සාෆි විමර්ශනයේදී පොලිස් ලොක්කන් දෙදෙනෙක් විනය විරෝධී වැඩ කරලා – රහස් පොලිසියෙන් පොලිස්පතිට වාර්තාවක්


 
කුරුණෑගල  ශික්ෂණ රෝහලේ  ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ්  සාෆි සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ දී කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පොලිස් අධිකාරිවරයා  අතින්  විනය විරෝධී කටයුතු සිදුව ඇති  බව සඳහන් කරමින්  පොලිස්පතිවරයා වෙත වාර්තාවක් ලබා දී ඇති බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ශානි අබේසේකර මහතා පැවසීය.
 
මේ සම්බන්ධයෙන්  ලැබුණු පැමිණිලි  කරුණු අනුව සිදුකළ පරීක්ෂණවලදී මොවුන් අතින්  විනය විරෝධී කටයුතු  සිදුව ඇති බවට හෙළි  වූ බව  ශානි අබේසේකර මහතා කියා සිටියේය.
 
කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයා හා  පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ  නොපවත්වන බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී මොවුන් මෙම කි‍්‍රයාවන් සම්බන්ධයෙන් හෙළි වු බවත්   ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා කියා සිටියේය. 
 
මෙම වාර්තාවේ කරුණු අනුව පොලිස්පතිවරයා  ඉදිරි කි‍්‍රයාමාර්ග ගනු ඇති බවද හෙතෙම කියා සිටියේය.
 
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර  මහතාගේ ප‍්‍රධානාත්වයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  අද (8) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී   මාධ්‍යවේදීන් ඇසු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්   ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා මේ බව පැවසීය.

ඉන්දිකා රාමනායක

ලංකාදීප
 
  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *