‘රටට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු මිස ඒකාධිපතියෙකු නොවේ’


 
රටට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී  නායකයකු මිස බලයට කෑදර ඒකාධිපතියෙකු නොවන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප‍්‍රධාන කමිටු සාමාජික සමන් රත්නප‍්‍රිය මහතා අද(12) කොළඹදී පැවසීය.
 
එවැනි ඒකාධිපති නායකයකුට ඉතිහාසය යළි ප‍්‍රතිනාර්මාණය කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ නොතබන බවත් රත්නපි‍්‍රය මහතා සඳහන් කළේය.
 
රාජගිරිය පිහිටි  පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද(12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රත්නප‍්‍රිය මහතා මෙසේද කීවේය.
‘ජනාධිපතිවරණයට තවත් මාස තුනක පමණ කාලයක් ඉතිරිව තිබෙනවා. සාධාරණ සමාජය විදියට අපි කිසි ලෙසකින්වත් විධායක ජනාධිපතිධුරයට එකඟ නැහැ. 2015 පැවති ජනාධිපතිවරණයට පෙර සිටම මාදුලුවාවේ සොභිත හිමියන්ගේ මූලිකත්වයෙන්  අපි ඒ වෙනුවෙන් විශාල හඬක් නැඟුවා.
 
අපි මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කළේ නැවත ජනාධිපතිවරණයක් පවත්වන්න නෙමෙයි. නමුත් අපිට 19 වන සංශෝධනයෙන් විධායකයේ බලතල අඩු කරලා පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට හැකිවුණා. තොරතුරු දැනගැනීමේ පණත, මාධ්‍ය නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින්  අපිට මේ කාලය තුළ රට වෙනුවෙන් විශාල සේවයක් කරන්න හැකි වුණා.
 
මේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ  ඉදිරියට ගෙනියන්න පුලූවන් පුද්ගලයෙක් රටේ නායකත්වයට පත්විය යුතුයි.  දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා  පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපතිවරණ  අපේක්ෂකයා ලෙස කළ එළි බැස්සා.
 
අපි ඉල්ලන දේශපාලන ප‍්‍රතිසංස්කරණ  ඔහුට දිය හැකිද යන්න පිළිබඳ බරපතල ප‍්‍රශ්නයක්  අපිට තියෙනවා. ඒ අය දේශපාලන ප‍්‍රතිසංස්කරණ කරන්න කැමති අය නෙමෙයි. බලය  තමන් වටා ඒකාරාශි කරගන්න  උත්සාහ කරන ඒ වෙනුටවෙන්  ඕනෑම දෙයක් කරන්න කැමති අයයි. ඒ පිළිබඳ  වාදයක් තියෙනව නම් අපි කැමතියි ඒ සඳහා සහභාගී වෙන්න.
 
රාජපක්ෂ යුගයේදි මාධ්‍යවේදීන් ඝාතනය කළා. අතුරුදන් වුණා, මාධ්‍ය ආයවලට පහර දුන්නා. මාධ්‍ය වේදීන්ගේ අත පය කඩලා දැම්මා. ඒ අයට එරෙහි දේශපාලන කණ්ඩායම්, දේශපාලඥයන් නිහඬ කළා. වතුර ඉල්ලපු ජනතාවට, වෘත්තීය ඉල්ලීම් ඉල්ලපු ජනතාව වෙඩි තබා ඝාතනය කළා, සුදු වෑන් වලින් තමන්ට එරෙහි පිරිස්  ඉස්සුවා. මේවා අපිට අමතක කරන්න පුළුවන් කාරණා නෙමෙයි.
 
අනික් පැත්තෙන් වංචාව, දූෂණය රජ කළා. රාජ්‍ය ත‍්‍රස්තවාදය,  රාජ්‍ය මර්ධනය පැවතුණා. මේ වගේ ඉතිහාසයක් තමයි මේ අයට තියෙන්නේ. මේ ඉතාහිසය නැවත ප‍්‍රතිනිර්මාණය කරන්න අපි ලෑස්ති නැහැ. අපි ඒ සඳහා ඉඩ දෙන්නෙත් නැහැ.
 
අපිට  ඕන ගහලා මරලා රට ලස්සන කරන පුද්ගලයෙක්ද? එහෙම නැත්නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස  ආරක්ෂා කරගෙන රට ඉස්සරහට ගෙනියන්න පුලූවන් පාලකයෙක්ද කියන කාරණය පිළිබඳ අපිට  විශාල ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි නිදහස රජකරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාළනයක් වෙනුවෙන් කැපවෙනවා’ යැයිද ඔහු පැවැසීය.

නිමල කොඩිතුවක්කු

ලංකාදීප
 
(ඡායාරූප : ඉෂාන් සංජීව)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *