බටහිර විරෝධී දිව දෙකේ සත්තු – සිරිසේන රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි සමුළුව කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත් වූයේ 2019 08.11 ඉරිදා දිනයේ ය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ නායකත්වය භාර ගනු ලැබුවේ ද, සිය බාල මලනුවන් වන ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි 2020 ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කරන ලද්දේද එම සමුළුවේදීය.

ඉහත සමුළුවට සහභාගී වීමට පෙර මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ අමුත්තන් කිහිපදෙනෙකු හමු වීමට යෙදුණි. ඔවුන් නම්, ඇමරිකා එක්සත් ජනපද මධ්‍යම ආසියා වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් ජී වෙල්ස් සහ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති බී ටෙප්ලිට්ස් යන දෙදෙනාය.

මහින්ද රාජපක්ෂ මහතා සහ ඇමරිකා එක්සත් ජනපද නියෝජිතයන් දෙදෙනා අතර හමුව සම්බන්ධයෙන් මෙහිදී සිහිපත් වූයේ විශේෂ හේතුවක් නිසාය. එය නම් යම් හෙයකින් හෝ එදින පැවැත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ සමුළුවක් නම් එහිදී, 2020 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා නම් කරන්න ට යෙදුනේ නම් එතන නායකත්වය ගනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතා නම්, රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුවට පැමිණීමට පෙර ඇමරිකානු රාජ්‍ය ලේකම් සහ ඇමෙරිකානු තානාපති හමුවී ආවේ නම්, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැන්නන් කවරාකාර කතා කියනු ඇතිද යන්නය.

පොහොට්ටු පක්ෂය සමුළුවට දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවකදී රූපවාහිනී වාර්තාකරුවෙකු බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඇමෙරිකාව සමග ගිවිසුම් පිළිබඳ ප්‍රශ්නයක් අසනු පෙනුනි. මාධ්‍යවේදියා එහිදී අසන ලද්දේ ඔවුන් එම ගිවිසුම් අහෝසි කරන්නේද යන්නයි. බැසිල් රාජපක්ෂ මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන ලද්දේ රටකට විදේශ ගිවිසුම් නොමැතිව කටයුතු කිරීමට අපහසු බවයි. ලෝකය සමග ගනුදෙනු නොකර රටකට පැවතිය නොහැකි බවයි.

ඒ අතර පොහොට්ටු පක්ෂයේ රැස්වීම පැවති ඉරිදා දිනයේ පුවත්පත්කට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් විමල් වීරවංශ මහතා කියා තිබුණේ ඇමරිකන් රූකඩ ආණ්ඩුවක් හදන කුමන්ත්‍රණයක් පවතින බවයි. ඊළඟ ප්‍රශ්නය වන්නේ ඇමරිකන් රූකඩ ආණ්ඩුවක් හදන්නේ කවරෙකුගේ නායකත්වයෙන්ද යන්නයි. එහිදී මතුවන තවත් ගැටලුවක් වන්නේ පොහොට්ටු පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා, විමල් වීරවංශ මහතා ද නියෝජනය වන කණ්ඩායමේ ද නියෝජිතයා වීමයි. එසේම ගෝඨාභය මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් නම් කරන මොහොත වන විටත් ඇමරිකානු පුරවැසිභාවය අත්හැර නොතිබීමයි. ගෝඨාභය මහතා යනු ඇමරිකාව වෙනුවෙන් සටන් වැදීමටට පවා දිව්රා පොරොන්දු වී සිටින තැනැත්තෙකි. ඒ අනුව ඇමරිකන් රූකඩ ආණ්ඩුවක් බිහි වීමේ වැඩිම අවදානම ඇත්තේ ඔහුගේ ජනාධිපතිත්වය යටතේය.

පොහොට්ටු පක්ෂයේ සමුළුව අමතමින් මහින්ද රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතාට විශේෂ ස්තූතියක් කළේය. ඒ එම පක්ෂයේ නිර්මාතෘ වරයා බැසිල් රාජපක්ෂ මහතා බව කියමිනි. බැසිල් රාජපක්ෂ මහතා යනුද ඇමරිකානු පුරවැසිභාවය දරන්නෙකි. ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරගත් බවට බොරු රංගනයක නියැලෙමින් සිටින නමුත් බැසිල් රාජපක්ෂ මහතා තමන්ගේ ඇමරිකන් පුරවැසියන් භාවය ගැන මෙතෙක් වචනයක් හෝ පවසා නැත. රූකඩ ආණ්ඩු ගැන කතා කරන්න කලින් විමල් වීරවංශ මහතා කළ යුතු වන්නේ ගෝඨාභය, බැසිල් පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේත්ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරගනු කියා කීම ය.

ඇමරිකන් පුරවැසියන් දෙදෙනකු විසින් අත්සන් කෙරුණු ශ්‍රී ලංකාවට බලපාන ගිවිසුමක් තිබේ. නම් ඒ ඇක්සා ගිවිසුමයි. 2007 වසරේ එම ගිවිසුමට අත්සන් තබන ලැබුවේ එවක අමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් මහතා සහ මෙරට ඇමරිකානු පුරවැසි රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතරයි. ඇත්ත කතාව වන්නේ එකල එම ගිවිසුම් අත්සන් කළ බවක් හෝ පැවති පාර්ලිමේන්තුව පවා නොදැන සිටි බවයි. අවම වශයෙන් එම ගිවිසුම අත්සන් කළ බව ඡායාරූපයක් හෝ ප්‍රසිද්ධ නොකරන්නට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වගබලා ගෙන තිබුණි . ්ශ්‍රී ලංකාව ඇමරිකාවේ අධිකරණය සීමාවන්ට 2017 දක්වා යටත් කරනු ලැබුවේ ද 2007 වසරේ ගෝඨාභය රාජපක්ෂ සහ රොබට් ඕ බ්ලේක් අතර අත්සන් කරනු ලැබූ එම ගිවිසුම මඟිනි. අමාත්‍යාත්‍යංශ ලේකම්වරයෙක් පාර්ලිමේන්තුවට පවා නොදන්වා එවැනි ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ විමල් වීරවංශ හෝ ගම්මන්පිල හෝ පොදු ජන පෙරමුණේ වෙනත් සාමාජිකයෙකු හෝ මෙතෙක් වචනයකින් හෝ ප්‍රශ්න කර නැත. එදා ඇමරිකාව සමග එම ගිවිසුම් අත්සන් කළ ආකාරය අනුව ”හොර ගිවිසුම” යන නාම විශේෂණය ඒ සඳහා ඉතා හොඳින් ගැලපේ. එහෙත් හොර ගිවිසුම් විරෝධියෝ අද පවා ඊට විරෝධය පළ කර නැත. අනෙක් ප්‍රශ්නය වන්නේ එදා ආරක්ෂක ලේකම්වරයා ව සිටිමින් එසේ අත්තනෝමතිකව හැසිරුණු ගෝඨාභය රාජපක්ෂ මහතා යම්හෙයකින් රටේ ජනාධිපතිව වුවහොත් කොයි ආකාරයෙන් කටයුතු කරනු ඇතිද යන්නයි. එහෙයින් වීිමල් වීරවංශ ඇතුළු පිරිස් බටහිර ආක්‍රමණයන් ගැන විශ්වාස කරන්නේ නම් මුලින්ම පරෙස්සම් විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙනි.

කතාව එතනින් නතර වන්නේ නැත. උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වූ ආසන්නයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඉන්දියන් සාගරයේ ඇමරිකන් යුද පුහුණුවක් පැවතිනි. එකී පුහුණුව අතරතුර ඇමරිකානු ගුවන් යානා මෙරට ගුවන් සීමාවට ඇතුළු වී තිබුණු බවට මහත් ආන්දෝලනයක් ඇති වුණි . එහෙත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඒ ගැන වචනයක් හෝ කතා කළේ නැත. අද ගිරිය පුප්පන විමල් වීරවංශලාගේ ඇමරිකන් විරෝධය ද එකල තිබුනේ නැත.

ඉහත කරුණු අනුව පෙන්වා දිය හැක්කේ මෙරට ඇමරිකන් මැදිහත්වීම සිදුව ඇත්තේ ඊට පදනම වැටී ඇත්තේත් ඇමරිකන් විරෝධීන් වශයෙන් වෙස් බැඳ සිටින තැනැත්තන් ගේ පාලන සමයේදී බවයි. එකල සියලු බලතල ඇමරිකාවට පවරාදුන් එසේ පවරා දෙන තුරු නිහඬව සිටි ඔවුහු අද බොරු ඇරිකානු විරෝධයක් පාමින් බලයට කෙළ හළන බව ජනතාව අවබෝධ කරගත යුතුව තිබේ.

ඊළඟ කාරණය වන්නේ ඇමරිකානු විරෝධයක් කර තබාගෙන ශ්‍රී ලංකාවට ඉදිරි ගමන තිබේද යන්නයි. කවුරුන් කෙසේ කීවද වර්තමානයේ වාණිජ කටයුතු වලදී වැදගත්ම රට වන්නේ ඇමරිකාවයි. ශ්‍රී ලංකාවේ අපනයන වලින් තුනෙන් එකක් පමණ සිදු කරනු ලබන්නේ ඇමෙරිකාව සමගයි. එකී තුනෙන් එකෙන් තුනෙන් එකක් ඇඟලුම් නිෂ්පාදනයි.

මහින්දවාදීන්ගේ ඇමරිකන් විරෝධය ක්‍රියාවට නැගුන හොත් ඒ අනුව සිදුවනු ඇත්තේ මෙරට අපනයන වලින් තුනෙන් එකකට වෙළඳපලක් අහිමිවීමයි. මෙරට ඇඟලුම් කර්මාන්තය ගත්කල විශාල වෙළෙඳපොළ අහිමිවීමක් ඒ අනුව සිදු වනු වැළැක්විය නොහැක. එසේ වුවහොත් උදා වනු ඇත්තේ මහින්ද රාජපක්ෂ සමයේ ජීඑස්පී ප්ලස් සහනය අහිමි කරගැනීමෙන් මෙරට ආර්ථිකයට සිදු වූ විනාශය තරම්ම විනාශයක් බව ජනතාව තේරුම් ගත යුතුව තිබේ.

ඊළඟ කාරණය බොරු ඇමරිකන් විරෝධයක් කර තබා ගෙන යාමට උත්සාහ කළ රටවල් වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වයයි. වෙනිසියුලාව ඊට ඇති ආසන්නතම නිදර්ශනයයි . ඉරාකය, ලිබියාව වැනි රටවල් වලට අත්වූ ඉරණම ද ඒ සඳහා උදාහරණ වශයෙන් දක්වන්නට පුළුවන. ඒ අනුව මෙරට ජනතාව පොහොට්ටු වාදින්ගේ ඇමරිකානු විරෝධයේ විනාශකාරී බව එහි ව්‍යාජත්වය ද වටහා ගත යුතුව ඇත.

රටට අවශ්‍ය වන්නේ බොරු බටහිර විරෝධයක් ජනතාවට පෙන්වා බටහිර සමග හොර ගිවිසුම් ගසන නායකයකු හෝ ආණ්ඩුවක් නොවේ. බටහිර විරෝධී වීම හේතුවෙන් රටේ ආර්ථිකයත් ජනතාවත් අගාධයේ හෙලන නායකයෙකු හෝ ආණ්ඩුවක් ද නොවේ. ලොව වර්තමාන දේශපාලන වාතාවරණය තේරුම්ගෙන සියලු රටවල් සමඟ සුහදව කටයුතු කරමින් රටෙත් ජනතාවගෙත් ආරක්ෂාවත් ආර්ථික දියුණුව සලසා දිය හැකි බුද්ධිමත්, අවංක නායකත්වයකි. ආණ්ඩුවකි. පුහු ඝෝෂා කාරයන්ගෙන් එවැන්නක් කිසිසේත්ම බලාපොරොත්තු විය හැකි වන්නේ නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *