මරණ දඬුවම අහෝසි කිරීමේ පනත නිත්‍යානුකූල බව තීන්දු කිරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මරණ දඬුවම අහෝසි කිරීම සඳහා මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ ඉදිරිපත් කරනු ලැබීය. මහාචාර්ය කමිනා ගුණරත්න විසින් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත. ඉහත කී පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බව තීන්දු කොට ඒ බව කතානායක කරු ජයසුරිය මහතා වෙත දැනුම් දෙන ලෙස එම පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කොට ඇත.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත මගින් මේ රටේ මරණ දඬුවම පැනවීම අහෝසි කොට ඒ වෙනුවට ජීවිතාන්ත සිර දඬුවමක් නියම කිරීමට යෝජනා කොට ඇත. එමෙන්ම දැනට මරණ දඬුවම පනවා ඇති සිරකරුවන් සියලු දෙනාගේ දගඩුවම් ජීවිතාන්ත සිර දඬුවම් ලෙස වෙනස් කිරීමට ද මෙම පනත මගින් යෝජනා කොට ඇත.

අදාළ පනත ස්ථාවර නියෝග අත්හිටුවා ගැසට් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කළ අතර දැන් එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කොට ඇත.

මෙම පනත නීත්‍යානුකූල නොවන බව නීතිපතිවරයා තමන්ට දැනුම් දුන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය දා ප්‍රකාශ කළේය. පනත නීත්‍යානුකූල බව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බව ප්‍රකාශ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් වන්නේ ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන් පසුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *