ෆීල්ඩ් මාර්ෂල් සහ අනුර කුමාර -චන්ද්‍රානි ශාන්ති බන්ඩාර වත්ත

සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කර තිබුණේ පොහොට්ටු පක්ෂයෙන් ජාතික ආරක්ෂාවට මුල්තැන දී ඔවුන්ගේ කණ්ඩායමේ ඊට සුදුසුම තැනත්තා ජනාධිපතිවරණය සඳහා නම් කර ඇති බව ය.ඒ අනුව සරත් ෆොන්සේකා මහතා දැනුවත්ව හෝ නොදැනුවත්ව ගෝඨාභය මහතාට යම් චරිත සහතිකයක් ලබා දී ඇති බව සිතන්නට පුළුවන්.

ඊළඟට එකී මාධ්‍ය හමුවේ දී සරත් ෆොන්සේකා මහතා එජාප ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට සූදානම් වෙමින් සිටින සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රහාරයක් එල්ල කිරීමට ද අමතක කළේ නැත. එහිදී ෆොන්සේකා මහතා උපයෝගී කර ගනු ලැබුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ අතීත ක්‍රියාකාරකම්ය. විශේෂයෙන්ම ආර් ප්‍රේමදාස මහතා එවක එල්ටීටීඊ සංවිධානයට අවි ආයුධ ලබා දුන් බවය.

කෙසේ වුවත් පියාගේ අඩි පාරේ යන බවට හෝ පියාට කළ නොහැකි දෙය තමා කරන්නේය යනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා කරන ප්‍රකාශවලින් ඔහු අදහස් කරන්නේ සිය පියා අතින් සිදුවූ වැරදි තමාද කරන බව නොව පියා විසින් කරන ලද යහපත් කටයුතු ඉදිරියට කරගෙන යාමට තමා බලාපොරොත්තු වන්නේය යන්න බව පැහැදිලි සත්‍යයකි. එවැනි වටපිටාවක පියා දුර්ගුණ ඉස්මතු කර සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රහාර එල්ල කිරීම අනුමත කල නොහැකිය. එසේම රණසිංහ ප්‍රේමදාස මහතා එල්ටීටීඊයට අවි ආයුධ දුන් බව සිහිපත් කරන සරත් ෆොන්සේකා මහතාට රාජ රාජපක්ෂවරු ජනාධිපතිවරණය දිනීම සඳහා දෙමළ ජනතාව ඡන්ද පොළට යෑමෙන් වළක්වාලීමට එල්ටීටීඊ සංවිධානයට මුදල් දුන් බව අමතක වීම ද පුදුමයකි.

සරත් ෆොන්සේකා මහතාගේ මතය අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ජාතික ආරක්ෂාවට මුල්තැන දියයුතු එකක්ය. ජාතික ආරක්ෂාව මෙවර නොව කවදත් සැලකිය යුතු කරුණකි. සරත් ෆොන්සේකා මහතා පාස්කු ප්‍රහාරය පදනම් කරගනිමින් රාජපක්ෂවරුන් ආණ්ඩුවට එල්ල කරන මඩ ප්‍රහාරයේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීමේ කටයුත්ත භාර ගෙන ඇති බවක් පෙනේ. එහිදී සරත් ෆොන්සේකා මහතා කියන්නේ සහරාන්ගේ කණ්ඩායමෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ සුළු පිරිසක් පමණක් බවයි. එසේ වුවද මෙරට බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ වලට අනුව සහරාන් කණ්ඩායමේ තර්ජනයෙන් සීයට අනූවක් පමණ මේ වන විට අවසන් කර තිබේ. පාස්කු ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය ආදිය පිළිබඳ සලකා බලන කල ආරක්ෂක අංශ වල ප්‍රකාශ බොරුවක් නොවන බව පැහැදිලිය. රටේ එදිනෙදා කටයුතු මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබේ. මහනුවර ඇසළ පෙරහැර සාර්ථකව අවසන් කිරීමට ආණ්ඩුව සමත් වී ඇත. පොසොන් උත්සවය ද කිසිම ආරක්ෂක ගැටළුවකින් තොරව අවසන් විය. දෙවුන්දර කතරගම ආදී ස්ථානවල ආගම්ක පුද පූජා පෙරහර ආදිය සම්බන්ධයෙන් ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතු වූයේ නැත. සංචාරකයන්ගේ පැමිණීම ද යම් ආකාරයක යහපත් නැඹුරුවකට පත්වෙමින් පවතී. ඒ අනුව ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය 100% විශ්වාස කිරීමට හැකියාවක් නැත. අනෙක ත්‍රස්තවාදී ප්‍රහාර යනු 100% වැලැක්විය හැකි ඒවා නොවන බවද පිළිගත යුතුය. ඇමෙරිකාව ප්‍රංශය බ්‍රිතාන්‍ය ආදී රටවලටත් අයි.එස්. ප්‍රහාරය එල්ල වූවා මෙන්ම එල්ල වෙමින් ද තිබේ.

ඉහත සඳහන් කළ මාධ්‍ය හමුවේ දී සරත් ෆොන්සේකා මහතා කරන ලද ප්‍රකාශය අනුව මතුවන සැකය වන්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබා ගැනීමට ඒ මහතාගේ අදහසක් තිබේ ද යන්න ය. එවැනි අදහසක් ඇති්නම් ඒ සඳහා ෆොන්සේකා මහතා ගොඩනගන තර්කය වන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට ආරක්ෂාව පිළිබඳ අවබෝධයක් සහිත ගෝඨාභය වැනි හෝ ඊටත් වඩා හොඳ හමුදා නිලධාරියෙකු රටේ ජනාධිපති ධුරයට පත් කළ යුතු බව ය. ෆොන්සේකා මහතාගේ එම තර්කය පිළිගන්නේ නම් කෙටියෙන්ම ගත හැකි විසඳුම වන්නේ හමුදාපතිවරයා ජනාධිපති ධුරයට පත් කර ගැනීමය.

ලොව කවර තැනක හෝ ජාතික ආරක්ෂාවටය කියා හමුදා නිලධාරීන් ජනාධිපති ධූරයට පත් කරන සිරිතක් ඇත්තේ නැත. හමුදා නිලධාරීන් පාලකයන් වශයෙන් පත්වනු ලබන්නේ ‍ප්‍රජාතන්ත්‍රවාදය යටතේ නොවේ. හමුදා ආණ්ඩු යටතේ ය. නැතහොත් හමුදා කුමන්ත්‍රණ මගින්ය. ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාමට රටකට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉහළින් ගරු කරන දේශපාලනඥයන්ය. ඔවුන්ගේ සහායට ජාතික ආරක්ෂාව තහවුරු කරලීමට හමුදාවත් හමුදා ප්‍රධානිනුත් සිටිති. ඒ අය දේශපාලනයට නො ව සම්බන්ධ විය යුත්තේ පරිපාලනයට ය.

ඊළඟ කාරණය සරත් ෆොන්සේකා මහතාට මැතිවරණ ජයග්‍රහණයක් ලබා ගත හැකිද යන්නය. ඒ මහතා තමාගේ නොහැකියාව මේ වන විටත් වතාවක් ප්‍රදර්ශනය කර තිබේ. ගෝඨාභය මහතා මෙරට ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන්නේ ඔහුගේ හමුදා පාලනය නිසාය. ෆොන්සේකා මහතාට එය ගෝඨාභය මහතාටත් වඩා වලංගුය.

ජවිපෙ නායක අනුර කුමාර මහතා කියා තිබුණේ පොහොට්ටු පක්ෂය විසින් දුර්වලම තැනැත්තා ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බව ය. ඇත්ත වශයෙන්ම ගෝඨාභය යනු ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමට අපහසුම තැනැත්තා හෙවත් පරාජය කිරීමට පහසුම තැනැත්තාය. ගෝඨාභය මහතාගේ අතීත ක්‍රියාකාරකම් ඒ සඳහා ඇති හොඳම තුරුම්පුවය. අනෙක සුළු ජාතික ඡන්ද දිනා ගැනීමට ගෝඨාභය මහතාට ඇති නොහැකියාවය.

පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව හෝ ලබා ගැනීමට ගෝඨාභය මහතාට හැකි නොවන බව මේ වනවිටත් පැහැදිලිය. වෙල්ගම මහතා වැනි අයගේ හැසිරීම විසින් ඒ බව සනාථ වෙමින් තිබේ. හමුදා පාලනයක් නොඉවසන ඒතෙක් මෙතෙක් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව ගමන් කළ කොමියුනිස්ට් පක්ෂය වැනි පක්ෂ වල මහින්ද පාර්ශව වලට ද ඉදිරියේ දී යම් පියවරක් ගන්නට බල කෙරෙනවාට සැකයක් නැත. ශ්‍රීලනිපයේ සහාය ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ පිලට යම් බලා බලාපොරොත්තුවක් තිබුණේ නම් මේ වන විට දයාසිරි ජයසේකර නිශාන්ත මුතුහෙට්ටිගම වැන්නන්ගේ හැසිරීම අනුව එහි ද යම් අවදානමක් පවතින බව පෙනේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ යටි අරමුණ සමහරවිට දිනිය නොහැකි තරගයකට ගෝඨාභය මහතා ඇද දමා පරාජයට පත්කිරීම වන්නටද පුලුවන. හේතුව මහින්ද මහතාගේ අපේක්ෂාව වන්නේ 2025 ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම වන බැවිනි.

අනුර කුමාර මහතාගේ ප්‍රකාශය වලංගු වන්නේ ඉහත කරුණු සියල්ල සලකා බලන විට ය . ගැටලුව වන්නේ පොහොට්ටු පක්ෂයේ දුර්වල අපේක්ෂකයා පරාජය කරවීමට එක්සත් ජාතික පක්ෂය තුළ පොහොට්ටු විරෝධී කණ්ඩායම සූදානම්ද යන්නය. ගෝඨාභය පරාජය කිරීම අපහසු නැත. එහෙත් ඊට පෙර එජාපය තම ගෙදර ප්‍රශ්නය විසඳාගත යුතුය. එසේ නොවන්නේ නම් එක්සත් ජාතික පක්ෂය පරාජය වනවා පමණක් නොවේ, රට යළිත් මහත් ව්‍යසනයකට පත් වනවා ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *