මෑතකදිම රටේ තුන්වෙනි බලවේගයක් පැන නැගෙන්න පුළුවන් – එක්සත් ජනතා පෙරමුණේ නායක, සමගි බලවේගයේ කැඳවුම්කරු- සිරිමසිරි හපුආරච්චි

sirimasiriදෙකෝටියක පමණ ජනගහණයක් සිටින අපේ රටේ, භූමි ප‍්‍රමාණයටවත්, ඡුන්ද දායකයන් ප‍්‍රමාණයටවත් නොගැලනෙ ලෙස අසාමාන්‍ය අයුරින් දේශපාලන පක්‍ෂ රාශියක් බිහිවෙලා තියනව. තව තවත් බිහිවෙමින් පවතිනව. එය මේ රටේ ප‍්‍රධාන පක්‍ෂ දෙක වන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජාතික පක්‍ෂයේ පැවැත්මට වාසිදායක තත්ත්වයක් නේද? ඔවුන්ට අභියෝග කිරීමට සිටින තුන්වෙනි බලවේගය කැලී කෑලී වලට කැඞීයාමක් නේද මෙයින් සිදුවෙන්නේ? එසේ තිබියදිත් ඔබලාත් තවත් දේශපාලන පක්‍ෂයක් හැටියට සංවිධාන වෙනව.

පක්‍ෂ රාශියක් බිහිවීම තුන්වෙනි බලවේගයකට හානියක් විදිහට අපි දකින්නේ නෑ.  ප‍්‍රධාන පක්‍ෂ තුළ තමයි අපි හිටියෙත්. හැම මැතිවරණයකටම පස්සේ ජයග‍්‍රාහි පක්‍ෂය තනි ගමනක් යනව. ඔවුන් දිනපු ගමන් ඔවුන්ගේ ජයග‍්‍රහණයට දර දිය ඇද්ද, ඔවුන් ජයග‍්‍රහණයකරා ගෙනයාමට කැපවූ පිරිස අමතක කරනව. ඔවුන් දිණුවට පස්සෙ ඥාති සංග‍්‍රහය පටන් ගන්නව. නැත්නම් ගජමිතුරු සංග‍්‍රහය පටන්ගන්නව. ඒ තත්ත්වය ගැන කළකිරිල, එකෙන් හෙම්බත් වුණු පිරිසක් එකතුවෙලා තමයි අපේ මේ එක්සත් ජාතික පෙරමුණ කියන දේශපාලන පක්‍ෂය නිර්මාණය කෙරුවෙ.

මේ පක්‍ෂය හදන්න මූලික වුනේ එක්සත් ජාතික පක්‍ෂය ගැනත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගැනත් කළකිරුණු පිරිසක්. ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ පිරිසක් මෙන්ම මධ්‍යස්ථ මතධාරීන්ද අපිත් එක්ක එකතුවෙලා ඉන්නව. රටේ පොදු ජනතාව ගැන, ගමේ දුක්විඳින මනුස්සයා ගැන කතා කරන්න පක්‍ෂයක්  ඕනැ නිසා තමයි අපි අපේ පක්‍ෂය නිර්මාණය කරගත්තෙ. අපිට මුල්‍යමය ශක්තියක් නැති වුණත් පිරිස් බලයක් තියනව. අපේ පක්‍ෂයේ සාමාජික පවුල් තිස්පන් දහසක් පමණ ඉන්නව. ඒ පවුල් වල ඡුන්ද ප‍්‍රමාණය ලක්‍ෂයක් පමණ ඉන්නව. සමානුපාත ඡුන්ද ක‍්‍රමය යටතේ 5% ප‍්‍රතිශතය මත මන්ත‍්‍රී ආසනයක් දිනාගැනීමේ සක්‍යතාවයක අපි ඉන්නව.

ඔබලා එතරම් ශක්තිමත් ස්ථාවරයක ඉන්නවා කියා තක්සේරුවක් තිබුණ නම් පසුගිය මහමැතිවරණයට තර`ග කිරීමෙන් මන්ත‍්‍රී ආසනයක් දිනාගැනීමට හැකියාවක් තිබුණ නේද?

ඊට වැඩිය සමාජ වගකීමක් අපි පිට වැරිලා තිබුණ. ඒක යුගයේ අවශ්‍යතාවයක්. ඒ වන විට රාජපක්‍ෂ රෙජිමය, රාජපක්‍ෂ පවුල් පාලනය මේ සමාජ දේශපාලන දේහය වෙලාගෙන තිබුණේ. රටේ මානව අයිතීන් දිනෙන් දින උල්ලංගනය වෙන තත්ත්වයක් තිබුණ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වලපල්ලට යමින් තිබුණ. රටේ කුඩු සංස්කෘතියක් ස්ථාපිත වෙමින් තිබුණ. ඒ අවස්ථාවේ ආසනයක් දිනාගෙන පාර්ලිමේන්තුවට අපේ පක්‍ෂයෙන් කෙනෙක් යවනවට වැඩිය, ඉටු කරන්න ජාතික යුතුකමක් තිබුණ. ඒ රාජපක්‍ෂ රෙජිමය ගෙදර යැවීම. අපි ඒ නිසා රනිල් වික‍්‍රමසිංහ නායකත්වයගත්, එක්සත් ජාතික පෙරමුණ දිනවීමේ ක‍්‍රියාමාර්ගයක නිරත වුණා.

ලංකාවේ දේශපාලන පක්‍ෂ ‘ජයග‍්‍රහණයෙන් පස්සෙ දරදිය ඇද්ද පිරිස අමතක කරනව’ කියන එකෙන් අදහස් කරන්නෙ තමන් බලාපොරොත්තුවෙන වරදාන, වරප‍්‍රසාද ඔවුන් විසින් නොදෙනව කියන එක නේද? එවිට ඒ වරප‍්‍රසාද බලාපොරොත්තුව සිටි පිරිස බලාපොරොත්තු කඩවීම නිසා ජයග‍්‍රාහී පක්‍ෂය විවේචනය කරනව. එම පක්‍ෂයෙන් කැඩිල ගිහින් වෙනත් පක්‍ෂ සංවිධාන හදාගන්නව. ඒකම නේද ඔබලාත් කරල තියෙන්නෙ?

කොයි තරාතිරමක පක්‍ෂයක කෙනෙකුට වුවත්, රටට යමක් කරන්න නම් බලයක් හා ශක්තියක් අවශ්‍ය වෙනව. ඔවුන්ට යම්කිසි ස්ථාවරයක් තියෙන්න  ඕනෙ. එම නිසා ජයග‍්‍රාහී දේශපාලන පක්‍ෂයේ නායකත්වය දැන ගන්න  ඕනැ මේ පුද්ගලයගෙන් වැඩක් ගන්න  ඕනැ නම්, මේ පුද්ගලයන්ට යම් තනතුරක් දීල, සුදුසු තැනකට පත්කරන්න  ඕනැ කියල.

ඔබ කියන පරිදි දැනට ඔබලාගේ ඡුන්ද පදනම අනුව එක් ආසනයක් දිනාගැනීමේ හැකියාව තියනව. ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයකදී සැලකියයුතු ආසන ප‍්‍රමාණයක් බලාපොරොත්තු වෙනව. මේ අතර සමානුපාතික ඡුන්ද ක‍්‍රමය අහෝසි කිරීමට අවශ්‍යයයි කියන බලවත් සටන් පාඨයක් තියනව. මෙයින් කුඩා පක්‍ෂවලට යම්කිසි බලපෑමක් එල්ල වෙනව නේද? ඒ පිළිබඳව ඔබ පක්‍ෂයේ ස්ථාවරය කුමක්ද?

මේ රට විවිධ ජාතීන් හා විවිධ සංස්කෘතීන් නියෝජනය කරන රටක්.  ඒ වගේම විවිධ මතවාදයන් නියෝජනය කරන පක්‍ෂ තියනව. ඒ නිසා සමානුපාතික ඡුන්ද ක‍්‍රමය අහොසි කරනව කියන්නේ ඔවුන්ගේ නියෝජයන් නොමැති වීමයි. එසේ වීම යළිත් ජාතීන් වශයෙන් ජනතාව විරසක වීමේ ආරම්භයක් විය හැකියි. එමෙන්ම විවිධ මතවාදයන් ඇති දේශපාලන කණ්ඩායම්වලට පාර්ලිමේන්තුව තුළ නියෝජයක් නැති වෙන්න පුළුවන්. එම නිසා සමානුපාතික ක‍්‍රමය තිබිය යුතුයි.

ඒ වගේම ආසන ක‍්‍රමයෙදි පුද්ගලයෙක් නෙමෙයි ජයග‍්‍රහණය කරන්නෙ පක්‍ෂයක්. මොනයම් ක‍්‍රමයකට හෝ ආසනයකට නාමයෝජනා ලබාගන්න කෙනා එම පක්‍ෂයේ ජනප‍්‍රියතාව මත දිනන්න පුළුවන්. ඔහු නුසුදුස්සෙක් වුවත් පාක්‍ෂිකයන්ට ඔහුව තෝරාගන්න සිද්ධ වෙනව පක්‍ෂය නිසා. සමානුපාතික ක‍්‍රමයේදී ජනතාව බුද්ධිමත් වුණොත් සුදුසුසන් පත්කර යැවිය හැකියි.

සමානුපාතික ඡුන්ද ක‍්‍රමයේ අවාසියක් වශයෙන් පෙන්නුම් කරන්නේ අපේක්‍ෂකයෙකුට දිස්ත‍්‍රික්කය පුරා මැතිවරණ ව්‍යාපාරය කිරීමට, එනම් මනාප එකතුකර ගැනීමට විශාල මුදල් ප‍්‍රමාණයක් අවශ්‍යවෙන බවයි. තවත් අතකින් ජනතාවට තම දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට සිටින නියෝජිතය කවුද යන්න ගැටළුවක් බව කියනව. ඒ අතින් සමානුපාතික ක‍්‍රමයේ අවාසියක් පෙන්නුම් කරනව නේද?

මේ ක‍්‍රමය තුළ තර`ග කරන්න විශාල මුදල් ප‍්‍රමාණයක් අවශ්‍ය බව ඇත්ත. ඒක කුඩා පක්‍ෂවලට දරන්න බැහැ. ඒ නිසා තමයි කුඩා පක්‍ෂවලට ප‍්‍රධාන පක්‍ෂ සම`ග එකතු වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ. ඒ නිසා ආසන ක‍්‍රමයත්, ඒ කියන්නෙ කේවල ක‍්‍රමයක් ඇතිකරමින්ම සමානුපාතික ක‍්‍රමයට ඡුන්දය පැවැත්වීමේ අපට ආවේනික වූ ක‍්‍රමයක් නිර්මාණය කර ගතයුතුයි. එයට රටේ බුද්ධිමතුන් සම්බන්ධ කරගැනීමේ ක‍්‍රමවේදයකුත් ඇති කළ යුතුයි.

දැනට යෝජනා වී ඇත්තේ එවනි ක‍්‍රමයක් නේද?

ඔව්. ඒ වැනි ක‍්‍රමයක් ඇතිකිරීමට තමයි සැලසුම් කරගෙන යන්නෙ. අපේ පක්‍ෂයටත් ආරාධනා ලැබුණා එම සාකච්ඡුාවලට. අපේ අදහස් යෝජනාත් ඉදිරිපත් කෙරුව. ඒ අනුව ඉදිරියේදී ඇති වන්නේ සමානුපාතික හා කේවල ක‍්‍රමයේ මිශ‍්‍ර මැතිවරණයකුයි. ඊළ`ග මහ මැතිවරණයේ සිට එය ක‍්‍රියාත්මකවීමට ඉඩ තියෙනව.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, එක්සත් ජාතික පක්‍ෂයත් හැරුණුවිට රටේ තිබෙන ප‍්‍රබලම දේශපාලන පක්‍ෂය කුමක්ද? ඒ කියන්නේ රටේ තුන්වෙනි බලවේගය කුමක් කියලද ඔබ හිතන්නෙ?

ප‍්‍රධාන පක්‍ෂ දෙක එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. ඒකෙ කිසි විවාදයක් නෑ. දැනට රටේ තන්වෙනි බලවේගයක් නෑ කියල තමයි මම කියන්නෙ. ජනතා විමුක්ති පෙරමුණවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්‍ෂයවත් තුන්වෙනි බලවේගයක් හැටියට හඳුන්වන්න බෑ. ඔවුන්ට ඇත්තේ සීමිත ඡුන්ද ප‍්‍රමාණයක් පමණයි. ඔවුන් සාමාන්‍ය බලවේගයක් වෙන්න පුළුවන් නමුත් තුන්වෙනි බලවේගයක් නෙමෙයි. අපේ පක්‍ෂය වන එක්සත් ජනතා පරමුණටත් ලක්‍ෂ එක හමාරක පමණ ඡුන්ද පදනමක් තියනව. රටට තුන්වෙනි බලවේගයක් අවශ්‍යයි. ඒත් දැන් තියෙන තත්ත්වය අනුව තුන්වෙනි බලවේගයක් රටේ නෑ.

දැනට පෙනෙන්න තිබෙන තත්ත්වය අනුව ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමි සමාජවාදි පක්‍ෂය හැරුණුවිට වෙනත් කිසිම පක්‍ෂයක් ජනතා ප‍්‍රශ්න ගැන හඬක් න`ගන බවක් පෙනෙන්න නෑ. පක්‍ෂ කීපයක් ආණ්ඩුව සම`ග සන්ධාන ගතවී සිටිනව. තවත් පිරිසක් මහින්ද ආරක්‍ෂා කිරීමේත්, යළි බලයට ගෙන ඒමේත් න්‍යායපත‍්‍රයක් ක‍්‍රියාත්මක කරනවා. නමුත් ජනතා අයිතිවාසිකම් දිනා දීමට ඉදිරිපත් වෙන පක්‍ෂයක් නෑ නේද?

ඒ අදහස එක අතකින් පිළිගන්න පුළුවන්. තවත් අතකින් බැහැර කරන්නත් පුළුවන්. ජ.වි.පෙ. කාලයක් තිස්සේ දේශපාලනය කිරීමෙන් යම් නමක්, ස්ථාවරයක් තියාගෙන ඉන්නව. ජ.වි.පෙ. හරියට ජනතාව වෙනුවෙන් තම යුතුකම කෙරුව නම් එයාලට තුන්වෙනි බලවේගයක් හෝ මීට වඩා ඉදිරියකට එන්න තිබුණ. තුන්වෙනි බලවේගයක් ඇති විය යුත්තේ සමස්ත රටේ ජනතාවගේ ගැටළු ප‍්‍රශ්න තුළින් ඇතිවෙන බලවේගයක් තුළිනුයි. එහෙම තුන්වෙනි බලවේගයක් මෑතකදී ඇතිවීමේ ප‍්‍රවනතාවයක් තියෙනව. අපවත්වී වදාළ පූජ්‍ය මාදුලාවේ සෝභිත හිමිපාණන්ගේ මෙහෙයවීමෙන් ඒක දියත් කිරීමටයි අපි බලාපොරොත්තු වුනේ. උන්වහන්සේගේ අහිමිවී කිව නොහැකිතරම් පාඩුවක්.

සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යපාරයේ ඔබත් සමාරම්භකයෙක්. එහි කොඳුනාරටිය බඳු, එයට නායකත්වය දුන් පූජ්‍ය මාදුලාවේ සෝභිත හිමිපාණන් මේවන විට දැයෙන් සමුඅරගෙන අවසන්. දැන් දැන් එහි මූලිකයන්ගෙන් ඇහෙන්න ලැබෙන දෙයක් තමයි ‘සෝභිත හිමියන් නිසා තමයි අපි මේ සංවිධානය වටා ගොනුවුනේ. ඉදිරියේදී මොනවගේ තත්ත්යක් ඇතිවෙයිද කියන බෑ’ කියල. ඒ අනුව සාධාරණ සමාජක් උදෙසා ජාතික ව්‍යපාරයේ අනාගතය මොනවගේ තත්ත්වයක් ගනීද? එම සංවිධානයේ සමාරම්භකයකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවා එම සංවිධානයේ පැවැත්ම ගැන සැක සංකා පහළ කර තිබුණ.

සොභිත නාහිමියන් මූලික වෙලා තමයි මේ සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය ගොඩනැ`ගුවෙ. මේ තුළ දක්‍ෂ කණ්ඩායමක් ඉන්නව. ඒ දක්‍ෂයන් එකතැනකට ගෙනාවේ නායක හාමුදුරුවො තමයි. උන්වහන්සේගේ දර්ශනය තමයි මේ ව්‍යාපාරය තුළින් සමාජයට පිළිඹිබුවුනේ. ඒ දර්ශනය ඉදිරියට ගෙනයායුතුයි. එය සියයට සීයක්ම එලෙසම ඉදිරියට ගෙනයාමට බැරිවුවත්, එය හැකි පමණින් ඉදිරියට ගෙනයෑමේ කැපවීමක් කණ්ඩායම තුළ තියනව. විශේෂයෙන්ම කියන්න  ඕනැ. උන්වහන්සේ සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය තුළින්, විශාල කැපවීමක් කරල, විශාල බලයක් පෙන්නල දැන් තියන ආණ්ඩුවටත්, පැවති ආණ්ඩුවටත් සමාජයට සාධනීය වැඩපිළිවෙලක් කරන්න කියල තෙරපුමක් ඇති කෙරුව. ඒ ශක්තිය නැවත ඒකරාශි කරන්න පුළුවන් හිමිවරු හා පුද්ලයන් ඉන්නව. ඉතාම ළ`ගදිම අපි කණ්ඩයම එකතුවෙලා සුදුසු හිමි නමක් හරි ගිහි නායකත්වයක් හරි පත්කරගෙන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙනියනව. ජේසු ස්වාමිදරුවන් ස්වර්ගස්ථ වුණා කියල කිතු දහමවත්, බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පෑව කියල බුදු දහමවත් නැතිවුනේ නැ. ඒ වගේම සෝභිත නායක හිමියන් පෙන්නපු මග තුළ ඉදිරියට යාමට හැකි අනුගාමිකයන් පිරිසක් ඉන්නව.

සෝභිත හිමියන් අසනීප තත්ත්වය පවා අමතකර කර සමාජ වෙනසක් වෙනුවෙන් පෙනී හිිටියත්. උන්වහනසේගේ ම`ග පෙන්වීම යටතේ පොදු අපේක්‍ෂකයෙක් ජනාධිපති වුවත්, රනිල් වික‍්‍රමසිංහ අගමැති ප‍්‍රමුඛ නව රජයක් බිහි වුවත් උන්වහන්සේ පැතූ සමාජ පරිවර්තනය ඇති වුණාද?

එක දෙයක් ගැන සතුටු වෙන්න පුළුවන්. ඒ තමයි ඒකාධිපති මහින්ද රාජපක්‍ෂ රාජ්‍ය බලයෙන් පළවා හැරීම. ඔහු තවදුරටත් බලයේ හිටියා නම් මේ රට ඉතියෝපියාවක් බවට පත්වෙන්න තිබුණ. අනික් පැත්තෙන් ලෝකයේ සෙසු රටවල් වලින් කොන්වූ හුදකලා රටක් බවට පත්වෙන්න තිබුණ. ඒ තත්ත්වයෙන් රට බේරගත්ත කියල සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම සියයට සියයක්ම සතුටු වෙන්න බැරි වුණත් ජනාතාවට අහුම්කන්දෙන රජයක් පත්කරගත්ත කියල සතුටුවෙන්න පුළුවන්. ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනත්, ගරු අගමැති රනිල් වික‍්‍රමසිංහත් මේ රට හොඳ තැනකට ගෙනයයි කියල අපි බලාපරොත්තු වෙනව.

ජනාධිපති තුමාගෙන් බලාපොරොත්තුවූ යහපාළනය ඒ විදිහටම සිදු වෙන්නෙ නැති බවයි සමාජයෙන් හඬක් නැෙ`ගන්නේ. එතුමාගේ ඇතැම් තීන්දු තීරණ, ක‍්‍රියාකාරකම් ගැන සමාජය තුළ තියෙන්නේ යම්කිසි කුකුසක්.

ඔව්. අපි එතුමාගේ තීරණ පිළිබඳව සියයට සීයක්ම එක`ග වෙන්නෙ නෑ. එතුමා බලයට පත්වුනේ දේශපාලන පක්‍ෂයකින් නෙමේ. නිර්පාක්‍ෂික අපේක්‍ෂකයෙන් වශයෙන්. මම අවුරුදු පහකට පත්වෙලා, මේ ජනාධිපතික‍්‍රමය අහෝසි කරල, ජනතාවට මෛත‍්‍රී පාලනයක් ඇති කරනව කියල ප‍්‍රතිඥාදුන්නා. තමන්ගෙ කවුරුත් දේශපාලනයට ගෙන්නේ නෑ කිව්ව. ඒ වගේ බොහෝ දේවල් පොදු අපේක්‍ෂකය වශයෙන් තෝරාගත්තට පස්සෙ නාගවිහාරයට පැමිණි අවස්ථාවෙ ප‍්‍රකාශ කෙරුව. එහෙත් එතුමාගේ සහෝදරයා ලංකාවේ ඉහළම වැටුප් ගෙවන ආයතනයක් වන ටෙලිකොම් එකේ සභාපති කෙරුව. ඒ වගේ යහපාලනයකට නොගැලපෙන ගොඩක් දේවල් කෙරුව. පරාජිත පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් ප‍්‍රධානය කෙරුව. එතුම බලයට ගේන්න ඇප කැප වූ අය පැත්තක. වරප‍්‍රසාද ලැබුවෙ එතුමාට හතුරුකම් කරපු කණ්ඩායම.

ඉතින්, ඉතා අමාරුවෙන් දිනා ගත් ජයග‍්‍රහණය විනාශ වෙන්න දීල නිහඬව ඉන්නවද? සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ හා ඔබලාගේ පක්‍ෂය වන එක්සත් ජාතික පෙරමුණ ඇතුළු ජයග‍්‍රහණයට උරදුන් අනෙක් කණ්ඩායම් වල අදහස කුමක්ද?.

අපි දිනූ ජය රැුක ගන්නව. අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නව. මේ ඓතිහාසික ජය විනාශවෙන්න දුන්නොත් රටට කරන හානියක්. ද්‍රෝහිකමක්. ඒ සඳහා වඩවඩාත් සංවිධානත්මකව ඉදිරියට යනව. ඒකට හෙට දවසේ සිට නොව, අද දවසේ සිටම අපි ක‍්‍රියාත්මක බව කියන්න අවශ්‍යයි.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *