ශවේන්ද්‍ර නැතිනම් මරණය – අනුර සූරියබණ්ඩාර

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙජර් ජනරාල් නිලයට උසස් කරමින් 23 වැනි යුද හමුදාපතිවරයා වශයෙන් පත් කර තිබේ. ඒ ජනාධිපතිවරයා විසිනි. ශවේන්ද්‍ර සිල්වා ඒතෙක් හිටපු හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ දෙවැනියා වශයෙන් කටයුතු කරමින් සිටියේය.

හමුදාපති ධුරය හිස් වූ විට ඒ සඳහා වෙනත් අයකු පත්කළ යුතු බව පිළිගත යුතුය. එ‍සේම එම තනතුර ‍ජ්‍යෙෂ්ඨත්වයෙන් පිරවිය යුතුය යනු‍වෙන් නියමයක් ද නැත. ‍‍ජ්‍යෙෂ්ඨතමයා ‍නොවන තැනැත්තන්‍‍ගෙන් ධුරය පිර වූ අවස්ථාද ‍කො‍තෙකුත් ති‍බෙන අතරම එ‍සේ පත්කිරීම කිසිවකු විසින් ප්‍රශ්න කරන්නට යෙදී ද නැත. එ‍සේ වුවත් ශ‍වේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයට පත් කිරීම ජාතික වශ‍යෙන් ‍මෙන්ම ජාත්‍යන්තර වශ‍යෙන් ද මේ වන විට බරපතළ ප්‍රශ්න කිරීමකට ලක්ව ති‍බේ.

ශ‍වේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයට පත් කිරීම ‍දේශීය වශ‍යෙන් ‍මෙන්ම ජාත්‍යන්තර වශ‍යෙන් ප්‍රශ්නකාරී වී ඇත්‍තේ ඒ මහතාට විරුද්ධව නැගී ඇති මානව හිමිකම් කඩකිරී‍මේ චෝදනා ‍හේතු‍වෙනි.

ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයට පත්කරනු ලබන්‍‍නේ එම පත්වීම ප්‍රශ්නකාරී විය හැකි බවට ‍පෙරනිමිති අවශ්‍ය තරමටත් වඩා තිබිය දී යැයි කියන්නට පුළුවන. නිදර්ශනයක් වශඔ‍යෙන් ඊලාම් යුද්ධය අවසන් වු පසුව 2010 – 2015 කාලය තුළ ඒ මහතා එක්සත් ජාතින්ගේ නිත්‍ය නි‍යෝජ්‍ය තනාපති කරන්නට යෙදුනි. හමුදා නිලධාරින් වි‍දේශ තානාපති ‍සේවයටත් වි‍දේශ දූත මණ්ඩලවලටත් පත්කිරීමේ පුරුද්ද පැවැති මහින්ද රාජපක්ෂ මහතා‍ගේ ආණ්ඩු කාල‍යේ ශ‍වේන්ද්‍ර සිල්වා මහතා එක්සත් ජාතීන්‍‍‍ගේ නිත්‍ය නි‍යෝජ්‍ය තානාපති ධුරයට පත් කළ සම‍යේ ද ඒ මහතාට යුද අපරාධ චෝදනා එල්ල විය. එ‍සේම 2012 වර්ෂ‍යේ ඒ මහතාගේ නම දකුණු අප්‍රිකාවේ නි‍යෝජ්‍ය මහ‍කොමසාරිස් ධුරයට ‍යෝජනා කළ අතර දකුණු අප්‍රිකා‍වෙන් එල්ල වු වි‍රෝධය ‍හේතු‍වෙන් එම පත්කිරීම සිදු වු‍යේ නැත. ශ‍වේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයට පත්කිරීම ජාත්‍යන්තර වශ‍යෙන් අර්බුදකාරි වනු ඇති බවට පුර්ව නිගමනයකට පැමිණීමට ඉහත සිදුවීම් ඔස්‍‍සේ හැකියාව තිබුණි.

ජාත්‍යන්තර හා ජාතික ප්‍රවණතා ‍හෝ වි‍රෝධතා පිළිබඳ ‍නොසලකා හැර ගනු ලැබු අදූරදර්ශී තීරණයක් ‍හෝ පටු දේශපාලන වාසි ලබාගැනී‍මේ අරමුණෙන් යුතුව ගන්නා ලද තීරණයක් වශ‍යෙන් ‍හෝ සැලකිය හැකි ශ‍වේන්ද්‍ර සිල්වා මහතාගේ පත්කිරීමට ‍මේ වන විට ‍ලොව නන්දෙසින් විශාල වි‍රෝධතාවක් නැ‍ගෙමින් ති‍බේ.

එක්සත් ජාතීන්‍ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදන‍යේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල‍යේ මහ ‍ලේකම් මි‍ෂෙල් බැචලේ ශවේන්ද්‍ර සිල්වා මහතා‍ගේ පත්කිරීම බරපතළ ප්‍රශ්නයක් බවත් මානව හිමිකම් පිළිබඳ සැක සංකා ඇති කරන්නක් බවත් පවසා තිබුණි. එපමණක් ‍නොව මානව හිමිකම් ‍ලේකම් මි‍ෂෙල් බැච‍ලේ‍ගේ  අදහස අනුව එක්සත් ජාතීන්‍ගේ සාම සාධක හමුදා ක්‍රියාන්විතයක් සඳහා ශ්‍රී ලංකා‍වේ සන්නද්ධ හමුදා ‍යොදා ගැනීම සම්බන්ධව ද ශ‍වේන්ද්‍ර සිල්වා මහතා‍ගේ ධුරය ‍හේතු‍වෙන් ගටලු ඇති වීමට ඉඩ තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරන්‍‍නේ ශ‍වේන්ද්‍ර සිල්වා මහතා‍ගේ පත්වීම සම්න්ධ‍යෙන් තමන්‍‍ගේ දැඩි අවධානය ‍යොමුවන බවයි. එක්සත් ජාතීන්‍‍ගේ සංවිධානයට සහ රාජ්‍ය ‍නොවන සංවිධානවලට අනුව ශ‍වේන්ද්‍ර සිල්වා මහතා මානව හිමිකම් ‍චෝදනා එල්ල වී ඇති බව සහ එම චෝදනා විශ්වාස සහගත බව ද ඇමරිකා එක්සත් ජනපදයේ අදහස ‍වේ. සාමය සහ සංහිඳියා‍වේ අවශ්‍යතාව ශ්‍රී ලංකාවේ දැඩිව පවතින ‍මො‍හොතක සිදු කරනු ලැබු ශ‍වේන්ද්‍ර සිල්වා මහතා‍ගේ පත්කිරීම ශ්‍රී ලංකාවේ කීර්ති නාමය, යුක්තිය සහ වගවීම වර්ධනය කිරීම සඳහා කැපවීම හෑල්ලුවට ලක් ‍කෙ‍රෙන්නක් බව ද ඇමරිකා‍වේ අදහස වේ.

ශවේන්ද්‍ර සිල්වා මහතා‍ගේ පත්වීම සම්බන්ධ‍යෙන් යු‍රෝපා සංගමය ද බරපතළ නි‍වේදනයක් නිකුත් කරමින් කියා සිටි‍න්‍‍නේ සංහිඳියාව ඇති කිරීම හා වගවීම සම්බන්ධ‍ කරුණු එමගින් දැඩි ලෙස ප්‍රශ්න කිරීමට ලක්‍‍වෙන බවයි.

ගැටළුව වන්‍‍නේ ඉහත අන්තර් ජාතික තත්ත්වයට මෙරට ප්‍රතිචාර දක්වමින් සහ එම තත්ත්වය ‍තේරුම් ගනිමින් ඉන්නේ කවර ආකාර‍යෙන් ද යන්නයි.

ශ‍වේන්ද්‍ර සිල්වා මහතා‍ගේ පත්වීම සම්බන්ධ ඇමරිකානු මතය ‍කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය හරහා ප්‍රකාශ ‍කෙරුණු විගස විමල් වීරවංශ ආදීන් ප්‍රමුඛ ඊනියා සිංහල ‍බෞද්ධ බලවේග ජනතාව‍‍ගේ සිරු‍රේ ‍ලේ රත් කරන තර‍මේ ප්‍රකාශ නිකුත් කරන්නට පටන්‍ග ‍ගෙන ඇති බව ‍පෙ‍නේ. ‍කෝටියක් සංවර ශීලය තියා එකම සංවර ශීලයක් ‍හෝ නැති ‍මෙරට ඇතැම් භික්ෂුන් එහි දී ‍පෙරමුණ ‍ගෙන සිටිනු පෙනේ.

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව බටහිරට ගැතිකම් කරන්‍‍නේය. බටහිරට යටහත් පහත්ව කටයුතු කරන්‍‍නේය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ බටහිර ජාතීන් ‍මෙරට පාලනයට ඇඟිලි ගසන්නේය යන ‍බොරු මතයක් වපුරා ර‍ටේ බලය ඩැහැගන්නට මාන බලමින් සිටින පිරිසට ශවේන්ද්‍ර සිල්වා මහතා‍ගේ පත්කිරීම සම්බන්ධ‍යෙන් ඇමරිකා එත්සත් ජනපදය, එක්සත් ජාතීන්‍‍ගේ මානව හිමිකම් කාර්යාලය ආදි‍යෙන් නැගෙන කනස්සල්ල මහත් සතුටට කරුණක් වී ඇති බවත් එම තත්ත්වය ‍දේශපාලන තුරුම්පුවක් වශ‍යෙන් ‍යොදා ගැනීමට උප්පරවැට්ටි ‍යොදමින් සිටින බවත් පෙ‍නේ.

ඊළාම් යුද්ධ‍යේ අවසාන භාගයේ මානව හිමිකම් කඩකළ බවට ‍චෝදනා එල්ල වු නිලධාරියකු ‍ර‍ටේ හමුදා ප්‍රධානියා වශ‍යෙන් පත් කරනු ලැබු විට මෙරට ‍දෙමළ ජනතාවට දැඩි කම්පනයක් ඇති වීම අසාධාරණ නැත. ‍දෙමළ ජාතික සන්ධාන‍යෙන් ශ‍වේන්ද්‍ර සිල්වා මහතා‍ගේ පත්වීම සම්බන්ධ‍යෙන් එල්ල වී ඇති වි‍රෝධය ඒ අනුව ප්‍රතික්‍ෂේප කළ හැකි වන්‍‍නේ නැත.

එහෙත් ‍මෙරට භික්ෂූන් ඇතුළු ජාතිවාදීන් ඉහත කාරණය වටහා ගන්නට උත්සාහ කරනු වෙනුවට කරමින් සිටින්නේ ඇමරිකාව ආදි වි‍දේශ රටවල වි‍රෝධය ද දඩමීමා කරගෙන ‍දෙමළ සන්ධානයටත් ‍දෙමළ ජනතාවටත් විරුද්ධව සිංහල ‍බෞද්ධ ජාතිවාදය ඇවිස්සීමටය.

ප්‍රධානතම ගැටළුව වන්නේ මෙවැනි තත්ත්වය හමු‍වේ ආණ්ඩුව හැසිරෙන ආකාරය ය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කසාය බිවු ගොළුවකු ‍සේ හැසිරෙන අතර වි‍දේශ අමාත්‍ය තිලක් මාරපන මහතාට හදිසි‍යේ ශ්‍රී ලංකා‍වේ ස්‍‍වෛරීත්වය මතකයට නැඟී ති‍බේ.

දැන් රටට අවශ්‍යව ඇත්‍තේ ර‍ටේ ස්‍‍වෛරීත්වය ‍නොව මානව හිමිකම්, ජාත්‍යන්තර වශ‍යෙන් ශ්‍රී ලංකා‍වේ තීරණය ආදිය පිළිබඳ කල්පනාකරන ආණ්ඩුවකි. ජනාධිපතිවරයා බලය ඉල්ලු‍වේ ද රනිල් ප්‍රමුඛ ආණ්ඩුව බලය ඉඩල්ලු‍වේද ඒ සඳහාය. ජනතාව ජනාධිපතිටත්, අගමැතිටත්, ආණ්ඩුවටත් බලය දුනනේ ඒ සදහාය. මානව හිමිකම් ජාත්‍යන්තර සහ‍යෝගය බල්ලන්ට දමා කටයුතු කළ ජනාධිපතිවර‍යෙක‍්, ආණ්ඩුවක් සහ නිලධාරි පැලැන්තියක් අවශ්‍ය ‍ නම් ජනතාව රාජපක්ෂ රෙජිමය ‍ගෙදර යවන්‍‍නේ නැත.

දැන් යළිත් ජනාධිපතිවරයාත්, වි‍දේ‍‍ශ ඇමතිවරයාත් පමණක් නොව චම්පික රාණවක ඇමතිවරයා වැන්නන් ස්‍‍වෛරීභාවය ගැන කතා කරනවිට ජනතාවට අවබෝධ වන්‍‍නේ 2015 ජනවාරි‍යේ ජනවාරිවරුන්‍ගේ කරපිටින් ආ තැනැත්තන් රාජපක්ෂ ‍රෙජිම‍යේ කටහඬින් කතා කරන්නට පටන්ගෙන ඇති බවය.

කණගාටුදායකම කරුණ වන්‍‍නේ ඊළඟ ජනාධිපතිධුර අ‍පේක්ෂකයන් වන ‍ගෝඨාභය ‍හෝ අනුර කුමාර පවා මේ සියල්ල ගැන මතයක් ‍නොදැරීමය. එජාප ජනාධිපතිධුර අ‍පේක්ෂකත්වය පතන සජිත් සම්බන්ධව ද කරුණු එ‍සේමය. ‍මේ අවස්ථා‍වේ ශවේන්ද්‍ර පත් කිරීම ඉදිරි ජනාධිපතිවරණයේ දී තමාට වාසියට බලපවත්වනු ඇති බව මෛත්‍රිපාල සිරි‍සේන මහතා සිතනවා ‍වන්නට පුළුවන. ඒ, මහින්දගේ ජාතිකවාදයට එ‍රෙහිව ඔසවා තබන්නට ශ‍වේන්ද්‍ර සිල්වා හොඳ අවියක් වන බැවිනි. සිංහල ‍බෞද්ධයා සම්බන්ධ‍යෙන් එය ‍හොඳ තුරුම්පුවක් බැවිනි.

අනාගත ජනාධිපතිධුර අ‍පේක්ෂකයන් ශ‍වේන්ද්‍රගේ ප්‍රශ්නය මඟහැර යන්‍‍නේ ඔවුන් ද සිංහල බෞද්ධ ඡන්ද වලට ඉව අල්ලමින් සිටින බැවිනි. ‍මේ කිසිවකුට සිංහලයා‍ගේ ඡන්දය ගැන තරම් උනන්දුවක් ‍‍දෙමළා සම්බන්ධ‍යෙන් ද නැත.

සියල්ලටමත් වඩා ‍මේ කිසිවෙක් ඡන්දය ගැන සිතන තරමට රට ‍හෝ ‍ර‍ටේ ජනතාව ගැන සිතන්‍‍නේ නැත. යු‍රෝපා සංගම‍යෙන් ඇමරිකාවෙන් ලැබෙන GSP+ වැනි පහසුකම් රටට නැති වුණත් ඇමරිකාව කියන ආකාරයට ඉදිරි‍යේ දී එරටින් හමුදා සහ‍‍යෝගය නොලැබුණත් ඔවුනට වැදගත් ජනාධිපතිධුරය ය. අගමැතිවරයාගේ ‍ගොළුවත ඒ සියල්ලටම ආශිර්වාදයක් වුව ද එය රටට මහත් ‍කොඩිවිනයක් ය.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *