ජනාධිපති අපේක්ෂක සූදු කෙළිය : පළමුව එළුවාගේ බෙල්ල කපා දෙවනුව මුට්ටිය බිඳීම – බිනර දන්තුරේබණ්ඩාර

ජනාධිපතිවරණ ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවති ජනාධිපති මැතිවරණ අතරින් ජනතාව වඩාත්ම උනන්දු වුජනාධිපති මැතිවරණයවුයේ පසුගිය 2015 ජනාධිපතිවරණය ය.

රාජපක්ෂ පාලනයේ දෙවන වටය නිමාවීමටත් පෙර ඊළඟ ජනාධිපතිවරණය ගැන ජනතාව දැඩි උනන්දුවක් දැක්වු බව පැහැදිලිවම ප්‍රකට වූ කාරණකි. එයට හේතුව එවකට ජනාධිපති තනතුර හෙබවූ මහින්ද රාජපක්ෂගේ අත්තනෝමතික හා දූෂිත පාලන තන්ත්‍රය ජනතාවට වහ කදුරුමෙන් තිත්ත වී තිබූ හෙයිනි. මානව හිමිකම්, මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය දිනෙන් දිනම උල්ලංගනය වු තත්ත්වයක ජනතාව වීදි අරගල සඳහා පාරට බැසීමට යොමු වීමට පෙළඹෙන සමයක තම ධුර කාලය අවසන් වීමට වසර දෙකක් පමණ පෙරාතුව ජනාධිපතිවරයා විසින්ම ජනාධිපතිවරණයක් කැඳවන ලෙස නිර්දේශ කරන ලදී.

හිටපු ජනාධිපතිවරයා අපකීර්තියට පත් වූයේ තනිකරම ඔහුගේ ක්‍රියාකාරීකම් වලින් පමණක් නොවේ. එයට හේතුව එවකට සහෝදර සමාගම නමින් හැඳින් වු ජනාධිපතිගේ සහෝදරයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙනි. එයිනුත් ඉදිරියෙන්ම සිටියේ ගෝඨාභය රාජපක්ෂය ය. එම තත්ත්වය කොතෙක් ද යත් ලංකාව මීනි කන්නන්ගේ දේශයක් මෙන් විය. රජයට ජනතාව අහිමී වු අතර රටට ජාත්‍යන්තරය අහිමිවිය. එපමණක් නොව රාජපක්ෂ පුත්තුන් මෙන්ම සමීප ඥාතිහිතවතුන් ද මේ තත්ත්වය නිර්මාණය කිරීමට බොහෝ සෙයින් දායක වූහ.

නාමල්ලාගේ කාර්රේස් උමතුව, ලැම්බොගිනි සංස්කෘතිය, බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වැනි දළදා මාලිගාවේ උත්තරීතර බව කෙලෙසන විගඩම් ද මාධ්‍යවේදීන් මහමග හමුදා බැරියර් සහිත අධිආරක්ෂක කලාපයක ඝාතනය වීම, ප්‍රගීත් එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම, ඇතැම් මාධ්‍යවේන් ගේ අතපය කඩා ඔත්පල කිරීම, උදයංග වීරතුංගලාගේ මිග් යානා ගනුදෙනු, ආදර පලහිලව්වලට ක්‍රීඩකයන් ඝාතනය, අල්ලස, කොමිස් ගැහිලි ආදි නොයෙක් කරුණු එයට හේතුවිය. මේ හේතුවෙන් එම මහ රාජපක්ෂ, බැසිල්, ගෝඨාභය, නාමල් ඇතුළු ඒ රාජපක්ෂ පාලන සංයුතිය හඳුන්වනු ලැබුවේ රාජපක්ෂ රෙජිමය නිමිනි. එම තත්ත්වය තුළ රාපක්ෂ ජනාධිපතිවරයාත්, එම ආණ්ඩුවත් පෙරළා කඩිනමින් යහපාලන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට රටේ ජනතාවට බරපතළ ඕනැකමක් විය.

ඉහත කාරණා හේතුවෙන් රාජපක්ෂලාට මුහුණ දීමට හැකි පොදු අපේක්ෂකයෙක් සෙවීමේ දී, කරළියට එන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු අගමැතිවරුන් හා ජනාධිපතිවරන් බිහිකළ ශ්‍රී ලංකා නිදහස්පක්යේ මහ ලේකම් තනතුර දැරූ මෛත්‍රිපාල සිරිසේන නමැති චරිතයයි. එය එකල විශාල ප්‍රසිද්ධියක් ලැබූ පුවතක් මෙන්ම විශ්මය දනවන පුවතක් ද විය.  

මේ වන විට දැන් අපි තවත් ජනාධිපතිවරණයක එළිපත්තේ සිටිමු. ජනාධිපතිවරණකදී චන්දදායකයා, මාධ්‍ය, මෙන්ම දේශපාලන විචාරකයන් වඩාත්ම උනන්දුවෙන කාරණා කිහිපයක් ඇත. ඉන් පළමුවැන්න එම මැතිවරණයට ඉදිරිපත්වන පක්ෂ කුමක්ද යන්නයි. දෙවැන්න ඒ ඒ පක්ෂ ඉදිරිපත් කරන අපේක්ෂකයන් කවුරුන්ද යන්නයි. තෙවැන්න ඒ ඒ පක්ෂවල ප්‍රතිප්‍රත්ති ප්‍රකාශනවලින් පැවසෙන්නේ මොනවාද යන්නයි.

එහෙත් එළඹෙන 2020 මැතිවරණයේ දී ඉහත කරුණු ගැන ඒ ඒ පක්ෂ අභ්‍යන්තරයේ බරපතළ ගැටළු හා ගැටුම් ඇතත් ජනතාවට ඇත්තේ උපේක්ෂා සහගත හැඟීමකි. දැඩි පාක්ෂිකයන් හැරුණු විට මදිහත් පාක්ෂිකයන් මෙන්ම පොදු ජනතාව ඒ දෙස බලන්නේ උපහාසාත්මක බැල්මකිනි.

දේශපාලන පක්ෂ නායකයන් යනු මැතිවරණවලට තරඟ කොට අනාගතයේ රට බාර ගැනීමට බලාපොරොත්තු වන්නා වූ උගත් බුද්ධිමත් දැක්මක් ඇති පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් විය යුතුය. එහෙත් රටේ අනාගතය නොව තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා හෝ පක්ෂයේ අනාගත ගමන්මග මෙන්ම තමන්ගේ අනාගත ගමන්මගවත් හරියාකාරව තේරුම් බේරුම් කරගැනීමට නොහැකි පිරිසකට රටකට නායකත්වය දිය හැකිද? අද සබුද්ධික ජනතාව හිතන්නේ එහෙමය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සෙසු පක්ෂත්, කුඩා දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ද, රටේ කීර්තිමත් හිමිනමක්ව වැඩවිසූ අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන රැසකුත්, මධ්‍යස්ථ ජනතාවත් මහත් අභියෝගවලට මුහුණ දෙමින් මහත් කැපවීමකින් පත්කර ගත් පොදු අපේක්ෂකයා සිය යුතුකම් කොටස හරියාකාරව ඉටුකළා ද? යන්න විමසා බැලීම, මෙම තත්ත්වය විග්‍රහ කිරීමේදී වැදගත් සාධයකි.

ජනාධිපතිතුමා හා යහපාළන ආණ්ඩුව අවබෝධයකින් යුතුව හරියාකාරව කටයුතු කළා නම් අප රටට මුහුණ දී මට සිදු වූ බොහෝ අපදාවන්ගෙන් රට මුදවාගෙන රට මීට වඩා සෑහෙන ඉදිරියකට ගෙනයාමට හැකියාව තිබුණු බව හොඳාකාරවම පැහැදිලිය. එහෙත් යහපාලන ආරම්භ කර වසරකින් පමණ පසුව සිට සහරාන්ලාගේ බෝම්බ වලින් අහිංසක ජනතාව සිය ගණනින් ජීවිතක්ෂයට පත්වෙනතුරුත්, අද දක්වාත් ඒ තත්ත්වය එසේමය. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර එකඟතාවයක් නැත. සරලව කිවහොත් ජනාධිපති හා අගමැති සිටින්නේ දෙපැත්තකය.

මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට සිටි මහ ලේකම් තුමා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ආප්ප භුක්ති විඳ එතනින් මඟහැර පැමිණීමට සැරසෙන විට හිටපු ජනාධිපතිතුමා අසා තිබුණේ ‘මෛත්‍රි තනියම ගමනක් යන්නද ලෑස්ති වෙන්නෙ? කියාය. එදා විතරක් නොව යහපාලනයක් ගෙනයන බව ජනතාව ඉදිරියේ සපථ කළ ඔහු මේ දක්වා ගියේත් අද යන්නේත් තනි ගමනකි. හෙට දින යන්න හදන්නේද තනියම ගමනකි. කණගාටුව නම්, ඒ තනි ගමනේ දී රටට අත්කර දුන් දෙයක් නැති අතර එතුමා අත්කරගත් දෙයක් ද (කීර්තියක්) නැති වීමය. ඒ තනිගමනේ දී එතුමා නෙලා ගත් සාර්ථක අස්වැන්නක් තිබේ නම්, ඔහු මෙවර ජනාධිපතිවරණයට තනිව හෝ ඉදිරිපත් වී ගිය වරට වඩා ඡන්ද ප්‍රමාණයකින් බලයට පත්විය යුතුය. අද එතුමාට සිදුවී තිබෙන්නේ එතුමා බලයට පත්වීමේ දී ප්‍රතිවාදි පිළේ අපේක්ෂකයා වු මහින්ද රාජපක්ෂලාගේ පොහොට්ටුව ඇතුළත් සංධානයකින් අපේක්ෂකත්වය බලෙන් උදුරාගැනීමටය. නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද ගොඩ පරදුවට තබා අපේක්ෂකත්වය ඉල්ලා ගැනීමටය. තමාට ද්‍රෝහිකම් කළ පුද්ගලයාට අපේක්ෂක කම දීමට රාජපක්ෂලා කැමති වෙනු ඇතැයි කිසිසේත් සිතිය නොහැකිය.   

අනිත් අතින් රාජපක්ෂලාගේ පොහොට්ටුවට ද තම අපේක්ෂකයා තෝරාගැනීමට කැට සූදුවක් (ටොම්බෝල සූදුවක්) කෙළීමට සිදුව තිබේ. කැට පහක් බඳුනකට දමා සොලවමින් මේ දවස්වල මහ රාජපක්ෂ තම ජනාධිපති අපේක්ෂක සූදුව කෙළමින් සූදු පොළට ජනතාව ඒකරාශි කරමින් සිටියි. ‘‘ආ එන්න ආ එන්න තව තියාගන්න, තව තියාගන්න, ගියොත් ටිකයි. ආවොත් ගොඩයි. ඕන කොටුවකින් තියාගන්න. චමල්, බැසිල්, ගෝඨා, ශීරන්ති, මෛත්‍රි ඕන කොටුවකින් තියාගන්න. කොටු පහයි. ඔන්න වහන්නයි හදන්නෙ, එනි මෝ බෙට්ස්? බෙට් ක්ලෝස් කරන්නයි යන්නේ,11 වැනිදට අරින්නේ එදාට බලා ගන්න පුළුවන් කවුද දිනන්නේ කියලා. කියා කෑගසමින් සිටියි. දිනනු රිස්සෝ සූදු පිටිය වටා රොක්වෙති. ප්‍රසන්න, රෝහිත ඇතුළු පිරිසක් ඔට්ටු තබන්නේ ගෝඨාභයගේ කොටුවේය. එතන සද්ද බද්ද වැඩිය. වැඩි ඔට්ටු චමල්ගේ කොටුවට වැටුණත්, එතනට ඔට්ටු දාන පිරිස සද්ද බද්දයක් නැත. ඉඳහිට සද්දයක් දාන්නේ කුමාර වෙල්ගමය. සූදුව ගැන දන්නකෙනා ආදුනිකයා මෙන් කෑගසන්නේ නැත. ශීරන්තිටත්, බැසිල්ටත් නරකක්ම නැත. මෛත්‍රිගේ කොටුවට ඔට්ටු වැටෙන්නේම නෑ කියා කියන්න බැරිය. දකුණේ අමරෙලා, කුරුණෑගල දයාසිරිලා ගෙන් ඔට්ටුවක් දෙකක් වැටෙයි. සූදු කෙළිම පූජක පක්ෂයට අකැපය. ඔවුන් කරන්නේ පිටුපස සිට සූදු කෙළින්නන් උසිගැන්වීමය. ජනාධිපතිවරණ අපේක්ෂක සූදු කෙළිය ඔහොමය. මේ දෙස බලා සිටින පොදු ජනතාව හිතන්නේ තම අපේක්ෂකයා කෙළින් නම් කිරීමට බැරි මොවුන් ජනාධිපතිවරණය දිනාගන්නේ කොහොමද? රට කරවන්නේ කොහොමද? කියාය.

පාලන බලයේ සිටින එජාප සංධානයට ද තම අපේක්ෂකයා මේ යැයි රටට හඳුන්වා දීමේ හැකියාවක් අද වනතුරුත් නොමැත. ඒ වෙනුවට නිර්මාණය වී ඇත්තේ අපේක්ෂකත්ව පොරයකි. මේ අපේක්ෂක පොරය නිසා එක්සත් ජාතික පක්ෂයත් සෙසු පක්ෂත් ඇති කර ගැනීමට සැලසුම් කළ ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණ අවුලකට පත්වී තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන න්‍යායපත්‍රය වුයේ 2025 ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වී ජයග්‍රහණයකර ජනාධිපතිවීම බව ඔහුගේ ගමන්මග විමර්ෂණය කරන්නෙකුට මනාව වැටහෙන කාරණයකි. ඒ බව ඔහු විසින් ද කීපවතාවක් ව්‍යංගයෙන් ප්‍රකාශකර තිබුණි. එහෙත් කොහෙන්දෝ පැමිණි අකල් වැස්සක් ඔළුගෙඩියට පාත්වීමෙන් දෝ ඔහු හිටිගමන් තමා මෙවර එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා යන අදහස ගම්‍යවන පරිදි හැසිරෙන්නට විය.

දේශපාලන ආරංචි ප්‍රකාශ කරන පරිදි මෙන්ම, සජිත් නියෝජනය කරන පක්ෂයේම දේශපාලඥයන් ප්‍රකාශ කරන පරිදි සජිත්ගේ ජනාධිපති අපේක්ෂකත්ව ඕනෑකම පිටුපස සිටින්නේ මෛත්‍රිපාල සිරිසේනය. ඔහුට ඕනෑ වී තිබෙන්නේ තමාට අපේක්ෂකකම නොලැබේනම් සජිත් වයින්කර අපේක්ෂක පොරයට දමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද ඡන්ද ද සජිත්ට ලබාදුන් විට සජිත්ට තනිවම වුවද ජයගත හැකි බවට මනස සැකසීමය.

අනුන්ගේ ඉගැනුම්බස් ගෙඩිය පිටින්ම බාර ගන්නා බද්ධිමතෙක් නොවේ. අන්දවන්නට හැදු පමණින් ඇඳගත යුතු ද නොවේ. එහෙත් සජිත් අපේක්ෂකයාට ඇඳගැනීම නිසා එජාප ය පමණක් නොව ඇති කරගැනීමට සැලසුම් කළ ප්‍රජාතන්තුවාදි ජාතික පෙරමුණ ද අද වන විට තරමක් බකල් වී තිබේ. 5 වැනි දා සුගතදාස ගෘහස්ත පිටියේ දී පිහිටුවීමට සැලසුම් කර තිබු එම සංධානය දින නියමයක් නැතිව කල්ගියේය.

සජිත් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා (තමා) තෝරා ගැනීමෙන් අනතුරුව සංධානය ගොඩනැගිය යුතුබවය. එය අසාධාරණ ඉල්ලීමකි. එසේ නම් අනෙක් පක්ෂ සංධාන ගත වීමේ තේරුමක් නැත. සංධානයක අපේක්ෂකයා තෝරාගත යුත්තේ සංධානයේ හැම පක්ෂයකම නියෝජනයක් ඇතිවය. හැම පක්ෂයකටම එකඟවිය හැකි අපේක්ෂකයාවය.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්ද පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. අප රටේ ජීවත් වෙන්නේ සිංහල බෞද්ධ ජනතාව පමණක් නොවේ. ද්‍රවිඩ මුස්ලිම් ජනතාවගේ ඡන්ද ප්‍රතිශතයද ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ප්‍රබල සාධකයකි. එබැවින් එම පක්ෂවල නායකයන්ට තමා නියෝජනය කරන ජනතාවගේ සාධාරණ අයිතිවාසිකම් ලබා දෙන්නේ යැයි විශ්වාස කරන දේශපාලඥයකු ජනාධිපතිවරණ අපේක්ෂකයා කර ගැනීමට අවශ්‍යය. එබැවින් වඩාත්ම සාධාරණ ක්‍රමය වනුයේ සංධානය පිහිටුවා අපේක්ෂකයා තෝරාගැනීමයි.

සජිත් උසි ගන්වා එජාප සංධානය අවුල් කිරීමට සූදානම් වනුයේ මෛත්‍රිපාල සිරිසේන බව පෙනුනත් එහි අදිසි හස්තය රාජපක්ෂ රෙජිමය වීමට ද බැරි නැත. මන්ද ඔවන්ට සිංහල බෞද්ධ ජන්ද පදනම හැරුණු විට සුළු ජාතින්ගේ පක්ෂවල මෙන්ම, එම ජනතාවගේ ද සහයෝගයක් නැති බැවිනි. මේ ආරවුල් නිසා රවුෆ් හකීම් මහතා පිහිටුවීමට යන සන්ධානයට එක්නොවන බවට ආරංචියක් ඇත.

සූදු පිටිය අවසන් වේගෙන එන විට එහි සිටින සූදු කෙළා පැරදුනු කෛරාටිකයන්‘ඔන්න පොලීසියෙන් එනෝ කියා බොරුවට කෑ ගසා  පිටියේ සල්ලිටික සුද්ද කරගෙන දුව යෑම සිදුවෙන්නෙකි. මුට්ටියට ඔළුව දමා ඔළුව හිර කරගත් එළුවාගේ පළමුව බෙල්ල කපා දෙවනුව මුට්ටිය බින්ඳවිට එළුවාගෙන් ද මුට්ටියෙන් ද ප්‍රයෝජනයක් නැත.

බිනර දන්තුරේබණ්ඩාර        

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *