මහින්ද සීරෝ වෙයි : ගෝඨා හීරෝ වෙයි !

තම පුද්ගලත්වය, පවුල, පුද්ගලික මිතුරන්, ව්‍යාපාරිකයින් හා අන්තවාදීන් පිරිසක් කේන්ද්‍ර කොටගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) ජනාධිපති අපේක්ෂකත්වය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ලවා ප්‍රකාශ කරවා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ අද (11) දිනයේ සමත්විය.

ජනාධිපති අපේක්ෂකත්වය තමාට නොදී සිටීමට බැරිවන ආකාරයට ඔහු විසින්, මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ සොයුරන් බිත්තියටම හේත්තු කරනු ලැබුවේ, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මතුව ආ අන්තවාදී මතවාදය ද තවදුරටත් පෝෂණය කරමිනි.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනයේ දී එම පෙරමුණේ නායකත්වයට පත් මහින්ද රාජපක්ෂ විසින් ගෝඨාභයගේ නම ප්‍රකාශ කරනවාත් සමගම එතනට පැමිණසිටි පිරිස් විනාඩි ගණනාවක් ඔල්වරසන් දෙමින් ජයඝෝෂා කලහ.

අපේක්ෂකයා ලෙස ඔහු නම් කිරීමට පෙර රටේ ජනතාව විසින් ඔහු තෝරාගෙන සිටි බව මහින්ද රාජපක්‍ෂ සම්මේලනය අමතමින් සඳහන් කළේය. තම සහෝදරයා අද පටන් රටේ සහෝදරත්වයට භාර දෙන බවද මහින්ද රාජපක්ෂ එහිදී කියා සිටියේය.

ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවයක් !

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ බලවේගයන්ට නායකත්වය ලබාදීමට තමා සුදානම් බව සම්මේලනය අමතමින් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේය.

තමාගේ රජයක මුලික කාර්යය රාජ්‍ය ආරක්ෂාව බව ඔහු විසින් අවධාරණය කරනු ලැබුවේ වසර 30ක් හමුදා සාමාජිකයකු ලෙසත්, වසර 10ක් රජයේ ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු ලෙසත් සිදුකළ කාර්යභාරය සිහිපත් කරමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමත් සමග රට පුරා බොහෝ ප්‍රදේශවල රතිඤ්ඤා දල්වා එය සමරනු ලැබීය.

වාසුදේවත් අත් පොලසන් දෙයි !

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කිරීමේ අරමුනින් යුතුව කැඳවා තිබු මෙම සම්මේලනයට ගෝඨාභයට එරෙහිව පසුගිය කාලයේ දේශපාලන විවේචනයන් ඉදිරිපත් කල වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාද එක්ව සිටි අතර ඔහුට මහින්ද රාජපක්ෂගේ තීරණය අනුමත කරමින් අත්පොළසන් දෙනු දක්නට ලැබිණ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කලයුතු බවට පසුගිය මාස කිහිපය පුරාම රටවටා යමින් ජනමතයක් ගොඩනැගු ජාතික චින්තනයේ ආචාර්ය නලින් ද සිල්වා ද මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වී සිටියේය.

newstube

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *