|

මරන්න ඕනෑ වරදයි වරදකරුවා නොවෙයි – එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ

මරණ දඬුවමට එරෙහිව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගේන්න ඔබ තීරණය කරන්නේ ඇයි?

කාරණා කිහිපයක්ම එයට බලපානවා. පළමුවැන්න ඉතිහාසය පුරාම මරණ දණ්ඩනය ලබාදීමෙන් අපරාධ අඩු වූ බවක් සංඛ්‍යාත්මකව පේන්නේ නැහැ. ලෝකයේ කොහේවත් ඒ සඳහා උදාහරණයක් නැහැ. උදාහරණයක් විදිහට ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්තවල පමණයි මරණ දණ්ඩනය ක්‍රියාත්මක. නමුත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන ප්‍රාන්තවල ඇතැම් වර්ෂවල අපරාධ වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. අපේ රටේ යුක්තිය පසඳලීම සඳහා තිබෙන අපරාධ ගත්තම ඒවා සියයට සීයයක්ම ස්වාධීන සහ නිවැරදිම තීන්දු ගන්න ආයතන කියලා අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන්කමක් නැහැ. අපේ නීතියේ හිදැස් විශාල වශයෙන් තියෙනවා. ඒ වගේම බන්ධනාගාරවල ඉඳිමින් ඇතැමුන් අපරාධ කිරීම පිළිබඳ විශාල වශයෙන් කතාබහට ලක් වුණා. ඇත්ත වශයෙන්ම සුළු වරදකට බන්ධනාගාරයට යන අපරාධකරුවෙක් එයින් එළියට එන්නේ අපරාධ කරන්න හොඳ පුහුණුවක් ලබලා. ඒ පිළිබඳ ආචාර්ය උපාධියකුත් අරගෙන. එයට වග කියන්න ඕනෑ මා ඇතුළු මේ රටේ පාලකයෝ. හරිනම් බන්ධනාගාරය පුනරුත්තාවන කඳවුරක් බවට පත්විය යුතුව තිබෙනවා. ඒ එක්කම ඉතිහාසය පුරා ඕනෑ තරම් අවස්ථා තිබෙනවා නිවැරදිකරුවන්ටත් දඬුවම් හිමිවුණ. අපේ අධිකරණ ක්ෂේත්‍රයට අගෞරව කරනවා නෙමෙයි. නමුත් අධිකරණය ඉදිරියේ වැරදිකරුවන් වන සියලුම දෙනාම ඇත්තටම වැරදිකාරයෝමයි කියල කියන්න බැහැ. අධිකරණ ඉස්සරහා නිවැරදි වෙන සියලුම දෙනාම නිවැරදිකාරයො කියලා අපිට පෙනෙන්නේ නැහැ. ඒ නිසා මේ නීතියේ හිදැස් වහන එක අත්‍යාවශ්‍යයි.

අනිත් පැත්තෙන් මේ අපරාධවලට පුද්ගලයො පෙළඹෙන්න හේතුවෙච්ච සමාජ, ආර්ථික, දේශපාලනික කාරණා රාශියක් තියෙනවා. ඒවට විසඳුම් පුළුල් කතිකාවක් ඇතිකරගන්නෙ නැතුව අපි ප්‍රශ්නය අගින් අල්ලාගෙන ඒ අය එල්ලා මරණ එක යුක්ති සම්පන්න රටක් විසින් නොකළ යුතුයි. අනෙක් කාරණය තමයි මිලේච්ඡත්වයට මිලේච්ඡත්වයෙන්ම පිළිතුරු දෙන්න සදාචාර සම්පන්න රජයකට අයිතියක් නැහැ කියලයි මම විශ්වාස කරන්නේ.

නමුත් මරණ දඬුවම වළක්වන නිතිවලට අපි ජාත්‍යන්තරවත් බැඳී සිටින අතරමයි ජනාධිපතිවරයා මෙවැනි තීරණයකට පෙළඹෙන්නෙ.

2007 ඉඳලා එක්සත් ජාතින්ගේ සංගමයේ යෝජනා හතරක් සම්මත වෙලා තියෙනවා මරණ දණ්ඩනයට එරෙහිව. ඒ යෝජනාවලින් හතරකට විතර අපි සම්පූර්ණ සහයෝගය ලබලා දීලා තියෙනව. අවසාන වශයෙන් 2018 එක්සත් ජාතීන්ගේ මණ්ඩල සැසිවාරයේ දී දින 51 තාවකාලික ආණ්ඩුව එකඟවෙලා තියෙනවා මරණ දණ්ඩනය අහෝසි කරනවා කියලා. මරණ දණ්ඩනයට අදාළව ජාත්‍යන්තර වගේම ජාතික කාරණා දිහා බැලුවත්, මේ එකඟතාවය සහ ක්‍රියාව අතර පරස්පරයක් පේන්න තිබෙනවා. පසුගිය දිනවල මංගල සමරවීර ඇමතිතුමා ‘මේක බෞද්ධ රටක් නෙවෙයි’ කියලා ප්‍රකාශයක් කළා. හුගක් නායකයෝ මේකට පරල වෙලා මේක බෞද්ධ රටක් කියලා කිව්වා. ටම්ක බෞද්ධ රටක් කියලා අපි පිළිගන්නවා නම් බෞද්ධ දර්ශනය අනුව කිසිසේත්ම වැරදිකාරයා මරනන්න කියල නැහැ. අප මරන්න ඕනැ වැරැද්ද මිසක් වැරදිකරුවා නෙවෙයි. ඒ නිසයි මම මේ යෝජනාව පෞද්ගලික මන්ත්‍රි කෙටුම්පතක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තීරණය කරන්නෙත්.

මරණ දණ්ඩනයට පක්ෂ පාර්ශ්වයෙන් එන තර්කයක් තමයි රටේ අනාගත පරම්පරාව මත් උවදුරෙන් ගලවා ගන්න නම් ඒ වරදකරුවන්නට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි කියලා.

ඔව්. අපේ රටේ දරුවො මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම වළක්වන එක කාගේ හෝ හුදකලා ක්‍රියාවලියක් නොවෙයි. ඒක රජයක් විශාල වශයෙන් මැදිහත් වෙලා මැදිහත් වැළැක්වීමට පියවර ගත යුතු දෙයක්. වෙනත් රටවල්වලින් කුඩු අපේ රටට එනවා. අද වෙද්දි කුඩු බෙදාහැරීමමේ මධ්‍යස්ථානයක් වශයෙන් අපේ රට ක්‍රියාත්මක වෙනවා කියලත් අපි දන්නවා. එහෙම නම් එහෙම නම් රටට කුඩු එන එක වළක්වන්න ක්‍රියාකරන්න ඕන කවුද? මේක වෙන කවුරුහරි එල්ලන්න ඉස්සෙල්ලා බලය තියාගෙන, ආරක්ෂක අංශ, හමුදා, පොලීසි තමුන්ගෙ අතේ තියාගෙන මේ රටට කුඩු ගෙන්නන එක නවත්වන්න බැරි නම්, මම හිතනවා පාලකයො තමයි මුලින්ම එල්ලන්න ඕන කියලා. ඒ නිසයි මම කියන්නෙ ඔවුන් එක්ක තර්ක කරන්නෙ විශාල ප්‍රශ්නයක් අගින් අල්ලගෙන කියල.

ඒ වගේම අධිකරණයකින් මරණ දඬුවම නියම කළාම ඒ දඬුවම කුඩු අයට මෙහෙමයි, මීනීමැරුමක මෙහෙමයි කියලා වර්ගීකරණය කරන්න බැහැ. මරණීය දණ්ඩනයට ලක් වූ අය මේ වෙනකොට 1500ට ආසන්න ගාණක් ඉන්නවා. එයින් ඉතා සුළු ප්‍රමාණයයි අභියාචනා ඉදිරිපත් කරලා තියෙන්නෙ. මේ අයගෙ තර්කය අනුව එහෙම නම් සියලු දෙනාම එල්ලා මැරිය යුතුයි. එහෙම නැත්නම් කෙනෙකුට උසාවි යන්න පුළුවන්, ඇයි එක කොටසක් එල්ලා මැරුවෙ? ඇයි මරණ දඬුවම නියම වුණු අනිත් අය එල්ලා මරන්නෙ නැත්තෙ? කියලා. ඒ වගේම ලෝකයේත් ලංකාවේත්උදාහරණ ඕනැ තරම් තියනවා මරණ දඬුවම ලබාපු නැවැරදිකාරයෝ ගැන. ඒ නිසා එල්ලල මරන්න කලින් අපිට තව කරන්න ගොඩක් දේවල් තියෙනවා.     

මත් උවදුර, පාස්කු ඉරිදා ප්‍රහාරය කියන්නේ සමාජ සංවේදි කාරණා. මිට අදාළ වරදකරුවන්ට මරණ දඬුවම දීමට තීරණය කිරීමම මෙයට සමාජ වලංගුතාවය දිනා ගන්න කර උත්සාහයක් නෙවෙයිද?

ඔව්, කඩු ප්‍රශ්නෙන් පාස්කු ප්‍රහාරයට මරණ දඬුවම මාරුවෙන හැටි අපි දැක්කා. මත්ද්‍රව්‍ය කියන්නෙ විශාල ප්‍රශ්නයක්. නමුත් ඒක වළක්වාගන්න වගකීම තියෙන්නෙ කාටද කියන එක තමයි මට නැවතත් අහන්න වෙන්නෙ. පාස්කු ප්‍රහාරයට අදාළව පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ දැන් හෙළිදරව් වෙන කාරණා අනුව ත්‍රස්තවාදීන් හැදෙන්න පරිසරයක් නිර්මාණය කළ ඊට වගකිව යුතු පිරිසක් ඉන්න බව පේනවා. පොඩි තැන්වල වගේම බලවත්ම තැන්වලත් කොච්චර විශාල හිදැස් තිබුණද කියලා දැන් පේනවා. දේශපාලකයන් තමන්ගේ නිවීයන ජනප්‍රියත්වය ගොඩනගා ගන්න, තමන්ගෙන් සිදුවිය යුතු රාජකාරී කරන්නේ නැතුව, ඒවා පැහැරහැරලා, විශාල විරෝධයක් සහ චෝදනාවක් ජන සමාජයෙන් එල්ල වෙනකොට, ඒකට විසඳුම් හැටියට කවුරුහරි එල්ලා මරන්න හිතන එක ඒ තරම් සදාචාර සම්පන්න නැහැ නේද කියලයි මට අහන්නෙ තියෙන්නෙ.

තරුණ මන්ත්‍රිවරයෙක් හැටියට ඔබ මරණ දඬුවමට එරෙහිව පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන එද්දි ඔබේම පක්ෂයේ තරුණ මන්ත්‍රිවරු පවා මරණ දඬුවම ඉල්ලා සිටින උද්ඝෝෂණයක නිරත වෙනවා.

අපේ සමහර මහජන නියෝජිතයන් මහජනයා තමන්ගෙ හැඟීම් අනුව යම් දෙයක් ප්‍රකාශ කළාම ඒ අනුව තමනුත් ඒ වෙනුවෙන් පෙනී ඉඳලා මහජනයා අතර ජනප්‍රියත්වයක් හදා ගන්න උත්සාහ කරනවා. එහෙම පටු විදිහට හිතලා කටයුතු කරන අවස්ථා පසුගිය කාලයේම අපි දැක්කා. නමුත් මහජනයා හැඟීම්වලට මුල්තැන දීලා ඉල්ලීම් කළාම ඒ අනුව යම් යම් තීන්දු තීරණ ගන්න මේ පාර්ලිමේන්තුවෙ ඉන්න 225  දෙනාට යුතුකමක් නැහැ. ඔවුන් තීන්දු තීරණ ගන්න ඕන හැඟීමෙන් නොවෙයි බුද්ධියෙන්. මොකද අපි ගන්න තීන්දු තීරණ රටේ අනාගතයට, මහජනතාවගේ ජනජීවිතයට බලපානවා. ඒ නිසා අපි සිහිබුද්ධියෙන් තීරණ ගත යුතුයි.

(සමබිම ජූලි කලාපයට ජයනි අබේසේකර කළ සම්මුඛ සාකච්ඡාවකි. )

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *