‘දිනන අපේක්ෂකයා ගේන්නේ අපි‘ – ඇමති රාජිත සේනාරත්න

ජනාධිපතිවරණය සදහා රාජපක්ෂ කඳවුරෙන් කුමන අපේක්ෂකයා ඉදිරිපත් කළ ද ගම ඉල්ලන හා ජයග‍්‍රහණය කරන අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පෙරමුණෙන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.     
 රාජපක්ෂ පවුලේ  ඕනෑම අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරණයේ දී පරාජය කිරිමට සූදානම් බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
 
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් 2015 ට වඩා පුළුල් සන්ධානයක් ගොඩනගන බවද ඇමතිවරයා ප‍්‍රකාශ කළේය.
           
ඉදිරි ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී රටේ බහුතරයගේ මනාපය දිනාගනිමින් අති විශාල ජයක් ලබා ගන්නා බව කී ඇමතිවරයා  ඉන් පසුව ගොඩනගන්නේ වසර දහයකටවත් මැතිවරණයක් අවශ්‍ය නැති තරමට ශක්තිමත් ආණ්ඩුවක් බවද ප‍්‍රකාශ කළේය.
 
මහින්ද රාජපක්ෂ  දූෂිත පාලනයට විරුද්ධව 2015 දී ජීවිත පරදුවට තබා තීන්දුවක් ගත් කණ්ඩායම ඉදිරියේදීත් තීන්දු ගැනීමට බිය නොමැති  බව කී ඇමතිවරයා එදා ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණයකට ගියේ නම් එක්සත් ජාතික පෙරමුණට විශිෂ්ට ජයක් ලබන්නට හැකියාව තිබූ බව ද සදහන් කළේය.
 
නමුත් එදා පක්ෂයේ ජයග‍්‍රහණයට වඩා රට ගැන සිතා කටයුතු කිරීම නිසා දේශපාලන අර්බුද රැුසක් මතුවූ බව ද ඇමතිවරයා කීවේය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවට එක් වූ ඇමැතිවරු ආණ්ඩුව විවේචනය කිරීම නිසාත්, එම පක්ෂයේ සභාපතිකම භාරගත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා අංශක 180 කින් වෙනස් වීම නිසාත් ආණ්ඩුවේ ගමන වෙනස් වූ බව කී ඇමතිවරයා ඒ හේතුවෙන් පසුගිය රජය යටතේ මිනීමැරුම්, සොරකම් හා දූෂණ කළ අයට දඩුවම් කිරීමට නොහැකි වූ බව කියා සිටියේය.
           
වර්තමානයේදී එම දූෂිතයින්, තම ප‍්‍රතිපත්ති හා මතවාද සියල්ල වෙනස් කරගනිමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානම්ව සිටින බව කී අමාත්‍යවරයා එවැනි පාලකයින් බිහි කිරීම යහපාලන රජයේ අරමුණ නොවන බව ද කීවේය.

ඩයනා උදයංගනී

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *