අපි මෙවර කිසිම අපේක්ෂකයකුට සහය දෙන්නෙ නෑ – ලංකා බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න

අපි දැඩි කැපවීමකින් ජනාධිපතිවරයෙක්  පත්කරගෙන වසර  හතර හමාරක් ගෙවී ගෙන යනවා. මේ රටේ හැමදෙනාම දන්නවා මේ ප්‍රතිසංස්කරණය සඳහා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ලොකු කැපකිරීමක් කෙරුවා කියලා. අපි පුද්ගලික ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වුනේ නෑ. අපිට ඕනැ වුණේ ගුණාත්මක බස් සේවාවක් ලබා දෙමින් හොඳ සේවයක් බස් මගීන් වෙත ලබාදෙන්නයි.

අපි 2014 දි යම් කිසි ප්‍රඥප්තියකට අත්සන් කළා. ඒකෙ හොඳ ප්‍රතිපත්ති මාලාවක් අඩංගුවෙලා තිබුණා. අපි ඒ අත්සන් කරපු කරුණු ඇතුළත් කරලා ජනාධිපති අපේක්ෂකයට ලියුමක් දුන්නා. එය ලැබුණු බවත් බලයට පත් වු පස් එම ඉල්ලීම් ඉටු කරන බවටත් එතුමා අපිට ලියුමක් එවා තිබුණා. අපි එතුමා දිනවන්න වැඩ කෙරුවා. අපි හරි ආමරුවෙන් තමයි ඒ දේශපාලන ව්‍යාපාරය ගෙනිච්චෙ. ඒ මහින්ද රාජපක්ෂ මහත්තය එක්ක තරහකට නෙවී.  එදා තිබුණු පාලනයට විරුද්ධවයි.

අර්බූද ගණනාවක් නිර්මාණය කරපු 18 වන සංශෝධනයටත් ඉඳුරාම විරුද්ධ වුණා. 18 ක්‍රියාත්මක වුණා නම් යළි තරුණ කැරැල්ලක් එනවා. 88 – 89 කාලයේ තරුණයින් 60,000ක් ඝාතනය වුණා. අද ඒ තත්ත්වයක් නෑ. අපි 18 වන ව්‍යවස්ථාව වෙනස් කරන්න දිවිහිමියෙන් කැප වෙලයි ඒ ජයග්‍රහනය ලබාගත්තෙ. මේ රටට යහපත් සමාජයක් ඇති කරන්න වුණ කැපවීම ගැන අපිට සතුටුවිය හැකියි.

18 වෙනස් කරන්න ජනාධිපතිතුමාත් විශාල සහයෝගයක් දුන්නා. 19 ස්ථාපිත කිරීම ගැන සතුටුවිය හැකියි. නමුත් අපි වුණ කැපවීම එතුමා තක්සේරු කෙරුවෙ නෑ. වසර 5කට ආසන්න වුණත් කැප වීමෙන් කැප කළ අපිට එක නිල සාකච්ඡාවයි ලබා දුන්නේ. අපිව අමතක කළා. ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ.

ප්‍රතිපත්ති ප්‍රකාශනය පැත්තකට දාලයි නිමල් සිරිපාල ඇමතිවරයා වැඩ කළේ. ප්‍රවාහනය දියුණු කරන්න තඹ දොයිතුවක වැඩක් කළේ නෑ. අද පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය කඩා වැටිලා තියෙනව. මෙහෙම අවුරුදු 5ක් ගියොත් පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය ඉවරෙටම ඉවරයි.

මීට හේතු ගණනාවක්ම තියෙනව. දිනකට බස් මගීගෙන් 1500ක පමණ පිරිසක් අඩුවෙනව. කප්පම් ප්‍රශ්නයට විසඳුමක් නෑ. අවුරුද්දකට බිලියන 240කට වැඩි ප්‍රමාණයක් බස් රථ හිමියන්ගෙන් කප්පම් ගන්නවා. ඒක නවත්වන්න බැරි වුණා. අවුරුදු ගණනාවක් හිටපු ජනාධිපතිවරුන්ටත් මේ කප්පම් ගැනීම නවත්වන්න බැරි වුණා. අපරාධ පරීක්ෂ දෙපාර්ත මේන්තුවට පැමිණිලි කළත් ප්‍රතිඵලයක් නෑ. ඒක දිගටම කෙරෙනවා. ඒකාබද්ධ කාලසටහන් ප්‍රශ්නය විසඳුනේ නෑ. උසාවි ගිහිල්ලත් විසඳුමකට එන්න බැරි වුණා.

මාර්ග තදබදය වැඩි වෙලා. රිය අනතුරු වැඩි වෙලා. අපරාදෙ තරුණ ජීවිත නැති වෙනවා. කාගෙද වැරැද්ද. මේ කාලකන්නි පාලන ක්‍රමය වෙනස් කරන්නයි අපිට ඕන වුණේ. අපි මාර්ග බලපත් ඉල්ලුවෙ නෑ. ලංකා පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය වැරදි කරලා තියෙනවානම් ඒක වසුරුවා හරින්න සූදානම්.

අපි මේ සැරේ කිසිම අපේක්ෂකයකුට සහයෝගය දෙන්න කියලා කියන්නෙ නැ. දැන් බස්රථ ධාවනය 40% දක්වා කඩා වැටිලා තියෙනව. මේ අවුරුද්ද අන්තිම වෙනකොට 35%කට අඩු ප්‍රමාණයකට කඩා වැටෙනවා. ඒ තත්ත්වයෙන් ගොඩ ගන්න ඉදිරිපත් වෙන අපේක්ෂකයකුට අපි සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක තීරණය කරන්නෙ අපේක්ෂකයන්ගේ හැසිරීම බලලයි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *