වරධරාජා ත්‍රිකුණාමලේ ඉස්සුවේ ජාතික කොඩිය මිස ඊලාම් කොඩියක් නොවේ – හිටපු ඇමැති ජෝ සෙනෙවිරත්න හෙළිකරයි .

Joe Senevirathne - photo“ඔය සිද්ධිය සිදුවුණා කියන අවස්ථාවේ මමත් හිටිය. අභාවප‍්‍රාප්ත නාවික හමුදාපති ක්ලැන්සි ප‍්‍රනාන්දු මහතාත් හිටිය. ආණ්ඩුකාර නලීන් සෙනෙවිරත්න මහතාත් හිටිය. තවත් සම්භාවනීය අමුත්තන් රැුසක් හිටිය. එදා නිදහස් දිනය. ඒ උත්සවය ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකාවෙ ජාතික කොඩිය එසෙව්වෙ. ඒ අවස්ථාවෙ එතුමා කිව්ව ‘මගේ ජීවිතෙට ප‍්‍රථම තාවටයි මම මේ සිංහ කොඩියක් ඔසවන්නෙ. මම එහෙම කරන්නෙ අපි හැමෝම එකට එකතු වෙන්න  ඕනැ, අපි සමගියෙන් ජීවත් වෙන්න  ඕනැ, කියන කාරනය නිසයි’ කියල. ඒක කොතරම් ප‍්‍රගතිශීලි චේතනාවක්ද? එහෙම මිසක් ඊලාම් කොඩියක් එසවීමක් එතන සිදුවුණේ නෑ.” යැයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පළාත් සභාව වන උතුරු නැගෙනහිර පළාත් සභාවේ හිටපු ක‍්‍රමසම්පාදන, තරුණ කටයුතු, නිවාස ඉදිකිරීම්, වාරිමාර්ග අමාත්‍ය, මාධ්‍යවේදී  ජෝ සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය . යුක්තිය සමග සංවාදයකට එක්වූ ඒ මහතා හෙළිදරවු කළ සැගවුණු තොරතුරු මෙසේ ඉදිරිපත් කරමු .

ඔබගේ දේශපාලන භූමිකාව නිරූපණය වෙන්නේ අනෙකුත්් දේශපාලඥයන්ට වඩා වෙනස් ආකාරයකින්. ඔබ මැතිවරණයකට තරඟ නොකරම, පළමුවරට පිහිටුවන ලද උතුරු නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍ය ධුරයකට පත්වෙනව. අපි එතනින් මේ කතාව ආරම්භ කරමු.

ඉන්ඳු ලංකා ගිවිසුම අනුව රජය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ 13 වන සංසෝධනයෙන් ඉඩක් ලබාදෙනව පළාත් සභා පිිටුවීමට. ‘උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ දේශපාලන අභිලාසයන් සෑහීමකට පත්කිරීමට හැකිද?’ කියා කරන උත්සාහයක් හැටියට උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කරල ඒකාබද්ධ පළාත් සභාවක් හදන්න තීරණය වෙනව. ඒ පළාත් සභාවට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා මැතිවරණයක් පැවැත්වුවා. ඒකට නොයෙකුත් දේශපාලන පක්‍ෂ සහභාගි වුණා. එම මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගන්න ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයට හැකියාවක් ලැබුණ. ඔවුන් උතුරු නැගෙනහිර පළාත් සභාව පිහිටුවා ගත්ත.

ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය වාමාංශික අදහස් දරපු සංවිධානයක්. ඔවුන්ට අවශ්‍ය වුණා ජාතිවාදයට එරෙහිව ලොකු අරගලයක් ඇති කිරීමට. ඒක තමන්ගෙ ජාතියෙන්ම ආරම්භ කරන්න ඔවුන්ට අවශ්‍ය වුණා. ඒක ක‍්‍රියාවෙන් ඔප්පු කරන්නත් ඔවුන්ට අවශ්‍ය වුණා. ඔවුන් තීරණය කෙරුවා පළාත් සභාවෙ මුස්ලිම් ජාතික නියෝජනයක් හා සිංහල නියෝජනයක් තිබිය යුතුයි කියල. පළමුව මේ සිංහල නියෝජනය සඳහා පත්කර ගත්තෙ දයාන් ජයතිලක මහත්තය. දයාන් ජයතිලක හා අපි එක දේශපාලන මත බෙදාහදා ගත්ත උදවිය. දයාන් ජයතිලක උතුරු නැගෙනහිර පළාත් සභාවට ගිහින් අමාත්‍යාංශයක් බාර ගත්ත. ඒ අමාත්‍යංශය ක‍්‍රම සම්පාදන හා තරුණ කටයුතු අමාත්‍යාංශය. ඔහු එම අමාත්‍යාංශය බාරගෙන දිවුරුම් දිලා එදාම කොළම ආව. ඊට පස්සෙ ඔහු කවදාවත් අමාත්‍යාංශය පැත්ත පළාතට ආවෙ නෑ. ඔහුගේ නොපැමිණීම නිසා හැමදාමත් පළාත් සභාවේ ප‍්‍රශ්න. හැමෝම ප‍්‍රශ්න කරනව, ‘ඇයි මේ ඇමති පළාත් සභා රැුස්වීම්වලට සහභාගි වෙන්නැත්තෙ?’ කියා. ඊළඟට තවත් ප‍්‍රශ්නයක් ආවා. ඇතැම් අය තර්ක කරන්න වුණා ඇයි දෙමළ කෙනෙක් නැද්ද එම අමාත්‍යංශයට පත් කරන්න කියල. මාස තුනක් යනකල් දයාන් ජයතිලක පළාත් සභාව එක රැුස්වීමකටවත් ආවෙ නෑ. මාස තුනක් නොපැමිණීම නිසා ව්‍යවස්ථානුකූලවම ඔහුගේ තනතුර ආහෝසි වෙන තැනට ආවා. එතනදි ඔවුන් යෝජනා කෙරුවා දයාන් ජයතිලකට ඉල්ලා අස්වෙන්න කියල. ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන්නා. ඒ අමාත්‍යාංශය පුරප්පාඩු වුණා. එයාලට වෙන කෙනෙක් පත්කරන්න උවමනාවෙලා තිබුණා. ඒකට ඔවුන් මගේ නම යෝජනා කෙරුව. මම කැමති වුවත් අපේ ගෙදර අය මේකට කොහොමත්ම කැමති වුණේ නැහැ. මේක යකාගෙ කටට අත දානව වගේ වැඩක්. මම ඊට කලින් දේශපාලනය කරල හිරේ හිටිය. ජේ. ආර්. ජයවර්ධනගෙ ආණ්ඩුකාලෙ. දේශපාලනය නිසා අපි ගොඩක් පීඩා වින්දා. ඒ බයත් ඔවුන්ට තිබුණ.

ඊ.පී.ආර්.එල්.එෆ්. එකේ හිතවතුන් කියන්න පටන් ගත්ත, අපි දයාන්ව පත්කරල කෙරුවෙ සිංහල ජනතාව කෙරේ හිතෛෂීභාවය ප‍්‍රකාශ කිරීමයි. නමුත් ඔහු තමුන්ගෙ යුතුකම ඉටු කරන්නෙ නැතිව පැහැර හැරිය කියල.  ඒක නිසා ඔවුන් මට කියා සිටිය කරුණාකර මේ තනතුර භාර ගන්න කියල. මේ අවස්ථාවෙ ‘මම තෝරාගත යුත්තේ දේශපාලන ජීවිතයද? පෞද්ගලික ජීවිතයද කියන කරුණු දෙක’ අතර දෝලනය වෙන්න පටන් ගත්ත. කොහොම වුණත් අන්තිමේදී මම ඒ වගකීම බාර ගත්ත.

ක‍්‍රමසම්පාදන, තරුණ කටයුතු, නිවාස ඉදිකිරීම්, වාරිමාර්ග කියන අමාත්‍යංශ තමයි මට පැවරුණේ. ඒ තනතුර බාර අරගෙන වැඩ කරන්න කැමති වුණා. ඒක පුදුම අත්දැකීමක්. මම ගියේ විනාශයට පත්වෙච්ච නගරයකට. මේ 1989 කාලය වෙනකොට ත‍්‍රිකුණාමලය හිටියෙ දිගු කාලින යුද්ධයකින් හෙම්බත් වෙලා. ගොඩ නැගිලි කැඩිල. උපකරණ විනාශ වෙලා. කොටින්ම අමාත්‍යාංශය පිහිටුවන්න කාර්යාලයක් තිබුණෙ නැහැ. නවාතැනක් ගන්නවත් පහසුකම් ඇති තැනක් තිබුණෙ නෑ. මම ගෙදරක පොඩි කාමරයක තමයි නැවතිල හිටියෙ.
මේ වන විට අමාත්‍යංශ නිලධාරීන් පත්වෙලා හිටිය. ඒ කට්ටියගෙ උපකාරයෙන් මම නගරය පුරාම ඇවිද්ද. මම නරගරය පුරාම ඇවිදල අමාත්‍යාංශය පිහිටුවීමට ස්ථානයක් හෙව්වා. අවම පහසුකම් ඇති ස්ථානයක් හමුවුණත්, මුහුණ දුන්න බරපතලම ප‍්‍රශ්නය තමයි මානව සම්පත් හිග කම. පුහුණු ශ‍්‍රමිකයන් ඇත්තෙම නෑ. කැඩුණු මේසයක් පුටුවක් හදන්න දන්න කෙනෙක් නෑ. ඉලැක්ටි‍්‍රක් වැඩක් කරවගන්න කෙනෙක් නෑ. මේසෙන් වැඩක් කරවගන්න කෙනෙක් නෑ. බිත්තියක හුණු ටිකක් ගන්න දන්න කෙනෙක් නෑ.

ජනාකීර්ණව තිබූ නගරයක් වන ත‍්‍රිකුණාමලය නගරය එවන් ඉරණමකට මුහුණ දුන්නේ කොහොමද? එහි හිටිය පුහුණු ශ‍්‍රමිකයන්ට සිදුවුණේ කුමක්ද?

සුන්දර ත‍්‍රිකුණාමල නඟගරය, සංචාරක පාරාදීසය යුද්ධය නිසා ගොඩනැගිලි කැඩි බිඳීගිය, ජන ජීවිතයට අවම පහසුකම්වත් නැති දුප්පත් නගරයක් බවට පත්වෙලා තිබුණ. එහි සිටි පුහුණු ශ‍්‍රමිකයන් එකකෝ පිට පළාත්වලට ගියා. තරුණ පිරිස් ආයුධ අරන් සටන් කරන්න කැලෑවට වැදුණ. ඔවුන් දෙමාපියන්, අධ්‍යාපනය, කුඩුම්භ ජීවිතය මේ සියල්ලම අතහැරල දාලා, කැලෑ වදින්න ඔවුන්ට සිද්ධ වුණා. ඔවුන්ට ඉන්දීය හමුදාවටත්, ශ‍්‍රී ලංකා හමුදාවටත් යන හමුදා දෙකකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ අතර ඇති වූ සාමකාමි තත්ත්වය මත පිහිටුවන ලද පළාත් සභාවට ලොකු වගකීමක් පැවරෙනව. මම පළමුවෙන්ම තේරුම් ගත්තෙ මානව සම්පත කළමණාකරනය කරගත යුතුයි කියන කරුණ. පාසල් අධ්‍යාපනය නැවත ස්ථාපිත කළයුතුයි. වෘත්තීය පුහුණුව දිය යුතුයි. අත්‍යාවශ්‍ය පහසුකම්වත් සලසා දියයුතුයි කියල හිතල, අපි ‘අ’ යන්නේ සිට වැඩ පටන් ගත්ත. එහෙත් ඒක එක දිගටම කරගෙන යන්න ලැබුණෙ නෑ. රජයෙන් බාධා එල්ලවෙන්න පටන් ගත්ත. ඒක ඉතාම නරක කණගාටුදායක අත්දැකීමක්.

මොනවද ඒ කණගාටුදායක අත් දැකීම්. රජය පළාත් සභාවෙ වැඩවලට සහයෝගයක් නොදුන් බවද ඔබ කියන්නෙ? මේ කියන වකවානුව තුළ මධ්‍යම රජයේ බලයේ සිටියේ කවුද?  

මේ කාලය පේ‍්‍රමදාස ආණ්ඩුව තමයි බලයේ සිටියෙ. උතුරු නැගෙනහිර පළාත් සභාවෙ අමාත්‍ය පත්වීමක් අරන් එක දවසක්වත් වැඩ නොකර කොළඹ ගිය දයාන් ජයතිලක මහත්තය ප්‍රේමදාස මහත්තයගෙ උපදේශකවරයෙක් වෙලා හිටිය. රජය පළාත් සභාවලට එක අතකින් දෙන දේ අනිත් අතින් උදුර ගන්නව වගේ දේවල් තමයි සිද්ධ වුණේ. ද්‍රවිඩ ජනතාව ඇතුළු ඒ පළාත්වල ජනතාවගේ සුභ සිද්ධියට කිසිම දෙයක් කරන්න දුන්නෙ නෑ.

මේ කාලෙ ආණ්ඩුකාරයා වෙලා හිටයෙ නලීන් සෙනෙවිරත්න කියල හමුදාවෙ උසස් නිලධාරියෙක්. එතුමා ඉතාමත් කැපවීමෙන් වැඩ කරපු නිලධාරියෙක්. පළාත් සභා පිහිටවපු 13 වැනි ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රටේ ආණ්ඩු ක‍්‍රමයේම කොටසක් නිසා ඔහුට අවශ්‍ය වුණා මෙය සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමට. රටේ සාමය ඇති කිරීමට නම් මෙය සා්ර්ථක විය යුතුයි කියල ඔහු තේරුම් ගත්ත. එවිට ජාති භේදයකින් තොරව දෙමළ, සිංහල, මුස්ලිම් මිනිසුන් හැමෝම සතුටට පත්වෙනව. ඒ තුළින් සාමදානයක් ගොඩනැගෙන්න පසුබිම සකස් වෙනව. ඒක ඒ මහතා තේරුම් අරගෙන විශේෂ කැපවීමකින් වැඩ කෙරුව. එහෙත් ඒකට බාදා රැුසක් තිබුණ. විශේෂම දේ තමයි හැම දෙයකටම කොළඹ මධ්‍යම රජයේ අනුමැතිය අවශ්‍යවෙලා තිබුණ. කොටින්ම කැඩිච්ච  ගොඩ නැගිල්ලක් අලූත්වැඩියා කරන්න වුණත් මධ්‍යම රජයේ අනුමැතිය ගන්න අවශ්‍ය වුණා.

දවසක් උත්සවයක් අවස්ථාවකදි මට ආණ්ඩුකාර තුමා මුණගැසුණා. එතුමා කිව්ව ‘මහ ඇමතිතුමාටත් වැඩ කරන්න අවශ්‍ය තාවය තියනව, එතුමා හැමදාමත් බලය නැහැ කිය කිය ඉන්නව. එහෙම නෙමේ අපි පුළුවන් තරමින් වැඩ කරමු’ කියල. මමත් එතුමට කිව්ව ‘ඒක ඇත්ත අපිට වැඩ කරන්න  ඕනැ වුණත් රජයෙන් කරන්න දෙන්නෙ නෑ’ කියල. එතුම කිව්ව ‘පරිපාලනය වශයෙන් ඉතාමත් වැදගත් නගරයක් බවට ත‍්‍රිකුණාමලය පත්වෙනව. එතකොට විශාල වශයෙන් ජනතාව පදිංචියට එනව. අපි ඒකට සූදානම් වෙන්න  ඕනෙ. දැනට ජල පහසුකම නෑනේද? බවුසරේ ආවෙ නැත්නම් වැසිකිලි යන්නවත් වතුර නෑ. ඒක නිසා අපි නගරයට වතුර දෙන්න සැලැස්මක් ක‍්‍රියාත්ම කරමු’ කියල. ඒ යෝජනාවට මට ලොකු සතුටක් ඇති වුණා. වතුර නැතිව ඉතාමත් අපහසු ජීවිතයක් තමයි කවුරුත් ගත කෙරුවෙ. මම දන්නව ජලය නැති නිසා ජනතාව මොනතරම් වදයක් වින්දද කියල. මම ඇහුව ‘සර්, අපි කොහෙන්ද අපි වතුර ගන්නෙ?’ කියල. එතකොට එතුමා කිව්ව ‘කන්තලෙන් ගන්න පුළුවන්නෙ’ කියල. එතුමා තව දුරටත් කිව්ව ‘අපි ලොකු ජල නල දාලා කන්තලේ වැවෙන් වතුර අරගෙන, දැනට වතුර පිරිපහදුවක් තියන ආන්ඩම්කුලම් එකට ඒ වතුර යවල, පිරිපහදු කරල ත‍්‍රිකුණාමලයට නල ජලය දෙමු’ කියල. මම ගොඩක් සතුටු වුණා. මම මහ ඇමතිතු වර්ධරාජා පෙරුමාල් මහත්මයා හමුවෙලා මේ යෝජනාව ගැන කිව්ව. එතුමත් ගොඩාක් සතුටුවෙලා එවෙලෙම කිව්ව ‘අපි මේ වැඬේ අදම පටන් ගමු කියල. මධ්‍යම රජයෙන් මුදල් අවශ්‍යත් නැහ. ඉන්දියානු රජයෙන් සුභසාධන ව්‍යාපෘති සඳහා මුදල් පාස් කරල තියනව” අපි ඒකෙන් ජල සම්පාදන වැඬේ කරමු’ කියල.

මම ආණ්ඩුකාරතුමා හමුවෙලා කිව්ව, ‘සර් මේ වැඬේට පළාත් සභාව ඉතාමත්ම කැමතියි. අපිට මුදල් අවශ්‍යත් නැහැ., අපිට අවශ්‍ය වෙන්නෙ මධ්‍යම රජයේ අවසරය පමණයි අවශ්‍ය’ කියල. එතුම කිව්ව ‘අවසරය අරගෙන දෙන්නම්, එහෙනම් වැඩ පටන් ගන්න. අමාත්‍යංශයට කියල සැලසුම හදන්න’ කියල. මම ළඟ හිටිය වාර්මාර්ග අංශයේ ලේකම් ඉතාම පරිනත නිළධාරියෙක්. මම එයාට මේ විස්තරේ කිව්ව. එයා කිව්ව, ‘සර්, මධ්‍යම රජයේ අවසරය නැතුව කැඩුණු පයිපයක් හදන්නවත් බෑ. ඒ නිසා අවසරය අරගෙන මේ වැඬේ පටන් ගනිමු’ කියල. මම කිව්ව අපි  මේ වැඬේ කරගෙන යමු ආණ්ඩුකාරතුමා පොරොන්දුවෙලා තියනව මධ්‍යම රජයෙන් බලය අරන් දෙනව කියල.

නිළධාරින් මේක තමන්ගෙ වැඩක් වගේ හිතල බොහොම උනන්දුවෙන් මේ සැලැස්ම හැදුවා. දිවා ? නොබලා වැඩ කෙරුව. ඔවුන් ශතපහකවත් අතිකාල දීමනාවක් නොගෙනයි වැඩ කෙරුවෙ. නගරයට වතුර ලැබෙනව කියන සතුට ඔවුන්ගෙ මුහුණු වලින් පෙනෙන්න පටන් ගත්ත. ඔවුන් රාත‍්‍රියේ වැඩ කරන විට මම අපේ බිරිඳට කියල තේ වතුර හදාගෙන ඔවුන්ට ගෙනිහින් දුන්න. ඔවුන් පුදුම වුණා. කොළඹ වැඩ කරල අත්දැකීම් තිබුණ නිලධාරින් කිව්ව ‘කොළඹදි නම් අපිට මෙහෙම අත්දැකීම් නැහැ’ කියල. ‘ඇමති තුමා අපිට තේ හදාගෙන ආව එක අපිට අදහන්නත් බෑ’ කියල. මේක අපි හැමෝගෙම වැඩක් විදිහටයි අපි මේ ගැන හිතුවෙ.

ආණ්ඩුකාරතුමා කිව්ව ‘සති අන්තයෙ කොළඹ ගිහිල්ල ජනාධිපතිතුමා හම්බ වෙලා අවසරය අරගෙන එන්නම්’ කියල. සඳුදා, අඟහරුවාදා, මේ විදිහට දවස් යනව මිසක් එතුමා ආවෙ නෑ. ටෙලිෆොන් කෝල් එකක්වත් නෑ. පස්සෙ මම බදාදා කෝල් එකක් අරගෙන එතුමගෙන් ඇහුව ‘මොකද සර් වුනේ? වැඬේ හරි නේද?’ කියල. එතුමා කිව්ව, ‘දේශපාලකයන්ගෙ ඔළුව කොහොම වැඩකරනවද මට හිතාගන්න බෑ. ඒ වැඬේට අවසර ලැබුණෙ නෑ. ඒ ව්‍යාපෘතිය අත්හරින්න වෙනව’ කියල. ඒ වැඬේ එතනින්ම නතර වුණා. ඔහොම තමයි මධ්‍යම රජය පළාත් සභාවලට සැලකුවෙ. කොතරම් හොඳ වැඩක් වුණත් කරන්න දුන්නෙ නෑ. ඔවුන් ඉන්පසු කාලෙත් පළාත් සභාවට අයත් විෂය ක්‍ෂේත‍්‍ර ආපසු මධ්‍යම රජයට ගත්ත. පළාත් සභාවෙ වැඩ කටයුතු දුර්වල කරන අතර, අනිත් අතින් එල්.ටී.ටී.ඊ. එකත් එක්ක සාකච්ඡුා කරනව. ඔවුන්ට ආයුධ දුන්න.  මොකක්ද අරමුණ, පළාත් සභාව අකර්මණ්‍ය කරල පළාත් සභාව පෙරලන්න.

ජනතාව පළාත් සභාව සමඟ මොනවගේ ගනුදෙනුවක් තිබුණෙ? ඔවුන්ගේ එම පාළනය පිළිබඳව තිබුණු ආකල්පය මොන වගේද?

ඔවුන් බොහාම කැමති වුණා. තමන්ගේ ගැටළු ප‍්‍රශ්න පළාත් සභාව තුළම විසඳ ගන්න. ද්‍රවිඩ මිනිසුන් පළාත් සභාව තුළට ආවත්, සිංහල මිනිසුන් පළාත් සභාව තුළට එන්න කැමැත්තක් දැක්වුවෙ නෑ. ඔවුන් තරමක තැතිගැන්මකයි හිටියෙ. සමහර සිංහල පිරිස් අනාතයන් විදිහට කඳවුරු තුළයි හිටියෙ. වරක් රන්ජන් විජේරත්න මහතා ත‍්‍රිකුණාමලයට ආව. ජනතාවගෙන් දුක්ගැනවිලි ගැන විමසුවා. එවිට මිනිස්සු කිව්ව ‘අපිට ප‍්‍රශ්න තියනව” අපිට ඒව කියන්න කෙනෙක් නෑ’ කියල. එතකොට තවත් සිංහල මිනිස්සු පිරිසක් කිව්ව ‘ඒක දෙමළ පළාත් සභාවක්. ඒක නිසා අපි එතෙන්ඩ එන්නෙ නෑ’ කියල. එතකොට එතුම කිව්ව, ‘මේක ආණ්ඩුවෙ පළාත් සභාවක්, මෙතුමා හොඳ අමාත්‍යවරයෙක්, මෙතුමට බය නැතුව ඔබලාගෙ ප‍්‍රශ්න කියන්න’ කියල.  ඔවුන් පැරණි සිදුවීම් නිසා ඇති වූ බයට පළාත් සභාවට නොඑන බව මට තේරුණා. මම ත‍්‍රිකුණාමල හමුදා මූලස්ථානයවන ප්ලාන්ටන්ට් පොයින්ටි කියන තැන කැඩුණු ගෙයක් අලූත් වැඩියා කරල මගෙ අමාත්‍යංශය යටතට ගත්ත. හැම බදාදාම මහජන දිනයක් ඇති කෙරුව. සිංහල මිනිසුන්ට තමන්ගෙ ගැටලූවලට විසඳුම් දෙන්න.

1990 මාර්තු මාසෙ දෙවන සතියෙ බදාදා මම මගේ බදාදා මහජන දිනය පැවැත්වෙන ස්ථානයට යනවිට කිසිම කෙනෙක් එම ස්ථානයෙ නෑ. සාමාන්‍ය මිනිසුන් 20 – 30 ක් වෙනදට ඉන්නව. මගෙ ආරක්‍ෂ නිලධාරීන් කිව්ව ‘සර් බහින්න එපා. මොකද දන්නෑ. අපි චෙක්කරල එන්නම්’ කියල. ඔවුන් ගිහින් බිල්ඩින් එකම පරීක්‍ෂා කරල ඇවිත් කිව්ව අණතුරක් නැහැ කියල. මම කාර්යාලයට ගියා. එතකොට ප්ලාන්ටට් පොයින්ට් කියන කඳවුරෙන් තරුණ සොල්දාදුවෙක් ඇවිල්ල මගෙ ආරක්‍ෂකයන්ට කියල තියනව, මාව හම්බ වෙන්න  ඕනෙ කියල.  ඒක ඒ අය මට දැන්නුව. මම ඒ සොල්දාදුවට එන්න කිව්ව. ඒ සොල්දාදුව මට කියනව,  ‘සර් දන්නැද්ද? ඊයේ එල්.ටී.ටී.ඊ. එකේ අය බස් දෙකකින් ඇවිල්ල අපේ බිලට් වල බුදි. අපෙ මෙස් එකෙන් එයාලට කන්න දෙන්නත් වෙලා. මොනවද සර් මේ වෙන්න යන්නෙ?’ කියල. ශ‍්‍රී ලංකා ත‍්‍රිකුණාමල සේනාංක මූලස්ථානයෙ තමයි මේ එල්.ටී.ටී.ඊ. එකේ අය ඇවිත් නිදාගෙන ඉන්නෙ. මගෙ කාර්යාලය ඒක ඉදිරිපිට තියන කඳවුරේ. මට හොඳටම බය හිතුණා. මම ගියා අණගෙන නිලධාරියගෙ කාර්යාලයට. ‘මම ඇහුවා ඊයෙ වෙච්ච දේවල් දන්නවද?’ කියල ඔහු කිව්ව, ‘දන්නව. සර්, කියන්නෙ ඊයෙ බස් දෙකකින් එල්.ටී.ටී.ඊ. කට්ටිය ඇවිල්ල බස්සල ගිය එක නේද?’ කියල. එයා කිව්ව, ‘සර්, ඔතන ඉන්න එපා. ආරක්‍ෂාව නෑ. සර්ගෙ ඔෆිස් එක අයින්කර ගන්න. අපේ කඳවුරකට එන්න අපි ආරක්‍ෂාව දෙන්නම්’ කියල. ඔන්න ඔය විදිහට තමයි අවුරුදු එක හමාරක විතර කාලයක් ඇතුළත පළාත් සභාව කඩාකප්පල් කරල, නැති කරල දැම්මෙ. ජනතාවගෙ ආකල්ප වැදගත් වුණේ නෑ. අවශ්‍ය වුනේ රජයේ  ඕනෑ එපාකම් විතරයි.

මගේ අමාත්‍යංශ්‍යට ලබාදීල තිබුණ ඉන්දියානු ට‍්‍රැක්ටර් 30 ක්. මම ඒව උතුරු නැගෙනහිර පළාත්වලට සාධාරණව බෙදල දුන්න. ඒව වැඩි හරියක් කොටි තස්ත‍්‍රවාදීන් උදුර ගත්ත. ඒව නවත්වන්න හමුදාවට බලයක් තිබුණෙ නෑ. මේ සිද්ධීන් පුවත්පත් වල වාර්තා වුනේ නෑ.

කොටි කල්ලිය ඉතාම ජතිවාදි ස්ථාවරයක ඉන්න විට, කොටි කල්ලිය කෙරෙහි සිංහල ජනතාවගේ කළකිරීමකුත්, වෛරයකුත් ඇති වුණා වගේම, ජාතිවාදය පිටු දැකපු වර්ධරාජා පෙරුමාල් කෙරෙහි දකුණේ ප‍්‍රගතිශීලී ජනතාවගේ පහැදීමක් තිබුණා. ඒක බිඳවැටුණු අවස්ථාවක් තමයි ත‍්‍රිකුණාමලයේදී ඊලාම් රාජ්‍යයක් ප‍්‍රකාශ කිරීමත්, ඊලාම් කොඩිය එසවීමත් යන සිද්ධීන්. ඒ සිදුවීම ගැන ඔබගේ අදහස?

ඔය සිද්ධිය සිදුවුණා කියන අවස්ථාවේ මමත් හිටිය. අභාවප‍්‍රාප්ත නාවික හමුදාපති ක්ලැන්සි ප‍්‍රනාන්දු මහතාත් හිටිය. ආණ්ඩුකාර නලීන් සෙනෙවිරත්න මහතාත් හිටිය. තවත් සම්භාවනීය අමුත්තන් රැුසක් හිටිය. එදා නිදහස් දිනය. ඒ උත්සවය ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකාවෙ ජාතික කොඩිය එසෙව්වෙ. ඒ අවස්ථාවෙ එතුමා කිව්ව ‘මගේ ජීවිතෙට ප‍්‍රථම තාවටයි මම මේ සිංහ කොඩියක් ඔසවන්නෙ. මම එහෙම කරන්නෙ අපි හැමෝම එකට එකතු වෙන්න  ඕනැ, අපි සමගියෙන් ජීවත් වෙන්න  ඕනැ, කියන කාරනය නිසයි’ කියල. ඒක කොතරම් ප‍්‍රගතිශීලි චේතනාවක්ද? එහෙම මිසක් ඊලාම් කොඩියක් එසවීමක් එතන සිදුවුණේ නෑ.

සිංහ කොඩිය එසවීමෙන් අනතුරුවවත්, ඊලාම් කොඩියක් එසෙව්වෙ නැද්ද? ඒ සිදුවීම අදටත් බොහෝ දෙනා දන්නෙ එදා ත‍්‍රිකුණාමලයේදී වර්ධරාජා පෙරුමාල් විසින් ඊලාම් කොඩියක් එසවූ බවයි. මාධ්‍ය වාර්තා කර තිබුණේ ඒ ආකාරයටයි.

ඔව්, ඒ පුවත මාධ්‍ය වල පළවුණේ ඒ ආකාරයටයි. එහෙම දෙයක් සිදු වුණේ නෑ. මම එක් පුවත්පතක ප‍්‍රාදේශීය වාර්තාකරුවකුගෙන් ඇහුවා ‘ඇයි එහෙම වැරදි වාර්තාවක් යැව්වෙ? එහෙම දෙයක් මෙතන සිදුවුණේ නෑ. ඔයත් ඒක දැක්ක නේද?’ කියල. මම ඔහුව හොඳට අඳුරනව. අපේ පළාත් සභාවෙ පුවත් වාර්තා ගැනීමට එන කෙනෙක්. ඒ මහත්තය කියනව, ‘මම ලියල ඇරියෙ සිදුවුණ දේ හා ඡුායාරූප තමයි. ඒත් පළවුණේ වෙනත් ආකාරයකට’ කියල. මාධ්‍ය තුළත් හිටිය ජනවාර්ගික ප‍්‍රශ්නය අවුලවන්න බලාගෙන හිටපු පිරිසක්. ඔවුන්ට ඒ සඳහා රජයෙන් වරප‍්‍රසාද ලැබෙන්න ඇති. වර්ධරාජා පෙරුමාල් කෙරේ රටේ ඇති වී තිබෙන ප‍්‍රසාදය විනාශ කරන්නයි එහෙම කෙරුවෙ. මේක අද වෙනතුරු කිසිම මාධ්‍යයක් නිවැරදි කෙරුවෙ නෑ.

1971 දී හා 1989 දී දකුණේ ඇති වූ, සන්නද්ධ අරගලයකින් රාජ්‍ය පෙරළා දමා බලය ඇල්ලීමට උත්සාහ දැරීමේ අවස්ථා හඳුන්වන්නේ තරුණ නැඟිටීම් වශයෙන්. විරැුකියාව, සමාජ අසාධාරණත්වය, සැමට උසස් අධ්‍යාපන වරම් නොලැබීම, ජීවන වියදම ඉහළ යෑම වැනි හේතු රැුසක් පදනම් කර ඔවුන් රජයට විරුද්ධව සන්නද්ධ අරගලයක්, කැරැුල්ලක් ගැසූ බව විද්වතුන්, මාධ්‍යය ඇතුළු හැමදෙනාම පිළිගන්නා කරුණක්. එහෙත් උතුරේ ඇති වූ සන්නද්ධ අරගලයට පදනම් වූයේත් ඉහත හේතූන් බව පිළිගන්න ඇතැමෙක් අකමැතියි. උතුරේ සටන ඊලමක් ඇති කර ගැනීම සඳහා ද්‍රවිඩ ජාතිවාදීන් විසින් රජයේ හමුදාවන්ට විරුද්ධව කළ අරගලයක් බවයි ඇතැම්හු හඳුන්වන්නේ. මේ අරගල දෙකටම පාදක වුනේ එකම සාධක නම්, සටන් දෙක වෙන්කර විග‍්‍රහ කිරීම වැරදියි නේද?

ඔබ ඉතාමත්ම නිවැරදියි. ඒ ප‍්‍රශ්න කිරීම මීට බොහෝ කළකට පෙර සිදුකළ යුත්තක්ව තිබුණා. මේ දෙපිරිසේම මූලික ප‍්‍රශ්න එකක්. උතුරේ ප‍්‍රශ්නය ඊට වඩා බරපතලයි. ඔවුන් දීර්ඝකාලීව පීඩා වින්ද පිරිසක්. දකුණේ තරුණයන්ට බලපෑ සාධක වලට වඩා සාධක රැුසක් ඔවුන්ගේ අරගලමය හඟීම් මෝරන්න හේතුපාදක වී තිබුණ. කුල පීඩනය, නිලධාරිවාදය, හමුදා හා පොලිස් බල අධිකාරිය නිසා, තමන්ගේ භූමිය තුළ නිදහසේ ජීවත්වීමේ නොහැකියාව වැනි ප‍්‍රශ්න රැුසක් දකුණේ තරුණයන්ට වඩා ඔහුන්ගේ ප‍්‍රශ්න ගොඩට එකතු වෙනව. මේ දෙපිරිස බෙදා වෙන් කිරීමට තමයි ජාතිවාදය ගෙනාවෙ.

ඔබ කියන පරිදි මේ සටන් දෙකම එක මිම්මක ලා සලකන්න පුළුවන්නම්, ඇයි ඒ සටන් දෙකට සම්බන්ධ වූ පිරිසට දෙවිදිහකට සලක්නෙ? ඒක පැහැදිළිව පෙනෙන්න තියන දෙයක්.

1976 දි පමණ (1971 දී සිරගත වූ* ‘දේශපාලන සිරකරුවන් නිදහස් කරමු’ කියල ව්‍යාපාරයක් පටන්ගත්ත. මමත් එකෙ හිටිය. මම එතකොට වෘත්තීය සමිතිවලට සම්බන්ධවයි කටයුතු කෙරුවෙ. අපේ තරුණ කොටස් දේශපාලන හේතු මත සිරගත කිරීමට විරුද්ධව අපිත් කතා කෙරුව. ඔවුන් නිදහස් කරන්න කියා බලපෑම් ඇතිකෙරුව. ජේ.වී.පී. එක ආයුධ අතට ගත්තෙ සෙල්ලම් කරන්න නෙමෙයි. ආණ්ඩුවට පහර දීල බලය අල්ලන්න. ඒ ගොල්ල මේ පැවති සමාජ, ආර්ථික, දේශපාලන සමාජ ක‍්‍රමයට විරුද්ධවයි සටන් කෙරුවෙ. උතුරේ තරුණයන්ගෙ උවමනාව වුණේ ඒකයි. ඒ ක‍්‍රමය හරිද වැරදිද? කියන එක වෙනම විග‍්‍රහයක්.

එදා සිංහල සිරකරුවන් නිදහස් කරගන්න කතා කරපු අය, අද ද්‍රවිඩ දේශපාලන හිරකරුවන් නිදහස් කරගන්න හදනකොට ඊට විරුද්ධව කෑගහනව. ඒ ගොල්ල කියනව ඒ සේරම කොටි. ඔවුන්ට නිදහස නොදිය යුතුයි කියල. ඔවුන් දේශපාලන සිරකරුවන් වශයෙන් පිළිගන්න සූදානම් නැහැ.

එල්.ටී.ටී.ඊ. එක ජාතිවාදියි කියල හඳුන්වනව නම්, ජේ.වී.පී. එකත් ගොඩනැෙඟන්නෙ ජාතිවාදය පදනම් කරගෙන නේද?

අන්වාර්යෙන්ම ඔව්. ඔවුන්ගේ අනුබද්ධ සංවිධානයක් වූ දේශපේ‍්‍රමි ජනතා ව්‍යාපාරය, තනිකරම ජාතිවාදය විසින් පණ පොවන ලද ව්‍යාපාරයක්. ජේ.වී.පී.ය සිංහල කම පමණක් නෙමේ, බුද්ධාගමද සිය ජනප‍්‍රියත්වය සඳහා පාවිච්චි කෙරුව. ඒක පොතක් ලියන්න තරම් විග‍්‍රහයක්.

අද ජාතිවාදය දේශපාලන උවමනාවක් බව දෙපැත්තෙම ජනතාව තේරුම් අරන් නේද?

අද කිසිම දේශලාන පක්‍ෂයකටවත්, ජාතිවාදී භික්‍ෂු සංවිධානවලටවත්, රාවණා බලය වැනි සංවිධානවලටවත් ජාතිවාදය මත යැපෙන්න බැහැ. ඒක මේ රටේ තුන්වෙනි පන්තිය ලබාගත් ‘පන්ති ජයග‍්‍රහණයක්’. ඉදිරියේදී ජාතියක් වශයෙන් නොව, පන්තියක් වශයෙන් මෙම ප‍්‍රශ්නවලට විසඳුම් සොයන්න පෙළෙඹීමක් තියෙයි. එදාට ධනපති පාළකයන්ට ජාතිවාදය මත යැපෙන්න බැරිවෙයි.
ඔබේ දේශපාලන දිවියේ මුල් ආරම්භය ගැන සඳහන් කළොත්.

විජේවීරත් සමඟ මම කොමිනියුස්ට් පක්‍ෂයේ එකට දේශපාලනය කෙරුව. සන්මුගදාසන් සහෝදරය ඒකේ ප‍්‍රධාන ලේකම්. විජේවීර පක්‍ෂය තුළ තියාගත්ත. මම පක්‍ෂයෙන් එලෙව්ව. එතකොට චීන පිළ වශයෙනුයි හැඳිනුවෙ. අපි ඔක්කොම පවාදීල විජේවීර මහත්තය බේරුණා. අපි පක්‍ෂයෙන් දොට්ට දැම්ම. විජේවීර තරුණ සමිති ව්‍යාපාරය තුළ හිටිය. ඔහු 1966 අවසන් වනතුරු එහි හිටිය කියලයි මම හිතන්නෙ. මට ගෙදර යන්න ලැජ්ජයි. අපි අවුරු 18 – 19 වයසෙ තරුණයො. විප්ලවය කරන්න ගිහින් පක්‍ෂයෙන් පැන්නුවට පස්සෙ ගෙදරට මුහුණ දෙන්නෙ කොහොමද? මම රු.3 යි ශත 61 ක  පඩියට කොළඹගෙආර ගල්කොරියෙ ගල් කැඩුව. නොවිඳිනා දුක් වින්ද. සාමාන්‍ය මිනිසුන් සමඟ ජීවත් වුණා. අපි කන්න නැතුව වතුර උගුරක් බීල බඩපුරවගෙන තියනව. (ඒ අතීතය සිහිවී හැඟම්බර වූ ජීවිතයේ හැත්තෑවෙනි දසකය පසුකරන ජෝ සෙනෙවිරත්න මහතාට හැඬුම් ආවේය. මද වේලාවක් නිහඬව සිටි ඔහු නැවතත් සිය හඬ අවදිකළේය.*
අපි විවිධ ජාතීන් ඇසුරු කෙරුව. අපි සහෝදරයො වගේ දුක සැප බෙදා ගත්ත. අපිට මිනිසුන් මිනිසුන් වශයෙන් මිස ජාතීන් වශයෙන් හිතන්න බැහැ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, යුද්ධය ජයග‍්‍රහණය කිරීම තම එකම තේමා පාඨය කරගෙන ඇති බවයි පෙනෙන්න තියෙන්නෙ. ඔහුට මෙම සටන් පාඨය මත තව කොච්චර දුරක් යැපෙන්න පුළුවන්ද?

ජාතිවාදය මිස ඔහුට වෙන කිසිම දැක්මක් නෑ. ඔහුගේ පරාජයට ප‍්‍රධාන හේතුව වුනේත් එයයි. හොරමැරකම්, ¥ෂණ, භීෂණ වගේ තත්ත්වයන් බලපෑවෙ ඊට අඩුවෙන්. ඔහු පරාජය වලෙත් ඒ මතම යැපෙන්න හදන එක කණගාටුවට වගේම පුදුමයට කරුණක්. ඔහුට ඒ මත ගොඩ ඒමක් නැහැ. එහි වරද ඔහුටත් වඩා, ඔහු වටා සිටින ජාතිවාදි කණ්ඩායමේ කියලයි මම අදහස් කරන්නෙ. එදා ජේ.වී.පී. එක කෙරුවා වගේම අද විමල්ලත් ජනප‍්‍රිය වෙන්න හදන්නෙ ජාතිවාදය, ආගම ඉස්සරහට දාගෙන.

වත්මන් ආණ්ඩුව මේ ප‍්‍රශ්නයෙදි සුභවාදීව බලනෙව නේද? ඔවුන් ජාතිවාදය පිටු දැකීමේ මානසිකත්වයක ඉන්නව නේද?

මමත් එහෙම හිතුව. එහෙම සුභවාදීව ජාතික ප‍්‍රශ්නය දෙස බලයි කියල. එහෙත් එහෙම දෙයක් පෙනෙන්න නැහැ. මිල්ටරිවාදී ඇහැකින් තමයි පවතින රජයද මේ ප‍්‍රශ්නය දිහා බලන්නෙ.  හමුදා සොල්දාදුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ඡුන්දය ගැන හිතේ තියාගෙනයි එහෙම කතා කරන්නෙ. ඒක ජනාධිපතිතුමාගේ කතාවලින් පැහැදිලි වෙනව. මේ දෙපැත්තෙම හිත් පැරුණා. තුවාල වුණා. දෙපැත්තම වේදනා විඳලයි ඉන්නෙ. ඒ නිසා කළ යුත්තේ මේ යුධ මානසිකත්වයෙන් මිදිල, අලූතෙන් හිතන්න පටන් ගැනීමයි. ඒකට ජාතීන් වශයෙන් දෙපිරිසම සූදානම් වුණත්, දෙපැත්තෙම දේශපාලඥයන් සූදානම් නැතිබවයි පෙනෙන්නෙ. දෙපැත්තෙම දේශපාලඥයන් බලන්නෙ ‘මොවුනුත් ඉදිරියෙදිත් ආයුධ ගනියිද?’ කියන ආකල්පය මතයි. කලක් ජේ.වී.පී. එක දිහා එහෙම බැලූව වගේම අද ද්‍රවිඩ තරුණයන් දිහා බලන්නෙත් එහෙමයි.

ද්‍රවිඩ තරුණයන් රජය කෙරේ විශ්වාන කරන්න නම්, ඔවුන් කෙරෙහි රජය විශ්වාස කළ යුතුයි නේද? ඔවුන්ගේ ප‍්‍රශ්න විසඳිය යුතුයි නේද? දැනට රජය ඔවුන්ගේ ප‍්‍රශ්න විසඳීමේ ක‍්‍රියාමාර්ගයක ඉන්නවද?

රජය ඔවුන්ගේ ප‍්‍රශ්න විසඳන්න ලෑස්තිවෙන්නම, තව කොච්චර කල් ගනීද දන්නෙ නෑ. එතකොට මේ රජයේ කාලයත් අවසන් වෙයි. දැන් ඔවුන් තරුණයන්ගේ ප‍්‍රශ්න සමනය කරන්න හදන්නෙ ඔවුන්ගේ මොරාල් නැති කරලයි. ඔවුන් මත්ද්‍රව්‍ය වලට, ගංජාවලට හුරු කරලයි. අද ඒවා උතුරේ නිදහසේ අලෙවි වෙනව. මේව ජාත්‍යන්තර උපදෙස් බවයි පෙනෙන්නෙ. දේශපාලන සමාජ විද්‍යාත්මක පදනමකින් නෙමයි ප‍්‍රශ්න විසඳන්න බලන්නෙ.

ජනාධිපතිතුමාත්, ආණ්ඩුවත් කියන විදිහට දැන් ජාතීන් වශයෙන් ජනතාව වර්ග කිරීමක් නැද්ද? හැමෝම එක මට්ටමේද සලකන්නෙ?

ඒක පිළිබඳව බරපතල ගැටළුවක් තියනව. එදා රජයට විරුද්ධව සන්නද්ධ සටනක් කළ ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරපු විජේවීර හා ඔහුගේ අණ පරිදි සටන් කළ අනෙක් සටන්කාමීන් සමරන්න ‘ඉල් සමරුව’ තියන්න ජේ.වී.පී. එකට පුළුවන්. ඒත් ප‍්‍රභාකරන්ව තියා සටනේ මිය ගිය තරුණයන්් සමරන්නවත් ඒ පවුවල අයට පුළුවන්ද? පසුගිය වසරෙදි මියගිය අය සමරන්න යාපනේ විශ්ව විද්‍යාලයේ ඉටිපහණක් දැල්ලූවා කියල සමහර දේශපාලඥයො දැඟලූවේ සූනාමියක් ආවටත් වඩා තැතිගැන්මකින්. මේ දෙපැත්තෙන්ම මියගියේ මේ රටේ දරුවන්නේද? කියල හිතන්න බැරි පිරිසක් තවම ඉන්නව. එදා භාෂාවට සම තැන දෙනවා කියල ඔවුන්ව මුලා කෙරුව. අද තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය කියන්නවත් බෑ. මොකක්ද දෙනව කියන සම තැන?

උතුරේ ජාතිවාදීන් නොවන සංවිධාන වශයෙන් සලකන ඊ.පී.ආර්.එල්.එෆ්. ඊරෝස්, ඊ.පී.ඞී.පී. පත්නාභ ඇතුළු කොටස් වලට අවශ්‍යතාවයක්, උත්සාහයක් තිබුණෙ නැද්ද දකුණෙ ප‍්‍රගතිශීලී කොටස් සමඟ සම්බන්ධකම් ඇති කර ගැනීමට?

එහෙම අවංක උත්සාහයක් තිබුණ. අපිත් එක්කත් සම්බන්ධයක් ඇති වුනේ ඒක නිසා. ඔවුන් අපිට කිව්ව දකුණෙන් ප‍්‍රගතිශීලී පිරිසක් ඔවුන්ට හඳුන්වල දෙන්න කියල. අපි ඔවුන්ට යෝජනා කෙරුව එහෙම සම්බන්ධයක් ඇති කරගන්නවානම්, දකුණේ දේශපාලනයේ සිටින හොඳම සුදුස්ස නැගීඑන තරුණ දේශපාලඥයකුවන විජය කුමාරතුංග කියල. ඔවුන් ඒක පිළිගත්ත. ඔවුන් අතර සාකචඡුා ඇති වුණා. විජය හා චන්ද්‍රිකා ඉන්දියාවට ගොස් ඔවුන් හමුවෙලා සාකච්ඡුා කෙරුව.

පරිනත වමේ දේශපාලනඥයන් රැුසක් සිටිය දී විජය කුමාරතුංග සුදුස්සෙක් වුණේ කෙහොමද? ඔහු නළුකම නිසා ජනප‍්‍රිය වූ තරුණ නළුවෙක්.

ඒ වන විට පැරණි වම කෙරේ විශ්වාශය බිඳිලයි තිබුණෙ. ඒක ඔවුන් විසින්ම කරගත් දෙයක්. ද්‍රවිඩ ජාතීන්ගෙ ප‍්‍රශ්න වලදි ඔවුන් හඬක් නැගුවේ නැහැ. ඔවුන් කළේ මුණිවත රැුකීමයි. ඔවුන් සිංහලකම සටන් පාඨකය කරගත් කොටසක් වෙලයි හිටියෙ. දකුණේ සංවිධාන බැලූව විජය කුමාරතුංග නමැති තරුණ සටන්කාමී නායකය උතුරෙදිත්, දකුණෙදිත් එකම දේශපාලනය කතාකරන කෙනෙක්. ඔහුගේ වචනයක් පාසාම තියෙන්නේ ජාති වාදය පිටුදැකීමමේ අවශ්‍යතාවය. ඔහු හිතන්නෙ හැම දෙනාම ලාංකිකයන් කියන පදනෙම් ඉඳල. ඒ නිසයි විජය සුදුස්සෙක් වුනේ.

ඔබ කියන ජාතිවාදි ස්ථාවරය, වමේ පක්‍ෂවල තිබුණෙ මීට කලකට ඉහතදීයි. මේ වන විට වමේ ස්ථාවරය වෙනස් වෙලාද? ඔවුන් ජාතිවාදයෙන් මිදිල නිවැරදි ස්ථාවරයකට ඇවිල්ලද?

වම ඉන්නේ තවමත් ඒ කුණුගොඬේම තමයි. ඔවුන්ට ඒ අතින් අඩියක් ඉස්සරහට යන්න පුලූවන් කමක් වෙලා නෑ. අද දක්‍ෂිණාංශික පක්‍ෂයක එල්ලෙන්නෙ නැතුව වමට පැවැත්මක් නෑ. අද විතර වම ගැන මිනිසුන් කළකිරුණු තවත් යුගයක් නෑ කියල කියන්න පුළුවන්. වම තමයි කලක් රටේ අසාධාරණයට විරුද්ධව අරගල කෙරුවෙ. අද එහෙම එකක් නැහැ. අද තියන වමට වැඩිය එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රගතිශීලියි කියල කියන්න පුළුවන්. රනිල් වික‍්‍රමසිංහ මේ ප‍්‍රශ්නය නැති කරන්න අවංක උත්සාහයක් ගන්නබව පෙනෙන්න තියනව. අපි බලමු මොකද වෙන්නෙ කියල.

වාසුදේව නානායක්කාර කියන්නෙ වමේ කොටස් අතරිනුත් වඩාත් රැුඩිකල් පුද්ගලය කියල කියන්න පුළුවන්. ඔහු අද ඉන්න ස්ථාවරය ගැන ඔබ දරණ මතය?

වාසු අද ඉන්නේ කුණු ගොඩෙත් වැඩියෙන්ම ගඳගහන තැන. එයා අද ගතින්මෙන්ම, මතවාදයෙන් ද ඔහු වයෝවෘද්ධයි. ඔහුට අත් උදව්වට කවුරුහරි අවශ්‍යයි. ඔහුට උත්උදව්වට ඉන්නෙ අන්ත ජාතිවාදීන් පිරිසක්. ඉතින් ඔහුට ඔවුනගේ අත්වල එල්ලිලා නැඟිටින්න සිද්ධවෙලා තියන බව කණගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනව. ඔවුන් වාසුට අත දෙන ගමන්, වාසුගෙන් ප‍්‍රයෝජනත් ගන්නව.

සමාජවාදයේ පදනම මාක්ස් ලෙනින් වාදය නම්, ඒ තුළ ජාතිවාදයට ඉඩක් තියනවද?

කොහෙත්ම නෑ. හැමටම වඩා මනුස්සකම ලොකුයි. මනුස්සකමට වඩා වැඩියෙන් ලොකු දෙයක් නෑ. ඒ තුළත් ජාතිවාදයට ඉඩක් නෑ. ජාතිය, භාෂාව,වර්ණය මේව සියල්ලක්ම හිරගෙවල්. මාක්ස්ලටත් ඉස්සර වෙලා අවුරුදු 2500 කටත් පෙරාතුව, බුදුන්වහන්සේ වගේ පඬිවරු ඒ බව කිව්ව. බුදුන්වහනසේත් කිවවේ මේ බැඳීම් වලින් මිදෙන්න කියලයි. මනුස්සයෙක් වෙලා උපදිනත් මහා පිංකමක් කරල තියෙන්න  ඕනැ කියලයි උන්වහන්සේ දේශනා කෙරුවෙ, කෙනෙක් කතා කරන භාෂාව නිසා ඔහු මනුස්සයෙක් නෙමයි කියල කොන් කරන්නෙ කොහොමද? මගෙ බස කතාකරෙැවොත් තමයි ඔහු මනුසය. මගෙ ආගම ඇදහෙව්වොත් විතරයි මනුස්සය. කියල හිතන්න පුළුවන්ද? මිනිහෙක් ගෝත‍්‍රයෙන්වත්, වස්ත‍්‍රයෙන්වත්, කුලයෙන්වත් වෙන් කරල හිතන්න බෑ කියන බුද්ධ පණිවිඩය නොදන්න බෞද්ධයො තමයි ජාතිවාදය ගැන කතාකරන්නෙ. මේ ආකල්පය තියන කල් අපේ රටේ බුදුන්ටත් දෙයියන්ගෙම පිහිටයි. වමේ ව්‍යාපාරයටත් දෙයියන්ගෙම පිහිටයි.

(මෙම ලිපියේ තවත් කොටසක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න )

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *