සජිත් රනිල් සටන සිරිකොතට! – බිනර දන්තුරේබණ්ඩාර

සජිත් රනිල් සටන අද ඊයේ ඇති වූවක් නොවේ. ඒය ආරම්භ වූයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අරභයා ද නොවේ. සජිත්ට අවශ්‍ය බව පෙනීයන්නේ, සිය පියා මෙන්ම වේගයෙන්, අතිධාවනකාරී ලෙස  පක්ෂයේ ඉදිරි පෙළට පැමිණීමට හා රටේ ඉහළ තනතුරු දැරීමට ය. ඒ සඳහා පක්ෂ ව්‍යවස්ථාව, ආචාරධර්ම පද්දතීන්, ජ්‍යෙෂ්ඨත්වයට ගරු කිරීම් කිසිවක් සීමා මාඉම් නො‍වේ.

ජනාධිපති මැතිවරණ උණුසුම පැමිණීමත් සමගම සජිත් තමාට හිතවත් කණ්ඩායමක් වටකරගෙන එළඹෙන ජනාධිපති මැතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා තමා බව හැඟෙවන පරිදි කතා කිරීමට පටන් ගත්තේය. මුලදී ‘වහෙන් ඔරෝ’ ලෙස කියන ලද මෙම අපේක්ෂක කතාව පසුව ඍජුවම කීමට පෙළඹුනේය.

එහෙත් පක්ෂය තවමත් ජනාධිපති අපේක්ෂකයා තීරණය කර නැත. ඒසේ හදිසියේ තීරණය කරන්නට, තවම නාම යෝජනා දිනයක් නම් කර නැත. එසේ තිබියදී සජිත් තම හිතවත් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ලවා ප්‍රසිද්ධ ජනහමු සංවිධානය කරවා ගනිමින් ඒමගින් තම ශක්තිය ප්‍රදර්ශනය කරමින්,  බලපෑම් කරමින් අපේක්ෂකත්වය ලබා ගැනීමට දැඩි උත්සාහයක යෙදෙයි. ඒ මේ මොහොතේ දේශපාලන පිටිය එජාප අපේක්ෂකයාට වාසි සහගත අන්දමින් හැසිරෙන බව ඔවුන් සිතන නිසා වීමට පුළුවන. එහි යම් සත්‍යයක් ඇතත් අතැඹුලක් සේ නොවනු ඇත. 

එහෙත් පක්ෂ නායකත්වයත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයත්, පක්ෂ ව්‍යවස්ථාව අනුව සුදුසු අවස්ථාවේ දී තම අපේක්ෂකයා නම් කරන බව පවසයි. එයට එජාප ය සමග සංධානවන සෙසු පක්ෂවල මතය ද විමසිය යුතුය. මන්ද මෙවර ජනාධිපති මැතිවරණ සටන හිතන තරම් ‘ලේසී ගේමක්’ නොවන බැවිනි.

ජනාධිපති මැතිවරණ ජයග්‍රහණයට පක්ෂ ඡන්ද පදනම පමණක් ‍නොව, පාවෙන ඡන්ද මෙන්ම නොයිඳුල් ඡන්ද බොහෝ සෙයින් බලපාන හෙයිනි. එපමණක් ‍නො‍වේ, ද්‍රවිඩ මුස්ලිම් ‍දේශපාලන පක්ෂවල ඡන්ද පදනම ද එයට එකතුවිය යුතුය. ‘කලබලයට කොරස් කටෙත් අත දාන්න බැරිය’යි පැරණි කියමනක් තිබේ. ඉවසීමෙන් සැලසුම් සහගතව සූක්ෂම ඉලක්කය ගත් කල නිවැරදි ඉලක්කය හඹා යාහැකිය. එයට සාමුහිකත්වය ද ‍බෙ‍හෙවින් ඉවහල් වනු ඇත.

‘කළින් අල්ලපු මාලු ඉක්මනින් නරක් වෙනවා’යි  කියමනක් තිබේ. පොහොට්ටුවේ අපේක්ෂකයා කලින් නම් කළේය. වෙනස් විදිහකට කියනවා නම්, නම් කරවා ගත්තේය. ඒහෙත්ගෝඨා කරළියට එන්නට පෙර තිබුණු උණුසුම දැන් නැත. පැවැත් වූ ජන හමුවල එතරම් ‘ගෝ’ එකක් නැත. පාක්ෂිකයන් සිටින්නේ බියකරු සිහිනයක් දකිමින් සිටිය දී නින්දෙන් ඇහැරුනාක් මෙන් අන්දමන්දවය. මාධ්‍යවේදීන් කොන් කිරීම නිසා මධ්‍යවේදීන් පමණක් නොව ජනතාව ද කළකිරීමට පත්ව ඇත. හැමෝම කියන්නේ දැන් ඔහොම නම්, පසුවට කෙහොම වෙයි ද කියාය. බෞද්ධ ඡන්ද පදනම වශයෙන් ඔවුන් ගණන් ගන්නා ගමේ ගොඩේ පාක්ෂිකයන් පවා දැන් ‘ගෝඨා ඕනෑ… ගෝඨා ඕනෑ…’ යනහඬ නගන්නේ නැත. ඔවුහු මුණිවත රකිති.

පන්සල් රැස්වීම් පළමු රවුම ගිය පසු යාමට තැනක් නැත. මහින්ද සහභාගි නොවුනහොත් රැස්වීම් වලට සෙනඟ නැත. තවමත් ‘අපේ සර්’ මහින්ද ය. එක නැතිවෙනවාටත් මහින්ද කැමති නැත.

නාමල් ගේ විවාහය සැප්තැම්බරයේය. සිය පුතුගේ විවාහයට මහින්දට ශිරන්තිට මෙන්ම පවුලේ සැමට දැඩි කැපවීමකින් වැඩ කටයුතු කිරීමට සිදුවේ. මේ මහින්ද ශිරන්ති පවුලේ අවසන් විවාහ මංගල උත්සවයයි. ඇතැමෙක් කියන්නෙ මෙම මංගල කටයුත්ත මැතිවරණ උණුසුමේම යොදා ගැනීම පිටුපස එළියට නොපෙනන කතාවක් ඇති බවයි.

ගෝඨාව පෙරටු කරගෙන තමා සෙකන්ඩ් වී, අකමැත්තෙන් යන මැතිවරණ චාරීකාවට මහින්ද රාජපක්ෂ මහතාට කෙටි විරාමයක් තැබීමට නාමල්‍ගේ විවාහය හොඳ හේතුවකි. එමගින් ගෝඨා හුදකලා කොට ඔහුට එනම් මහින්දට අවශ්‍ය ඡන්ද ප්‍රතිඵලය ලබා ගත හැකි බව ඔහු හොඳන් දනී.

එම තත්ත්වය තුළ සියළුම වාසි එජාප පෙරමුණටය. එම වාසිය ගෞරවාන්විතව ලබා නොගෙන සජිත් කල්ලිය මේ ගෙනයන අඳබාල ක්‍රියාව හැඟීම් වාදීන්ට මහලොකු ‘චූන්’ එකක් වුවත් බුද්ධිමත් ජනතාවට හිරිකිත පිළිකුල්වැඩකි.

ඒ හිරිකිත වැඩේ උපරිමයට එන්නේ අගෝස්තු 30 වෙනිදා ට පෙර සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය නොදුන්නහොත් ‘අරලියගහ මන්දිරය වටළනවා’ යනුවෙන් සජිත් පාර්ශ්වය යුද ප්‍රකාශ කිරීමත් සමගය. ඔවුන් මෙම ගැම්ම ගෙන තිබෙන්නේ බදුල්ල, මාතර ජනහමුවල ඔල්වරසන් හඬ ඇසීමෙනි’ එම ජනහමුවලට සහභාගි වූයේ කවදත් එජාපය වටා සිටින ඡන්ද දායකයන්ය. එජාප හිතවතුන්ය. ‘කැපුවත් ‍කොළ’ කියන පිරිසය. අද කාලය එළඹ තිබෙන්නේ සෙසු පාර්ශ්වයන් දිනාගැනීමටය. එය ‍දේශපාලන වශ‍යෙන් මැතිවරණයක් අරමුණු කර‍ගෙන පමණක් ‍නොව ර‍ටේ, යහපැවැත්ම උ‍දෙසා ද කළ යුත්තකි.

ඔවුන් පවසන පරිදි ලක්ෂයක සෙනඟක් ගෙනවිත් රටේ අගමැති වරයාගේ නිල නිවස වැටළුව හොත්, එය සුළුපටු කටයුත්තක් නොවනු ඇත. ඒය ජත්‍යන්තර පුවතක් වනු නොඅනුමානය. එය පසුගිය ආණ්ඩුවේ මානව හිමිකම් කඩවීම් වලට වඩා බරපතළ වෙනු ඇත. ලෝකය ඉදිරියේ රට නැවත ගොඩගැනීමට බැරි ලෙස හෑල්ලුවට පත්වෙනු ඇත. එසේ සිදුවුවහොත් එය සුළු සිද්ධියක් වශයෙන් සැළකිය නොහැකි වන්නේ, සහරාන්ලාගේ ක්‍රියාවකටත් වඩා ඉක්මනින් රටේ සහජීවනය ඉදිරිගමන් මග එමගින් කඩා වැටෙනු නිසැක නිසාය.

කවුරුන් ඉදිරිපත් වුවත් කවුරුන් ජනාධිපති වුවත් අපට විශේෂත්වයක් නැත. රටට සෙතක් සැලසෙන්නේ නම් අප බලාපොරොත්තු වන්නේ එපමණකි. එසේ නොමැතිව රටත්, රටේ ඉදිරි ගමනත් අඩාල කර නැවතත් රටේ ස්ථාවරත්වය බිඳ දමා ජාත්‍යන්තරය ඉදිරියේ රට හෑල්ලුවට ලක් කිරීම දේශපාලඥයන් තබා සාමාන්‍ය පුරවැසියන්වත් නොකළ යුතු දෙයකි. එය ජන සතුරන්ට අයත් කාර්යභාරයකි.

බිනර දන්තුරේබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *