කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියකු මිස රාජාලියෙකු වෙන්නේ නෑ – රාජපක්ෂලාගේ අලුත් ඇදුම ගැන රනිල් කියයි

වගා හානී වූවන් සඳහා වන්දි ලබාදීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරූණෑගල නගර සභා ශාලාවේදී ඊයේ(11) පැවැත්විණි. එහිදී 2018 වසරේ වගා හානී වූ ගොවි ජනතාවට අගමැතිවරයා වන්දි මුදල් ලබාදුන් අවස්ථාව. එම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

දස වසරක් බලයේ සිට රට දියුණු කිරීමට නොහැකි වූ රාජපක්‍ෂ පාලනය ඇඳුම හා පාට වෙනස් කරමින් නැවත පැමිණිය ද සිදුවන්නේ පරණ පුරුදු ක්‍රියාදාමයම බවත්, කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියකු මිස රාජාලියෙකු බවට පත් නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11) කුරුණෑගලදී පැවසීය. වත්මන් ආණ්ඩුව බලයට පත්වී ගත වූ වසර කිහිපය තුළ විනාශ වී තිබූ රට විවිධ අභියෝග මධ්‍යයේ යළි ගොඩගෙන සංවර්ධනය කරමින් සියලූ රටවැසියන්ට ශක්තිමත් අනාගතයක් ගොඩනඟාදීමට පියවර ගත් බවත් එම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන ගොස් දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා ද එසේත් නැතිනම් නැවත විනාශකාරී යුගයකට ඇද දමනවා ද කියා තීරණය කළ යුතු කාලය එළඹතිබෙන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (11) පෙරවරුවේ කුරුණෑගල නගර සභා ශාලාවේදී පැවැති කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2018 වසරේ වගා හානී වූ ගොවි ජනතාවට වන්දි පිරිනැමීමේ උත්සවයට එක්වෙමිනි.

එහි තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

සම්මේලන නම වෙනස් කරමින් තමයි පවත්වන්නේ. එලෙස නම වෙනස් කිරීම පිළිබඳ මා සුභ ප්‍රාර්ථනා කරනවා.

මහින්ද රාජපක්‍ෂ පාලනයට වසර 10 ක් රට සංවර්ධනය කිරීමට නොහැකි වුණා. එසේ නම් නම වෙනස් කරමින් බලයට පැමිණ ඔවුන්ට රට සංවර්ධනය කළ හැකි ද කියා මා විමසා සිටිනවා. යුද්ධය අවසන් වුණාට පසු රටේ සංහිදියාව ඇති වුණේ නැහැ. ඒ වෙනුවට ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වී තිබුණා. නමුත් සියලූ අභියෝග මධ්‍යයයේ වසර 05 ක් තුළ අපි සංහිදියාව ඇති කරමින් ඉදිරියට පැමිණියා.

රාජපක්‍ෂ පාලනයේ වසර 10 තුළ මෙරට අපනයනය 30% සිට 18% දක්වා පහත වැටුණා. ජී.එස්.පී. ප්ලස් සහනය නැති වුණා. රට ලෝකය හමුවේ හුදකලා වුණා. නමුත් වසර 05 ක් තුළ මේ සියල්ල යළි ගොඩනඟමින් රට සංවර්ධනය කරා ගෙන යාමට අපට හැකි වුණා.

වසර 10 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කරන්න ඒ පාලකයන්ට හැකි වුණේ නැහැ. එදා මාධ්‍ය නිදහස තිබුණේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කළේ නැහැ. සුදු වෑන් සංස්කෘතියක් රටේ ඇති වී තිබුණා. හැම අතින්ම රට පිරිහීමකට ලක්ව තිබුණා. සෞඛ්‍ය, අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කළේ නැහැ. නැවත මෙවැනි විනාශ කාරී යුගයකට ගමන් කරනවා ද එසේත් නැති නම් ගත වූ වසර 05 තුළ සිදු කරගෙන ආ වැඩ පිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන ගොස් රට දියුණු කර අනාගතය ගොඩනඟා ගන්නවා ද කියා ජනතාව තීරණය කළ යුතුයි.

වසර 10 කින් සංවර්ධනය කිරීමට නොහැකි වූ රට නැවත සංවර්ධනය කළ හැකි ද? ඇඳුම් හා මුහුණ මාරු කිරීමෙන් වෙනසක් සිදු වන්නේ නැහැ. කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමයි. මොනවා කළත් කොබෙයියා රාජාලියෙක් වෙන්නේ නැති බව ජනතාව තෙරුම් ගත යුතු යැයි වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් සහ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා තරම් දුර දක්නා නුවණින් ක්‍රියා කළ වෙනත් නායකයෙක් ලංකා ඉතිහාසයේ නොසිටි බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවිධ අභියෝග මධ්‍යයයේ රට ගොඩනැගීමට පියවර ගත් බවත්, එහි ප්‍රතිඵල ලැබෙමින් තිබෙන මොහොතක ඇතැම් බලවේග බුදු දහම හා ජාතිවාදය අවුස්සා බලයට පැමිණීමට ජනතාවට මුලාකරමින් සිටින බවත් පෙන්වාදුන්නේය.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පියවර ගත් බව මෙහිදී පෙන්වාදුන් කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා මෙවර යල කන්නයේ සිට වී කිලෝවක මිල රුපියල් 05 කින් ඉහළ දමන බව සඳහන් කළේය.

එම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරු ඇතුළු දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගීවී සිටියහ.

අසේල ලියනගේ

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *