දිවයින පුරා රෝහල්වල 45,000ක් හෙට වැඩවර්ජනයක – සමන් රත්නප්‍රිය

සෞඛ්‍ය සේවා වෘත්තිය වේදින්ගේ එකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 16ක් හෙට (අගෝස්තු 8) දා පැය 24 ක සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව අතුරු වෛද්‍ය සේවා බල මණ්ඩලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (6) කොළඹ පැවති පුවත්පත් සාකච්ඡාවක දීය. එහි දී රත්නප්‍රිය මහතා වැඩි දුරටත් මෙසේ ද කීවේය.

“අපි අගෝස්තු 8 වෙනිදා පැය 24 ක සංකේත වැඩවර්ජනයක් කරන්න බලාපොරොත්තු වෙනව. ඒ වැඩවර්ජනය සඳහා හෙද සේවාව, පරිපූරක සේවාව, අතුරු වෛද්‍ය සේවාව නියෝජනය කරන වෘත්තීය සමිති 16ක  45,000ක වගේ ප්‍රමාණයක් මෙම වැඩවර්ජනයට එකතු වෙන්න නියමිතව තියෙනව. මෙම වැඩවර්ජනය මධ්‍යම රජයේ සියලු රෝහල්වලත් පළාත්සභාවල සියලු රෝහල්වලත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  කාර්යලවල ඒ වගේම ප්‍රජා සෞඛ්‍ය සේවාව තුළත් හා සෞඛ්‍ය අමාත්‍යංශයට අදාළ සෞඛ්‍ය ආයතනවලත් ක්‍රියාත්මක වෙන්න නියමිතව තියෙනව.

වැඩ වර්ජනයට හේතුවෙන්නෙ මූලික ඉල්ලීම් 10ක් මුල්කරගෙන. මේ ඉල්ලිම් පිළිබඳව අපි සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ක සාකච්ඡා කෙරුවා. වැටුප් කොමිසම සමග සාකච්ඡා කෙරුවා. භාණ්ඩාගාරයෙන් සාකච්ඡාවක් ඉල්ලුවා නමුත් ඒ සාකච්ඡාව ලැබුණෙ නැහැ. ඒක නිසාම අපිට සිද්ධවෙලා තියෙනව වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන්න.

අපි මේ ඉල්ලීම් ගැන මූලික අදහසක් ප්‍රකාශ කළොත්, අපි ඉල්ලනවා උසස් වීමට අදාළ විෂමතා නිරාකරණය කරන්න කියලා. වැටුප් විෂමතා නිරාකරණය කරන්න කියලත් කියනව. ඒ වගේම අපි ආණ්ඩුවට කියනව රනුක් ගේ කමිටු වාර්තාව සංශෝධන සහිතව ක්‍රියාත්මක කරන්න කියල. හෙද සේවක පරිපූරක අතුරු වෛද්‍ය උපාධිධාරීන්ට වෘත්තිමය උපාධි වැටුප් තලයක් දෙන්න කියලත් අපි ඉල්ලනව. ඒ වගේම කාර්ය සාධනය අනුව වසර 12න් පළවෙනි ශ්‍රේණිය ඉල්ලමින් ඉන්නව. අතිකාල දීමනා ප්‍රශ්න, අනිකුත් දීමනා ප්‍රශ්න සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි ඉදිරිපත් කරල තියෙනව. ඒවගේම අපි කියනව සෞඛ්‍ය පරිපාලන සේවාවක් ස්ථාපිත කරන්න කියල. ඒක හරි වැදගත් කාරණයක්. මේ ඉල්ලීම් තමයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශ්‍යට ඉදිරිපත් කළේ. සාකච්ඡා කළේ. මේවාට අවසාන උත්තරයක් දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය සමත් වෙලා නෑ.

එක කාරණයක් කිව්වොත් උසස් වීම් පටිපාටියට අදාළ ප්‍රශ්නය; අද හෙද සේවාව, පරිපූරක වෛද්‍ය සේවාව, අතුරු වෛද්‍ය සේවාව ගත්තොත්, උසස් වීම් ක්‍රියාත්මක වෙන්නෙ වසර දහයෙන් දහයට. ආරම්භක ශ්‍රේණියේ ග්‍රේට් ත්‍රි (3)  නර්ස් කෙනෙක් ග්‍රේට් ටූ (2) යන්න අවුරුදු දහයක් ඉන්න ඕනැ. ග්‍රේට් ටූ (2) වල ඉඳලා වන් (1) වලට යන්නත් තව අවුරුදු දහයක් ඉන්න ඕනැ. වන් වල ඉඳලා අධි ශ්‍රේණියට යන්න තව අවුරුදු 10ක් ඉන්න ඕනැ. වසර 10න් 10න් තමයි උසස් වීමේ පටිපාටිය ක්‍රියාත්මක වෙන්නෙ.

අපේ රටේ වෛද්‍යවරයෙක් ගත්තොත් එයාගෙ පළවෙනි උසස් වීම අවුරුදු දෙකෙන් ලැබෙනව. එයට දහයක් ඉන්න ඕන වෙන්නෙ නැහැ. ඊළඟ උසස්වීම හම්බවෙනව අවුරුදු හතෙන්. අනිත් වෛද්‍ය සේවාවන් සඳහා ගත්තොත් ලැබෙන්නෙ අවුරුදු 10න් 10යට. මේකෙ බැලූ බැල්මටම අසාධාරණයක් තියෙනව.

කැබිනට් මණ්ඩලය ගිය මාසේ අනුමත කළා පළවෙනි උසස් වීම වසර හයෙන් දෙන්න. ඊළඟ උසස් වීම වසර හයෙන් දෙන්න කියලා දීප ව්‍යප්ත සේවාවන් 18කට. ශ්‍රී ලංකා පරිපාලන සේවාවට, ගණකාධිකාරි සේවාවට, ඉංජිනේරු සේවාව, පසුවෛද්‍ය සේවාව වැනි සේවාවන් දහඅටකට පළවෙනි උසස් වීම අවුරුදු හයෙන් දෙන්න කියල. ඊළඟ උසස්වීම නැවත හයෙන් දෙන්න කියල. අපි දහයෙන් ගන්න එක ඒ ගොල්ල හයෙන් හයෙන් ගන්නව. අපිට 20ට උසස් වීම් දෙකයි. එයාලට 18කට උසස්වීම් තුනක් ලැබෙනව. අපි වැටුප් කොමිසමට ගිහිල්ලා කිව්වෙ රාජ්‍ය සේවාවේ සියලුම වෘත්තීය සේවාවන්වලට ඒක ක්‍රියාත්මක කරන්න කියල. කැබිනට් මණ්ඩලය ඒ සම්බන්ධව තීන්දුවක් අරගෙන නැහැ. දීප ව්‍යාප්ත සේවාවන් වලට විතරයි ඒ අවස්ථාව දීල තියෙන්නෙ. මේක අසාධාරණයි.

මේ විෂමතාවය අයින් කරන්න කියලා කිව්වට පරිපාලන සේවාව ඇහුන්කම් දෙන්නෙත් නෑ. මුදල් අමාත්‍යාංශය ඇහුන්කන් දෙන්නෙත් නෑ. සෞඛ්‍ය ඇමතිවරයාට අපේ ඉල්ලීම ඉදිරිපත් කරල තියෙනව. එම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට යොමු කරල තියෙනව. යොමු කරපු කැබිනට් පත්‍රිකාවට අද වෙනකම් උත්තරයක් නෑ.

මේ ඉල්ලීම් ඇතුළු සාධාරණ ඉල්ලීම් රැසක් පදනම් කරගෙනයි මේ සංඛේත වැඩවර්ජනය කරන්නෙ.

මනෝජ් රූපසිංහ    

Leave a Reply

Your email address will not be published. Required fields are marked *