නායකයින් එකතු කරගෙන පක්ෂය ඉදිරියට ‍ගෙන යනවා-අකිල

එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට කිසිදු ඉඩක් නොදී නායකයා හා නියෝජ්‍ය නායකයා කෙසේ හෝ එකතු කරගෙන ඉදිරියටම ගමන් කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අද(28) පැවති උත්සවයකින් පසු ජනමාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්  අමාත්‍යවරයා මේ බව පැවසීය.

“නායකයා හා නියෝජ්‍ය නායකයා දෙදෙනාම පක්ෂයට ශක්තියක්.අපට ඕනෑ දෙන්නම එකතු කරගෙන යන්නයි. එහෙත් ඇතැම් ජනමාධ්‍යයන්ට අවශ්‍ය පක්ෂය කඩන්නයි. අප කඩන්න දෙන්නේ නෑ.කොහොමහරි එකතු කරගෙන ඉදිරියට යනවා.

රට වැඩිම කාලයක් පාලනය කළ එක්සත් ජාතික පක්ෂය වැදගත් පක්ෂයක් බවත් එහි ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගනු ලබන්නේ මන්ත්‍රී කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැමැත්තෙන් මිස හන්දි ගානේ පැවැත්වෙන හමුවල දී හෝ මාධ්‍ය ආයතන හෝ නොවන බවත්  පැවසූ අමාත්‍යවරයා පක්ෂයේ අපේක්ෂකයා පත්කිරිම නිසි කලට- නිසි ලෙසට සිදු කරන බවත් ‍වේලාසනින් පත්කිරීමේ අවශ්‍යතාවයක් නොවන බවත් ගියවර මාස එකහමාරක් තිබිය දී අපේක්ෂකයන් පත්කොට ජයග්‍රහණය කළ බවත් මෙහි දි සිහිපත් කළේය.

ජනාධිපතිවරණය සඳහා තවම දින නියම කොට නැතැයි ද ජනාධිපතිවරණයට තවත් මාස කිහිපයක් තිබෙන්නේ යැයි ද එම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මුල් වී පිහිටුවනු ලබන සන්ධානයට දේශපාලන පක්ෂ ගණනාවක් සම්බන්ධ වන අතර විපක්ෂයේ විශාල සංඛ්‍යාවක් ද සහයෝගය දීමට නියමිත යැයි ද  පැවසූ අමාත්‍යවරයා “අපි නායකයා හා නියෝජ්‍ය නායකයා බේරා ගෙන වැඩේ හදන්නම්. මාධ්‍යය ප්‍රශ්න හදන්නේ නැතිව ඉන්න.” සඳහන් කළේය.

“අප දේශපාලනඥයන් වශයෙන් අපේ වගකීම හරියට කරන්නම් මාධ්‍ය ආයතන වෙනත් න්‍යාය පත්‍රවලට යන්නේ නැතිව ඔබේ වගකීම ඉටු කරන්න. 

එවිට මේ රට ලස්සන වෙයි.” යනුවෙන් ද  පැවසූ අමාත්‍යවරයා “අප අපට ඕනෑ වෙලාවට අපේක්ෂකයා නම් කරන්නේ අපේ න්‍යාය පත්‍රයට මිස වෙනත් න්‍යාය පත්‍රවලට නොවන බව පක්ෂයේ මහලේකම් වශයෙන් මා ප්‍රකාශ කරනවා.” යැයි ද පැවසුවේය.

වත්මන් ආණ්ඩුව වැඩ නොකළ බව පැවසීම ඇතැමුන්ගේ ද්වේශ සහගත ප්‍රකාශ පමණක් බවත් ලක්ෂ 15ක් වන රජයේ සේවකයන්ගේ වැටුප 106% කින් ඉහළ නැංවීම, ගම්පෙරළිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 5,000ක මුදලක් ලබා දීම, සෑම පාසල් දරුවෙකුම රක්ෂණය කිරීම, සමෘද්ධි දීමනාව සඳහා එදා වෙන්කළ රුපියල් මිලියන 14,000ක මුදල රුපියල් මිලියන රුපියල් 46,000 දක්වා ඉහල නැංවීම, අලුතින් ලක්ෂ 6කට සමෘද්ධිය ලබා දීම, තව මාස කිහිපයකින් විවෘත කිරීමට නියමිත කුරුණෑගල දක්වා වන අධීවේගී මාර්ගයේ වැඩ නිමකිරීම ඇතුලු විශාල සංවර්ධන කාර්යයන් රැසක් සිදුකරන ලද බවත් සඳහන් කළ අමාත්‍යවරයා සංදර්ශන හෝ සමහර අවස්ථාවල දි මාධ්‍ය ප්‍රචාරයන්  නොකළ ද අගමැතිතුමා හා අමාත්‍යවරුන් කැප වී ක්‍රියාකළ බවත් පැවසීය.

ada derana

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *