‘වාද-විවාද අවසන් කර නව සන්ධානය ඉක්මණින් ගොඩනගනවා’ – ඇමති වජිර අබේවර්ධන


ගැළපීම්, නොගැළපීම්, වාද විවාද සියල්ලක්ම අවසන් කර සියලූ පක්ෂ සහ කණ්ඩායම් එක්කර එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ  ප‍්‍රධානත්වයෙන් නව සන්ධානය ඉතා ඉක්මණින් ගොඩනගන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කොළඹදී අද(08) පැවසීය.
 
සන්ධානගත වීමකින් තොරව කිසිදු අපේක්ෂකයෙකුට ඉදිරි ජනාධිපතිවරණය ජයගත හැකි වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
 
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ අද(08) පැවති මාධ්‍ය හමුවකදී  ඔහු මේ බව පැවැසීය.
 
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ ද කීවේය. 
 
‘‘සන්ධානයක් මගින් මැතිවරණයට ඉදිරිපත් වීම  පක්ෂයක් විදියට අපි සියලූ දෙනා මතක තබා ගත යුතු ප‍්‍රධාන  කාර්යයක් වනවා.  ජනාධිපතිවරණ ඉතිහාසය තුළ සන්ධාන ගතවීම  ඉතාම වැදගත් වෙනවා. 
 
සන්ධානයක් ඇති කරගැනීමේදී  ගැළපෙන නොගැළපෙන, ආර්ථික දේශපාලන දර්ශන තිබෙන කණ්ඩායම් සියලූ දෙනාටම  එකතැනකට එකතුවෙන්න පුලූවන්කම තියෙනවා.  ඒ අනුව තමයි ජනාධිපතිවරණය සඳහා සන්ධානයකින් ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂය විදියට අපි ඉතාම පැහැදිලිව තීරණය  කළේ.

ඒ නිසා  එක්සත් ජාතික පක්ෂය විදියට අපි  ඉතා ඉක්මනින් සන්ධාන ගත වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ඒ සඳහා විවිධ අදහස් යෝජනා  ලබා ගනිමින් සිටිනවා. මේ සාකච්ඡාවලින් අනතුරුව අපේ ජයග‍්‍රහණයේ එකම  මාවත විදියට තිබෙන සන්ධානයක තෝරා ගැනෙනවා.
1978න් පසු පැවති සෑම ජනාධිපතිවරණයකදීම සන්ධාන ගතවෙන  සෑම අවස්ථාවකදීම ඒ සන්ධානගත පාර්ශවය  ජයග‍්‍රහණය කිරිම ඉතාම පැහැදිලි දර්ශනය වුණා.
 
එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ  ගැළපෙන නොගැළපෙන කණ්ඩායම් ඉතා ඉක්මණින් එක තැනකට ගෙන ඒමට කටයුතු කරනවා’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.

නිමල කොඩිතුවක්කු

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *