|

ශ්‍රී ලංකාවේ අවිද්‍යාත්මක කෘෂිකාර්මික ප්‍රතිපත්ති හැදෙන්නේ ජනාධිපතිතුමාගේ අනුග්‍රහයෙන් – වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක

ඇතැම් අවස්ථාවල විද්‍යාත්මක නොවන මත පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ කෘෂ්කාර්මික ප්‍රතිපත්ති සැකසෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුග්‍රහයෙන් බව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

‘‘ගල්යිෆොසේට් ප්‍රශ්නය ගත්තත්, ෆාම් ඔයිල් ප්‍රශ්නය ගත්තත් නවීන කෘෂිකර්මය පිළිබඳව ජනාධිපතිතුමා තේරුම් ගන්නේ නැහැ” නවීන් දිසානායක ඇමතිවරයා ප්‍රකාශ කළේ අගෝස්තු 9 වැනි දා පැවති කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ වාර්ෂික මහා සභාව අමතමිනි. ජනාධිපති කාර්යාලය සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අතර හොඳ සම්බන්ධයක් නොපැවති බව ද ඇමතිවරයා පැවසීය.

“කෘෂිකර්ම ප්‍රතිපත්ති සැකසීමේ දී විද්‍යාත්මක සාක්ෂි සැලකිල්ලට ගන්නේ නැහැ. දැනුමක් නැති උදවිය වානිජ කෘෂිකර්මයට විරුද්ධ වෙනවා.”  ඇමතිවරයා පැවසීය.

වියළි කලාපයේ පැතිරෙන වකුගඩු රෝගයට හේතුව ග්ලයිෆොසේට් බවට ගෙනගිය ප්‍රචාරය නිසා ජනාධිපතිවරයා 2015දී එය තහනම් කළේය.

වරෙක පර්යේෂකයෙකු කීවේ වකුගඩු රෝගයට හේතුව ආසනික් බව නාථ දෙවියන් හෙළිදරව් කළ බවයි.

වකුගඩු රෝගයට හේතුව ග්ලයිෆොසේට් බව කියූ එක් ලිපියක සඳහන් වූයේ මේ පිළිබඳ සතුන් යොදාගෙන පර්යේෂණ නොකළ බව හා එයට හේතුව ශ්‍රී ලංකාව බෞද්ධ රටක් වීම බවයි.

පිළිකා ඇතිවීමට හේතුවක් විය හැකි රසායනයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ග්ලයිෆොසේට් 2ඒ කාණ්ඩය යටතේ දක්වා ඇත්තේ සතුන්යොදාගෙන කළ පර්යේෂණවල ප්‍රතිඵල වශයෙනි. කෙසේ වුවද මිනිසාට පිළිකා වැළඳීමට ග්ලයිෆොසේට් හේතුවන බවට සාක්ෂි නැත. මෙම 2ඒ කාණ්ඩයේ ඇති අනෙක් ද්‍රව්‍ය මැලතියන්, රතු මස්, දර යොදාගෙ ඉවීම, ඉහළ උෂ්ණත්වයක බැදීම ආදිය ද ඇතුළත්ය.

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ එහි හේතුව නොදන්නා බවයි.

ග්ලයිෆොසේට් තහනම නිසා තේ කර්මාන්තයේ වියදම් ඉහළ ගියේය. මෙය ශ්‍රී ලංකාවේ දෙවන වැඩිම වානිජ අපනයනයයි. කම්කරුවන් යොදා අතින් වල් ගැලවීම හෝ වෙනත් රසායනික යෙදීමට වැවිලිකරුවන්ට සිදුවීය.

වෙනත් රසායනික යෙදීම නිසා ජපානය වැනි ඇතැම් රටවල අපනයන ප්‍රතික්ෂේප වීමත් සමග ව්‍යාපාර බිඳ වැටුණි.

ජපානයට කළ අපනයනය 2014 කිලෝ ග්‍රෑම් දස ලක්ෂ 9.1ක සිට 2018 දී 7.4ක් දක්වා පහත වැටුණි. මේ අතර ෆාම් ඔයිල් වගාවෙන් විශාල ලෙස ජලය උරා ගන්නා බවට හා භූගත ජල මට්ටම පහත යන බවට ගම්මුන් හා පරිසරවේදීන් කළ ප්‍රකාශ නිසා 2019 මාර්තුවල ජනාධිපතිතුමා ක්‍රියා කළේ ෆාම් ඔයිල් වගාව තහනම් කිරීමටය.

වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමණාකරන පීඨයේ මහාචාර්ය අශෝක නුගවෙල කියන්නේ ෆාම් ඔයිල් වගාවට විරෝධයට හේතුව විද්‍යාත්මක සාධක මත පදනම් නොවූ බියක් බවයි. මෙම විරෝධයන් බොහොමයකට පදනම් වන මධ්‍යම පරිසර අධිකාරියේ පර්යේෂණ වැරදි නිගමන රාශියක් ඇති බවත් එය සකස් කළ කමිටුවේ සාමාජිකයන් හත් දෙනාගෙන් හතර දෙනෙකු එයට අත්සන් කොට නැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ෆාම් ඔයිල් වගාව සඳහා යොදාගෙන ඇත්තේ මුළු වතු වගාවෙන් සියයට තුනක භූමි ප්‍රදේශයක් බවත් එමගින් තේ, රබර් වැනි සම්ප්‍රදායික වගාවන්ට තර්ජනයක් නොමැති බවත් එමගින් වැඩිපුර ජලය උරාගැනීමක්, ජල මට්ටම පහත යාමක් හෝ පස් තෙරපීමක් සිදු නොවන බවත් ඇමති නලීන් දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *