|

රහස් හමුවේදී සජිත්ට රනිල් කී කතාව : කබීර් , සාගලට මාට්ටු කළේ ගොටාගේ ගේමකින්ද?

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය පිළිබඳව විශාල අභ්‍යන්තර අර්බුද මාස ගණනාවක් තිස්සේ ඇදී යද්දී එජාපය තුලද එවැනිම ව්‍යාකූලතාවයක් මතුව තිබේ. ඒ රනිල් සජිත් කරූ කිරිඇල්ල ෆොන්සේකා නවීන් ඇතුළු නම් කිහිපයක් ජනපති අපේක්ෂකත්වය සඳහා මෑතකදී කරලියට පැමිණීමත් සමගය. එහි වඩාත් උත්සන්නම අවස්ථාව වූයේ අපේක්ෂකයා නම් නොකර පසුගිය 5දා අත්සන් කිරීමට තිබූ එජාපය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීම මදක් කල් යෑමය.

අභ්‍යන්තර ව්‍යාකූලතා පැවතියද අගමැතිවරයා පසුගිය සතිය පුරා අදාල රැස්වීම් උත්සව හා සංවර්ධන ව්‍යාපෘති සියල්ලට එක්වූයේ ඉතා සැහැල්ලු මනසකිනි. බ්‍රහස්පතින්දා පොලීසියේ ඉහළ නිලධාරීන් සමග කල නිල සාකච්චාවක් නිමා කළ අගමැතිවරයා අනතුරුව පැමිණ සිටි මැති ඇමතිවරුන් සමගද කතාබහ කළේය.

“පොහොට්ට්ටුවේ වගේම එජාපයෙත් අපේක්ෂකය තේරීමේ මහා තරගය පටන් ගත්තා නේද?” ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක කතාවට මුලපිරුවේ දැඩි සිනහවක්ද සමගිනි.

“නෑ.. පොහොට්ටුවේ වගේ ලොකු ප්‍රශ්න අපේ නෑ. සමහර ජනමාධ්‍ය මේක ලොකු කරල පෙන්නන්න හදනවා. සංධානය පිහිටෙව්වෙ නැත්නම් කාටවත් අපේක්ෂකකම් අරගෙන වැඩක් වෙන්නෙ නෑ. සංධානෙ ව්‍යවස්ථාවට සංශෝධන වගයක් ඇවිත් තියනවා. අද හවස ඒ පක්ෂ නායකයො හමුවෙනවා. ඔවුන් ඒ ගැන කතාකරල තීන්දුවක් දේවි. ඒ කිසි දේකට මම මැදිහත් වෙන්නෙ නෑ.” අගමැතිවරයා කීවේය.

“රනිල්-සජිත් හමුව ගැන හැමෝම විස්තර අහනවා” සභානයක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේද මද සිනහවක් සමගිනි.

“ඒ කතාබහ ඉතා සුහද හා ඉතා අවබෝධයෙන් කරපු එකක්. ජනතාවගෙන් ඉල්ලීමක් තියනවා කියලා සජිත් කිව්වා. පක්ෂය ඇතුලෙන් හා පක්ෂ නායකයින්ගෙන් මටත් එවැනිම ඉල්ලීමක් තියනව කියල මමත් කිව්වා. මෙතන්දි වැදගත්ම ප්‍රතිථලය වුණේ සංධානය හදන්න සජිතුයි මමයි එකඟ වීමයි. ඊට පස්සෙ කතාකරල කාගේත් එකඟත්වය මත තීන්දුවකට එමුයි කියලා සුහදව විසිරුණා.” අගමැතිවරයා පැහැදිලි කළේය.

“පොහොට්ටුවේ සංධානය රණ්ඩු මැද 11 දා එළිදකිනවලු. ජවිපෙ එක 18 වැනිදායි. ඔක්කොටම කලින් 5 වැනිදා අපේ සංධානෙ ගහන්න තිබුණනම් ඒක ලොකු පිම්මක් බව බොහෝ දෙනෙක් කියනවා” නවීන් දිසානායක කීවේ එවැන්නකි.

“සතියක් දෙකක් ඇතුලත එජාපෙ සංධානෙත් අත්සන් කරන්න කටයුතු කරන්න ඕනෑ.” චමින්ද විජේසිරි කළ යෝජනාවට කාගේත් එකඟත්වය පළවිය.

“මෛත්‍රී මහින්ද හමුව ගැන නොයෙක් කතා යනවා. මෛත්‍රීට ප්‍රධානම තනතුරක් දෙන්න මහින්ද පොරොන්දු වෙලා කියලයි ආරංචි. දයාසිරිලා තාම ජනපති අපේක්ෂකත්වය ගැන කතාකරන්නෙ ඒ පදනම තුල කියලයි ආරංචි. එහෙම නොවුනොත් ඔවුන් විශාල විකල්පයකට යාවි කියලත් කියනවා. හැබැයි පොහොට්ටුවේ 90% ක් කියන්නෙ ශ්‍රීලනිපයේ නායකයො වේදිකාවට නැග්ගුවොත් එයාල පරාදයි කියලයි.” හේෂා විතානගේ කීවේය.

“සජිත් ඇමතිතුමා හම්බවෙන්න කලින් ඔබතුමා මහින්ද රාජපක්ෂ හමුවුණා කියලත් ආරංචියක් යනවා.” නවීන් දිසානායක ඇසුවේ අගමැතිගෙනි.

“නෑ.. අර ත්‍රෛනිකායික හාමුදුරුවන්ගෙ උත්සවයේදී හමුවෙලා අපි දෙන්න නිකන් කතාකළා. එතන ජනාධිපති මෛත්‍රීත් හිටියනේ” අගමැතිවරයා කීවේය.

“කතෝලික මිනිස්සු උසිගන්වලා නැති ප්‍රශ්න ඇතිකරන්න පටු දේශපාලන අවස්ථාවාදීන් උත්සාහ කරනවා. පාස්කු බෝම්බෙ නිසා වේදනාවෙන් ඉන්න ඒ මිනිස්සු පහත් විදියට ආවේග වලට තල්ලු කරන එක මහ පාපයක්. අර කටුවපිටිය ප්‍රතිමාවට ගලකින් ගහලා ප්‍රතිමාවට කිසිම හානියක් නොවෙන්න වීදුරුව විතරක් කඩලා ඒ ගල ඒක උඩින් තියල යාම නිසාම පේනවා මේක සැලසුම් කරපු වැඩක් කියලා. ගුවන් හමුදාව ඒ ප්‍රදේශය රකිනවා. ඒත් පොලීසිය ආමි එක දාලා මේව තවත් ශක්තිමත් කරන්න ඕනෑ. පියතුමන්ලාගේ හා මිනිසුන්ගේ ඉල්ලීම ඒකයි” වෛද්‍ය කාවින්ද ජයවර්ධන කතාකළේ ඉතා හැඟුම්බරවය.

“කළ හැකි සියළුම දේ කරනවා” අගමැතිවරයාගේ ප්‍රතිචාරය එය විය.

“අර හිස්බුල්ලගේ විශ්ව විද්‍යාලෙට පිටරට සල්ලි ආපු හැටියි, එයා නියෝජ්‍ය ඇමතිකම් කරමින් ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරපු හැටියි, මහන්සිවෙලා අපේ පාර්ලිමේන්තු කාරක සභාව හොයාගත්ත විස්තර බොරුයි කියලා ජනමාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමෙනුයි හිස්බුල්ලා ඉතා නරක පූර්වාදර්ශයක් රටට දෙනවා. ආණ්ඩුවක් හැටියට අපි මෙතනදී පරිස්සමින් කටයුතු කරන්න ඕනෑ.” මහාචාර්ය ආංශු මාරසිංහ කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළවිය.

“සාගල කබීර් ඇමතිල රහසේ ගිහින් ගෝඨාබය එක්ක ඩීල් දාල කියලා රාජ්‍ය ඇමති නිරෝෂන පෙරේරා කරන චෝදනාව ගැන අගමැතිතුමාගෙ අවධානය යොමුවීම වැදගත්” එජාප නීති නිළධාරියෙකු කීවේය.

“සාගල ගෝඨාබයගෙ සුවදුක් විමසන්න කතාකළාම එන්න කියල තියනවා. එයා මට කියලයි ගියේ” අගමැතිවරයා කීය.

“සාගල එහේ යනකොට එජාප සභාපති කබීර් එතන ඉඳල මාට්ටු වෙලා නේද? ගෝඨාභය දෙන්නට දෙන්න මුණගැහෙන්න එකම වෙලාවට එන්න කියල පොඩි ගේම් එකක් ගහල වගෙයි පේන්නෙ. ඒ වගේම මේ සිද්දිය ජනමාධ්‍ය වලට ලීක් කළේ ඇමතිවරු දෙන්නගෙන් කවුද කියලයි දැන් හැමෝම අහන්නෙ.” එජාප නීති නිළධාරියෙක් කී විට සියළුදෙනාම කොක්හඩලන්නට විය.

“නිරෝෂන් පෙරේරා කතෝලික ඡන්ද වලට විතරක් කතා කරලා මුස්ලිම් ඡන්ද නැතිකර ගන්නවා. එයා තනි ගේමක් ගහන්න යන එකේ අවාසිය ඔහුටමයි. ඔහු ආණ්ඩුව අපහසුතාවයට ලක්වෙන ප්‍රකාශ නිකුත් කිරිමත් පාක්ෂිකටන්ට එච්චර දිරවන්නෙ නෑ.” අරලියගහ මැදුරේ ඉහළ නිළධාරියෙක් කීවේ එවැන්නකි.

“ඊළඟ ජනාධිපතිවරණෙට කලින් කාගේත් එකඟත්වයෙන් මහ මැතිවරණයක් එන්නත් පුළුවන් කියල කතාවක් යන්වා. මොන ඡන්දෙ ආවත් මේ පාර මාර යුද්ධයක් තියේවි. ඒ නිසා පහසුවෙන් දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් දාන්න ඕන කියලයි පාක්ෂිකයො කියන්නෙ” ලක්ෂමන් කිරිඇල්ල මෙන්ම එහි සිටි මැති ඇමතිවරු හා පසුපෙළ මන්ත්‍රීවරුන්ද කීවේ එකම අදහසකි.

“මම පොඩි සමීක්ෂණයක් කරල තියනවා. කොච්චර සිංහල බෞද්ධයෙක් වුණත් ජනපතිවරණෙකදි එයාල ඡන්දෙ දෙන්නෙ රටේ දෙවැනි වැඩිම ඡන්ද සංඛ්‍යාවක් තිබෙන දෙමළ අය ඡන්දය දෙන විදිය ගැන අධ්‍යනය කරලයි. ඒ වගේම මුස්ලිම් පක්ෂත් බොහෝවිට තීන්දුවකට එන්නේ දෙමළ ඡන්ද ක්‍රියා කරන දිහා බලලයි. මොකද සුළු ජාතික පක්ෂ නැතුව කිසි කෙනෙකුට ජනපතිවරණයක් දැන් දිනන්න බෑ. පරදින පැත්තකට ඡන්දෙ දීල ඡන්දෙ නාස්ති කරගන්න බුද්ධිමත් සිංහල මිනිස්සුත් කැමති නෑ. යථාර්ථය ඒකයි” එජාප සංවර්ධන සන්නිවේදන අංශ ප්‍රධානී නීතිඥ සුදර්ශන ගුණවර්ධන කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පලවිය.

“ඒ කතාව හරි. 2015 දී එජාප නොවන මෛත්‍රීට සියළු සුළු ජාතික ඡන්ද අරන් දෙන්න මූලික වුණේ අගමැතිතුමායි. ඒ නිසා එජාපෙ අපේක්ෂකයා රනිල්ද, සජිත්ද, කරූද, කවුරු වුනත් අගමැතිතුමාගෙ සහයෝගය නැතුව ජයග්‍රාහී මාවතකට පාර හදාගන්න අමාරු වේවි. ඒ උපාය මාර්ගය අනුගමනය නොකලොත් සුළු ජාතික පක්ෂ හා ඒ ඡන්ද විසිරිලා යාමේ යම් අනතුරකුත් තියනවා.” අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩි කළ විග්‍රහයටද එහි සිටි සියළු දෙනාගේ ඉහළ ප්‍රතිචාර ලැබිණ.

“දේශපාලන පලිගැනීම් නිසා අවුරුදු 20කට වඩා බැටකාපු මිනිස්සුන්ට වන්දි දීම ආරම්භ කිරීම ලොකු දෙයක්. රුපියල් දශලක්ෂ 1000 කට වඩා ඒකට වෙන් කරල තියෙනවා” චමින්ද විජේසිරි කීය.

“ජාතිවාදය, ආගම්වාදය හා දේශපාලන පලිගැනීම් නැති රටක් බිහිකළ යුතුයි කියලා අගමැතිතුමා කී කතාව මිනිස්සු අගය කරනවා.” හේෂා විතානගේ කීවේ එවැන්නකි.

“ආණ්ඩු විරෝධී ලෙස බන්දුල ගුණවර්ධන ලියපු පොත් 5 ක් මහින්දගෙ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමේ උත්සවයට ජාතික රූපවාහිනිය විශාල ප්‍රචාරයක් දුන්නා. අද තියන මාධ්‍ය නිදහස එයයි. එදා මෙහෙම කළා නම් රූපවාහිනියෙ ඔක්කොටම ගෙදර නෙවෙයි,  සුදු වෑන් එකකින් වෙන කොහේ හරි තමයි යන්න වෙන්නේ. හැබැයි අපි මෙවැනි මාධ්‍ය නිදහසක් දීපු එක අපේ හොඳකමට වඩා ගොන්කම බවයි මිනිස්සු නම් කියන්නේ” මහාචාර්ය ආශු මාරසිංහ කී විට අගමැති ඇතුළු සියළු දෙනා කොක් හඬ ලන්නට විය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *