”අපේ සහාය විධායක ජනපති ධුරය අහෝසි කරන අපේක්‍ෂකයකුට” – මහාචාර්ය සරත් විජේසූරිය

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට එකග වන ජනාධිපති අපේක්‍ෂකයකුට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සහයෝගය ලබා දෙන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය ඊයේ (25) සඳහන් කර සිටියා.

මේ වන විටත් ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ නව බලාපොරොත්තු ගොඩනැංවිය හැකි දේශපාලන නායකත්වයක් තෝරා පත්කර ගැනීම සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, පුරවැසි බලය, වමේ කේන්ද්‍රය ඇතුළු පුරවැසි ව්‍යාපාර විසින් 2019 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට බලාපොරොත්තු වන අය වෙත ‘යහපාලනයේ ඉදිරි මග’ නමැති න්‍යායපත‍්‍රය එළිදක්වා තිබෙන බව ද හෙතෙම කියා සිටියා.

එම න්‍යායපත‍්‍රය මේ වන විට කථානායක කරු ජයසූරිය, දයාසිරි ජයසේකර, කුමාර වෙල්ගම ඇතුළු දේශපාලනඥයන් රැසකට ලබාදී ඇති බවයි ඔහු පැවසුවේ.

2015 වසරේදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර ගැනීම සඳහා අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ මූලිකත්වයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කළත් එහිදී ඇතිවූ එකගතාව පළුදු වූ බව ඔහු කියා සිටියා.

එය මේ රටේ දේශපාලනඥයන්ගේ වැරදි පූර්වාදර්ශයක් නැවත පෙන්වා දීමක් බවයි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත් සිවිල් සංවිධාන විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කර ගැනීමට දැරූ උත්සාහය අනුව යම් යම් විධායක බලතල අඩුකර ගැනීමට හැකියාව ලැබුණු බවද වර්තමානය වන විට ඩඞ්ලි සේනානායක, ලලිත් ඇතුලත්මුදලි වැනි නායකයන් නොමැති බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඉදිරිපත් කර තිබෙන ‘යහපාලනයේ ඉදිරි මග’ න්‍යාය පත‍්‍රය සමග එකගතාවකට එළඹෙන ඕනෑම පුද්ගලයකුට සහාය පළකිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

චමින්ද සිල්වා 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *