සජිත් – මෛත්‍රී දීගය : 30 සිකුරාදා තීරණාත්මකයි !

අගෝස්තු 30 වනදා වනවිට සජිත් ප්‍රේමදාස මහතාව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් නොකළහොත් සජිත් පාර්ශ්වය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. 

පසුගිය 22 වනදාට පෙර කෙසේ හෝ සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරවා ගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සජිත් පාර්ශ්වයේ කැරලි නායක මලික් සමරවික්‍රම මහතාට දැනුම් දී තිබුණු බව අපි මීට පෙර අනාවරණය කළෙමු. ඔවුන්ගේ බලාපොරොත්තුව වී තිබුණේ අගෝස්තු 23 සිකුරාදා දිනයේ සජිත් ප්‍රේමදාස මහතාව අග්‍රාමාත්‍ය තනතුරට පත් කිරීමටය. 

එහෙත් පසුගිය සතිය තුළ සජිත් පාර්ශ්වයට තම අරමුණ ඉටුකරගත නොහැකි වූ නිසා කෙසේ හෝ මේ සතියේ සිකුරාදාට පෙර ප්‍රශ්නය අවසන් කරගන්නා ලෙසත් එසේ නොමැති වුවහොත් තමන්ට වෙනත් අතක් බලාගැනීමට සිදුවන බවත් ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව සජිත් පාර්ශ්වය හැකි උපරිම ආකාරයෙන් සටන් වැදී සජිත් ප්‍රේමදාස මහතාව අපේක්ෂකයා ලෙස නම් කර, ඔහුව අග්‍රාමාත්‍ය තනතුරට පත් කරමින් යළි ජාතික ආණ්ඩුව පිහිටුවීම මේ සතිය තුළදීම අවසන් කිරීමට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරනු ඇති බවත් වාර්තා විය. 

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර හෝ නොමැති අවස්ථාවක සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය මෙතරම් හදිසියේ ඉල්ලා සිටින්නේත් ආණ්ඩුවෙන් ඉවත්වන බවට තර්ජනය කරන්නේත් කුමක් නිසාද යන්න සහ සෑම විටම සිකුරාදා දිනයන් අවසන් සීමාව ලෙස දක්වන්නේත් ඇයිද යන්න සලකා බලන විට කාරණය ඉතාම පැහැදිලිය. 

LNW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *