තවත් මහ සිකුරාදාවක් ළඟදීම. මෛත්‍රී – සජිත් දීගය කරළියට !

කැලැන්ඩරයට අනුව වසරකට වරක් කවදා මහ සිකුරාදාව පැමිණියත් ශ්‍රී ලංකාවට මහ සිකුරාදාවල් කිහිපයක්ම එළඹිය හැකි අතර ඒවා එන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රට උඩු යටිකුරු කරවන දේශපාලන තීන්දු නිසාය. 

ජනපතිගේ ඔක්තෝබර් විප්ලවය

ජනතාව විස්මයට පත් කරමින් සිකුරාදා දිනයේ ගැසට් නිවේදන නිකුත් කිරීම ජනාධිපතිවරයාගේ පුරුද්දක් බවට පත්ව ඇති අතර 2018 වසරේ ඔක්තෝබර් 26 වන සිකුරාදා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය තනතුරින් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාව එතැනට පත් කෙරුණේත් නොවැම්බර් 11 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේත් ඒ අනුවය. 

ආණ්ඩුව පෙරළා දමා මහින්ද රාජපක්ෂ මහතා සමඟ දේශපාලන දීගය ආරම්භ කරමින් ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි කර්කෂ විවේචන ගණනාවක්ම ඉදිරිපත් කළේය. දිවි ඇති තෙක් යළිත් ඔහුව නම් අග්‍රාමාත්‍ය ධුරයට පත් නොකරන බව ශපථ කළ ජනාධිපතිවරයා ඔහු යළි අගමැති වන්නේ නම් තමන් විනාඩියක් හෝ ජනාධිපති තනතුරේ නොඉන්නා බවත් ප්‍රකාශයට පත් කළේය. 

රනිල් ආයෙ ආවොත් විනාඩියක් පුටුවේ ඉන්නෙ නෑ 

එහෙත් මෙම දේශපාලන කුමන්ත්‍රණය හුදෙක් මෛත්‍රී – රනිල් ගැටුමක් නොව විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් වූ හෙයින් රට තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළින් ද ජනාධිපතිවරයාට එරෙහිව දැඩි පීඩනයක් එල්ල වූ අතර මෛත්‍රී – මහින්ද සිහින බිඳවැටුණේ ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ස්ථාපිත කරගැනීමට ද නොහැකි වූ නිසාය. 

ඒ අනුව ඉතාමත්ම අකමැත්තෙන් රට යළි ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණයට පෙර තිබුණු තත්වයට ගෙන එමින් රනිල් වික්‍රමසිංහ මහතාවම යළි අග්‍රාමාත්‍ය තනතුරට පත් කෙරුණ ද ජනාධිපතිවරයා සිටියේ තමන්ට සිදුවූ නින්දාව සම්බන්ධයෙන් කෝපයෙන් දැවෙමිනි. මෛත්‍රීපාල සිරිසේන යනු මෙවැනි දෑ අමතක කරන පුද්ගලයකු නොවේ. 

විසෙන් විස නැසීමට සජිත් බාගැනීම 

ඒ අනුව විසෙන් විස නැසීමේ ක්‍රමවේදය අනුව යමින් මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන කුමන්ත්‍රණය අතරතුරම එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාව තමන් සමීපයට ගත් අතර දෙදෙනා ප්‍රසිද්ධියේ එකිනෙකාගේ පිට කසාගන්නා ආකාරය කොතෙකුත් දක්නට ලැබිණි. වෙනෙකක් තබා සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමන්ගේ පූර්ණ සහාය ඔහුට ලබාදෙන බව කැබිනට් රැස්වීමකින් අනතුරුව අමාත්‍යවරුන් වෙත ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. 

දැන් කුමන්ත්‍රණයේ පළිගැනීමේ වටය ආරම්භ වීමට සූදානම්ව තිබේ. 

පළිගැනීමේ වටය සහ ජනපතිගේ අනුහස 

සජිත් ප්‍රේමදාස මහතා තමන්ට හිතවත් පිරිසක් ද පෙරටු කරගනිමින් ඉදිරි ජනාධිපතිවරණයෙහි අපේක්ෂත්වය තමන්ට හිමි විය යුතු බවට ප්‍රචාරණ ව්‍යාපෘතියක් රජයේ දේපළ සහ මාධ්‍ය භාවිතා කරමින් ඇරඹුවේ ක්ෂණිකවය. ඒ, ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමට සිතාවත් නොමැති පසුබිමකය. 

රටේ පවතින නිහඬ එකඟතාවන්ට අනුව කිසිදු මාධ්‍යයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සෘජුව පහර දෙන්නේ නැත. ඔහුගේ එම අනුහසින්ම සජිත් ප්‍රේමදාස මහතාට ද සියලු මාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචාරණයක් ලැබුණු අතර ඔහුව තීරණාත්මකව විවේචනය කෙරෙන පුවත්වලට වැඩි අවධානයක් ලැබුණේම නැත. 

රනිල් වික්‍රමසිංහ මහතාගේ අභ්‍යන්තර කවයේ සාමාජිකයකු, සමීපතම හිතවතෙකු වන මලික් සමරවික්‍රම මහතා සහ රනිල් විසින්ම පක්ෂ සභාපති තනතුරේ පිහිටවූ, ආරක්ෂා කළ කබීර් හෂීම් මහතා හිටිවනම සජිත් පාර්ශ්වයට එක්වන්නේත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තුල සජිත් පාර්ශ්වයේ කැරලි නායකයා ලෙස මලික් සමරවික්‍රම පෙනී සිටින්නේත් සිතාගත නොහැකි තරම් ක්ෂණිකවය. ඔවුන් දෙදෙනා ද සජිත් පාර්ශ්වයට එක්වන්නේ ජනාධිපතිවරයාගේ අනුහසින් වන අතර ඔවුන් පැති මාරු කිරීමට හේතුවී තිබුණේ බැඳුම්කර වංචාවේ කොණක ඔවුන්ගේ නම් ද සඳහන්ව තිබීමය. 

රනිල් ඉවත් කර සජිත් අගමැති කිරීමට සූදානම් 

කෙසේවෙතත් පසුගිය සතියේ ජනාධිපතිවරයා හතර වරක්ම දුරකථනයෙන් අමතමින් මලික් සමරවික්‍රම මහතාට දැනුම් දී තිබුණේ සජිත් ප්‍රේමදාසව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පත් කිරීම අගෝස්තු 22 වනදාට පෙර අවසන් කරගන්නා ලෙසය. ඒ අනුව කැරලි නායක මලික්ගේ දෙවැනියා වන කබීර් හෂීම් මහතා මාධ්‍ය වෙත පැවසුවේ තමන්ට ලබාගත හැකි ආසන්නතම දිනය වන අගෝස්තු 23 වනදා පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව නම් කිරීමට බලාපොරොත්තු වන බවය. 

මේ සියල්ල මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලාපොරොත්තුව පරිදි 23 වනදා ඉටු කරදීමට සජිත් – මලික් – කබීර් සුසංයෝගය සමත් වන්නේ නම් ඊළඟ සිකුරාදා, එනම් 30 වනදා වනවිට රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය තනතුරින් ඉවත් කර සජිත් ප්‍රේමදාස මහතාව අග්‍රාමාත්‍ය තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවයි විශ්වාසනීය ආරංචිමාර්ග සඳහන් කළේ. අගෝස්තු 22 වනදා වනවිට සජිත්ව අපේක්ෂකයා ලෙස නම් කිරීමට සජිත් පාර්ශ්වය සමත් වෙතොත් 23 සිකුරාදාම ඔහුව අග්‍රාමාත්‍ය තනතුරට පත් කෙරෙනු ඇත. දෙපාර්ශවය මේ සම්බන්ධයෙන් ඉතාම ශක්තිමත් ලෙස එකඟතාවන්ට පැමිණ සිටින බව ද වාර්තා විය. 

එජාපය පොළවටම සමතලා කිරීම

මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය තනතුරට පත් කළ අවස්ථාවේදී ඉතාම පහසුවෙන් විශ්වාස භංග යෝජනා ගෙනවිත් ඔහුව ඉවත් කරගත් නමුත් සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය තනතුරට පත් කෙරුණහොත් තමන්ගේම පක්ෂයේ අග්‍රාමාත්‍යවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙනඒමට නොහැකි තැනට එජාපය පත්වන අතර ජනාධිපතිවරයා සමඟ සමීපව ඩීල් දේශපාලනයේ යෙදෙන එජාප ප්‍රබලයින් සජිත්ව ජනාධිපතිවරයාගේ බලය භාවිතා කරමින්ම ආරක්ෂා කරනු ඇත. 

මෙහිදී එක්සත් ජාතික පක්ෂය තුළ සියලු බෙදීම් ඉතාම ඉහළ තලයකට පත්වනු ඇති අතර ජනපති – සජිත් කුමන්ත්‍රණයේ හවුල්කරුවන් නොවන සහ ඊට එකඟ වීමට නොහැකි පිරිස කැඩී බිඳී විසිරී යනු ඇත. එය සජිත්ගේ කෙටිකාලීන සුරතාන්තය නිමවන මොහොත වනවිට පක්ෂය සම්පූර්ණයෙන්ම විනාශය කරා ගෙනගොස් තිබෙනු ඇත. 

ජනාධිපතිවරයාගේ පළිගැනීම සම්පූර්ණ කෙරෙමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතය ද එතැනින් අවසන් වනු ඇති අතර රනිල් සමඟ එක් පෙළට සිටගන්නා රවී කරුණානායක වැනි පිරිස සජිත් විසින් පක්ෂයෙන් ඉවතට ඇද දැමෙනු ඇත. 

එසේම අර්බුදකාරී මොහොතේ ආණ්ඩුවක් කිරීමේ අත්දැකීම් නොමැති, ආර්ථිකය සම්බන්ධ දැනුමක් හෝ දැක්මක් නොමැති සජිත් ජනපතිගේ ද සහාය ඇතිව මාස හතරක් තුළ ආණ්ඩුව බංකොළොත් කරනු ඇති අතර ජනතාවට එක්සත් ජාතික පක්ෂය තිත්ත වන තැනට රටේ ආර්ථිකය විසින්ම ජනතාව තල්ලු කරනු ඇත. 

පැහැදිලිව පෙනෙන සත්‍යය සහ සජිත්ගේ මායාව

මේ අර්බුදකාරී වාතාවරණය තුළ පළාත්සභා මැතිවරණය හෝ ජනාධිපතිවරණය යන දෙකෙන් කුමන එක මුලින් පැමිණියත් එහිදී එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත්වනු ඇත. පොහොට්ටුවේ ජයග්‍රහණය පිණිස මෙසේ එජාපයේ විනාශය සිදුකිරීම වෙනුවෙන් හැකි ඉහළම ගෙවීම ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙතින් ලබාගන්නවා ඇත. 

නුදුරු අනාගතයේම දිග හැරීමට නියමිත නාටකය අප මෙසේ ලියා තබන අතර මෙහි අවස්ථා සම්බන්ධය සලකා බැලීමේදීම මේ සියල්ල පසුපස ජනාධිපතිවරයා සිටින අයුරු මනාව පැහැදිලිවන බැවින් කිසිදු දේශපාලන විචාරකයකුට මෙහි ඇති අනාවැකිය ප්‍රතික්ශේප කිරීමට තාර්කික පදනමක් ද නැත. 

යූඑන්පියේ දල්ලක්වත් ඉතුරු කරන්නේ නෑ !

ජනාධිපතිවරයාගේ බලය හමුවේ ලාම්පුව දෙසට ඇදෙන කුරුමිණියන් ලෙසින් තාවකාලික සුවය පතා ජනාධිපතිවරයා වෙත ආකර්ශනය වී සිටින එජාප මැති ඇමතිවරුන් කාටත් කියන්නට ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන යනු උග්‍ර යූඑන්පී විරෝධියෙකු බවය. “යූඑන්පියේ දල්ලක්වත් ඉතුරු කරන්නේ නෑ !” කියා දිවුරා සිටින පුද්ගලයකු බවය. 

ඩීල් දේශපාලනයේ කැතම කැත කොටස අපට දැකගැනීමට හැකිවන්නේ හැමදාමත් අද නොවේ හෙටය. 

LANKA NEWS WEB හි පලවූවකි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *