්‍රි පුද්ගල ජනාධිපති කොමීසම නොවේ. ආරක්ෂක අංශ සහ පොලීසිය මේ දක්වාත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තැනැත්තන් එම සංවිධානයේ සාමාජිකයන් පිළිබඳ පරීක්ෂණ පවත්වමින් ද, අත්අඩංගුවට ගැනීම් සිදුකරමින් ද සිටී. නිදර්ශනයක් වශයෙන් 2019.08.25 දින පොලීසිය සඳහන් කළේ, තහනම් ත්‍රස්තවාදී සංවිධානයකට අනුග්‍රහය දැක්වීමේ චෝදනාව මත රෂීඩ් අක්බර් නමැති 59 හැවිරිදි පුද්ගලයකු මාවනැල්ල මුරුතවෙල දී අත්අඩංගුවට ගත් බවය.

මොහොමඩ් රෆායිදීන් මොහොමඩ් අලි නමැත්තකු අත්අඩංගුවට ගැනුණු බව 2019.08.22 දින පොලීසිය පැවැසුවේය. අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ඔහු නුවරඑළියේ දී සහරාන් සමඟ පුහුණුව ලැබූ J.M.I ක්‍රියාකාරිකයෙකි. පරීක්ෂණවල අවසන් ඉලක්කය විය යුත්තේ වරදකරුවන්  කවුද  ඔවුනට අනුග්‍රහය දැක්වුවන් සහ අනුබල දුන් අය කවුද යන්න හඳුනා ගැනීම බව රදගුරු  සම්මේලනය පවසන්නේත් කාදිනල් හිමියන් ආණ්ඩුවට නොකඩවා චෝදනා කරමින් සිටින්නේත් සියල්ල මෙසේ සිදුවෙමින් තිබිය දී ය.

පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් හෙළිදරව් කිරීමට පොලිස් පරීක්ෂණ, බුද්ධි පරීක්ෂණ ඉක්මවා ගිය වෙනත් ක්‍රමවේදයක් තිබේද? පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් මේ වනවිටත් පුපුරවාගෙන දිවි තොරකරගත් අයය.

කොටි සංවිධානය ප්‍රහාර සිදු කළ සමයේ ඒම ප්‍රහාර වල වගකීම පැවරීමට ඒහි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සිටියේය. ඒ ඔහු තමා සැඟවී සිටිමින් සිය සමාජිකයන් යොදවා ප්‍රහාර ඒල්ල කළ බැවිනි. ඒහෙත් පාස්කු ප්‍රහාරයේ අනුගමනය කෙරුණු ක්‍රමය වුයේ නායකයා ද ඔහුගේ සමීපතමයන් ද පුපුරවාගෙන මිය යාමය. ඒ අනුව ඒම ප්‍රහාරයේ වගකිව යුත්තකු හෝ වගකිවයුත්තන් පිරිසක් හඳුනා ගැනීමට හෝ හඳුන්වා දීමට හෝ හඳුන්වා දෙන ලෙස කරන ඉල්ලීම වලංගුතාවක් ඇත්තේ නැත.‍

දැනට කෙරීගෙන යන පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ ඉහත පිරිස ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයන් පිරිසක් ද නොවන බවයි. ඒ අනුව ඔවුන් සැලකිය යුත්තේ අයි.ඒස්. වැනි ත්‍රස්ත සංවිධානවල අභාෂය අනුව යමින් මෙරට දී පුපුරුවා ගත් ආගමික අන්තවාදීන් පිරිසක් වශයෙනි. කළ යුතුව ඇත්තේ ඔවුන්ගේ අනුගාමිකයන් හිතවාදින් තවත් සිටීනම් ඔවුන් සොයා අකර්මණ්‍ය කිරීම සහ දඬුවම් ලබාදීමය. ඒකී කටයුත්ත වෙනුවෙන් දැනටමත් පරීක්ෂණ අත්අඩංගුවට ගැනීම් සිදුවෙමින් පවතී.

කාදිනල් හිමියන් සහ රදගුරු සම්මේලනය ඉල්ලන යුක්තිය කුමක්ද යන්න අපැහැදිලි ඉහත හේතු නිසාය. කෙසේ වෙතත් මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා තමා බලයට පත් වු විට පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපක්ෂපාති කමිටුවක් පත් කරන්නට කතෝලික සභාවට පොරොන්දු වී තිබේ. අගරද ගුරු හිමි සහ රදගුරු සම්මේලනය ඊට දක්වන ප්‍රතිචාරය කුමක්දැයි තවම හෙළි වී නැත. කෙසේ වුව පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටුවක් පත්කරන අතරම රතුපස්වල, කටුනායක, මීගමුව, වැලිකඩ ආදි ප්‍රහාර සම්බන්ධව ද කමිටු පත්කළ යුතු බවට රදගුරු සම්මේලනය හා කාදිනල් හිමි ගෝඨාභය මහතාගෙන් පොරොන්දුවක් ලබා ගන්නේනම් වඩාත් වැදගත්ය.

රදගුරු හිමියන්ගේ චර්යා රටාව ආණ්ඩු විරෝධින්ට අවස්ථාව ලබා දීමද යන සැකය තුරන් කිරීමට එවැන්නක් යම් පමණකින් හෝ උපකාරි වනු ඇත. නමුත් අරන්තලා භික්ෂු ඝාතනයට සම්බන්ධ අය සමග ආණඩු කළ ගෝඨාභය මහතාගෙන් පාස්කු ප්‍රහාරය ගැන අපක්ෂපාති විමර්ෂණයක් බලාපොරොත්තු වීම සමාන කළ හැක්කේ කුමකටද යන්න පැහැදිලි නැත.

සම්පත් අමරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *