කොට්ට මාරුව

නරලොව සිට නරසිංහ වාර්තා කරයි

අපේ මෛත්‍රී මහත්තයා කොයි දේට නැතත් එක දේකට නම් දක්ෂ බව ආයෙමත් ඔප්පු කරලා තියෙනවා යැයි ඉස්කෝලේ මහත්තයා කී විට විට, ඉස්කෝලේ මහත්තයා ඔය කියන්නේ කොයි මෛත්‍රී මහත්තයා ගැන ද කියා මුදලාලි ඇසුවේය?

කොයි මෛත්‍රී මහත්තයා ද කියලා මුදලාලි අහන්නේ මොකද? අපිට මෛත්‍රි මහත්වරු දෙතුන් දෙනෙක් ඉන්නවද? මම කීවේ අපේ සිරිසේන මහත්තයා ගැන කියා ඉස්කෝලේ මහත්තයා කීවේය.

ඒක මිසක් මම හිතුවේ අපේ ගුණරත්න මහත්තයා ගැනවත් කීවාදෝ කියලයි කියා මුදලාලි කීවේය.

මම කීව කාරණේට ගුණරත්න මහත්තයත් අදාළයි කියා එවිට ඉස්කෝලේ මහත්තයා කීවේය.

ගුණරත්න මහත්තයත් අදාල මෛත්‍රී මහත්තයාගෙ දක්ෂකම මොකක්ද කියා එවිට මුදලාලි ඇසුවේය,

වෙන මොකක්ද ඉතින් ඉරුවාරදයට කොට්ට මාරු කිරීම තමයි කියා ඉස්කෝලේ මහත්තයා උත්තර දුන්නේය.

ඉරුවාරදයට කොට්ට මාරු කිරිල්ලයි, මෛත්‍රී මහත්තයයි අතරෙ සම්බන්දෙ මොකක්ද කියා මුදලාලි ඇසුවේය.

මධ්‍යම මෛත්‍රී ඌවට ඇද්දා. දකුණෙ කීර්ති මධ්‍යමට ඇද්දා. කොහෙද හිටපු හේමාල් දකුණට දැම්මා. ඉරුවාරදයට කොට්ට මාරු කළා. ඉස්කෝලේ මහත්තයා කීවේය.

ඉස්කෝලේ මහත්තයා කියන්නේ ඒ ගැන නම් මෛත්‍රී මහත්තයා කොට්ට මාරු කළේ බොහොම කාලෙක ඉඳලා’ යි කියා එවිට මුදලාලි කීවේය.

මුදලාලි කොහොමද එහෙම කියන්නෙ කියා එවිට ඉස්කෝලෙ මහත්තයා ඇසුවේය.

ටිම්බර් කෝපරේෂන් එකේ අල්ලස් කාරයා වෙනුවට කෑගල්ල පැත්තෙ තවත් ඒ ජාතියේම කෙනෙක් ටිම්බර් කෝපරේෂන් එකට රිංගවන්න හැදුවා, ඉස්කෝලේ මහත්තයාට මතක නැද්ද කියා එවිට මුදලාලි ඇසුවේය.?

දැනුයි මතක් උනේ වුනේ කියා ඉස්කෝලේ මහත්තයා උත්තර දුන්නේය.

සෙල්ලම් පිස්තෝල කාරයාට සංවිධායක කමක් දුන්නා මතක නැද්ද? කියා මුදලාලි ඇසුවේය .

දැනුයි මතක් වුනේ කියා ඉස්කෝලේ මහත්තයා කීවේය.

සෙල්ලම් පිස්තෝලේ සෙල්ලම ලෙල්ලම වෙලා පිස්තෝල මෑන් දැන් ඉන්නේ කොහෙද කියලා ඉස්කෝලෙ මහත්තයා දන්නවද? කියා මුදලාලි ඇසුවේය .

අවුරුදු 5කට ද කොහෙද මහ උළු ගෙදර පුරපති කමට යැව්වා වගේ මතකයි. කියා ඉස්කෝලේ මහත්තයා කීවේය.

ගුරුවරියක් දණ ගස්සපු හාදයට මෛත්‍රී මහත්තයා මතක හිටින දඬුවම්ක් දුන්නා මතකද කියා මුදලාලි ඇසුවේය.

ඔන්න දැන් තමයි ඒකත් මතක් වුණේ කියා ඉස්කෝල මහත්තයා උත්තර දුන්නේය.

මෛත්‍රී මහත්තයාගේ ඒ දඬුවමෙන් පාඩමක් ඉගෙනගෙන ඌව පැත්තෙ මෑන් කෙනෙක් ප්‍රින්සිපල් කෙනෙක්ව දණ ගැස්සුවා කියලා ඉස්කෝලෙ මහත්තයාට අමතක වීම පුදුමයක් කියා මුදලාලි කීවේය.

මට හොඳ හැටි මතකයි කියා ඉස්කෝලෙ මහත්තයා එවර උත්තර දුන්නේ සිංදුවක කොටසක් මතක් වූ නිසාය.

ඇත්තටම ඉස්කෝලේ මහත්තයා මෛත්‍රී මධ්‍ය මෙන් උතුරට තල්ලු කරලා. දකුණෙ හිටපු කීර්ති මධ්‍යමට දාලා, සිරිසේන මහත්තයා බලාපොරොත්තු වෙනවා ඇත්තේ මොකක්ද කියා මුදලාලි ඇසුවේය.

දකුණේ පාසල් පද්ධතිය යහපාලන මාවතට ගත්තු ආකාරයට මධ්‍යම පළාතේ පාසල් පද්ධතියත් යහපාලන මාවතට ගන්න සිරිසේන මහත්තයාට උවමනා ඇති ,එහෙමත් නැත්නම් දකුණේ මුහුදෙන් නාපු කීර්ති මධ්‍යම පළාතේ ළිඳකින් ඇද ඇදගෙන නානවා බලන්න හිතුනද කියන්නත් බැහැ. කියා ඉස්කෝලේ මහත්තයා කීවේය .

එක් අතකින් බැලුවම මහින්ද මහත්තයාලා තවමත් සිරිසේන මහත්තයාගේ වටිනාකම් තේරුම් අරන් නැහැ. කියා මුදලාලි කීවේය.

මුදලාලි කොහොමද එහෙම කියන්නෙ කියා ඉස්කෝලෙ මහත්තයා ඇසුවේය .

සිරිසේන මහත්තයාගේ වටිනාකම් තේරුම් ගත්තා නම් ඇමෙරිකාවේ පුරවැසිභාවයත් අයින්කරවගෙන ගෝටා මල්ලි දාන්න උත්සාහ කරයිද/ රත්තරන් ටිකට ඉන්න සිරිසේන මහත්තයා දම්මලා ජනාධිපතිවරණය දිනන්න තිබ්බා නේද කියා මුදලාලි කීවේය.

මහින්ද මහත්තයා ගෝටා මල්ලි ගේන්න උත්සහ කරන්නේ පවුලේ බලය රැකගන්න නෙමෙයි වෙනත් යටි අරමුණක් ඇතිව කියා එවිට ඉස්කෝලේ මහත්තයා කීවේය.

මොකක්ද? ජනාධිපති මල්ලිගේ අගමැති අයියා වෙන්න බලාපොරොත්තුවෙන් ද කියා මුදලාලි ඇසුවේය.

පිස්සුද මුදලාලි ? ගෝඨාභය ජනාධිපති කරන්න මහින්ද මහත්තයා හදන්නේ ඇමරිකානු විරෝධය පන පොවන්න කියා එවිට ඉස්කෝලේ මහත්තයා කීවේය.

ගෝටා ජනාධිපති උනාම ඇමරිකානු විරෝධය ශක්තිමත් වෙනවාද? කියා මුදලාලි ඇසුවේය.

මොකද නැත්තේ? ඇමරිකාවේ තත්වෙ හොඳටම දන්නේ ඇමරිකානු පුරවැසියෝ. ඇමරිකාවේ පුරවැසියෙක් නිසා නිල අල්ලලා ට්‍රම්ප්ට ගහන එක ගෝඨාභයට සිම්පල් හදිස්සියේ ට්‍රම්ප් වරදක් කළොත් ගෝඨාභයගේ ජනාධිපතිකම නැති කරනවා කියාලා තර්ජනය කරන්න වුණත් වීිමල්ට, ගම්මන්පිලට, වාසුට පුළුවන් කියලා ඉස්කෝලෙ මහත්තයා කීවේය.

ඇත්ත නේ නේන්නම්. මට ඔය කාරනාව මතක් වුණේම නැහැ. ප්‍රශ්නේ බරපතළ උනොත් බැසිල්ගේ ඇමරිකන් පුරවැසිකම ඉල්ලලා අස්කර ගන්නවා කියලා ඇමරිකාවට තර්ජනය කරන්නත් විමල්ලට පුළුවනි කියා මුදලාලි කීවේය.

සිරිසේන මහත්තයාගේ වටිනාකම මහින්ද මහත්තයා තේරුම් අරන් නෑ කියලා මුදලාලි කීවේ මොකද ? කියා ඉස්කෝලේ මහත්තයා ඇසුවේය.

දැන් රටේ ඉන්න ජනප්‍රියම නායකයා සිරිසේන මහත්තයා බව මහින්ද මහත්තයාලා දන්නෙවත් නැහැ කියා මුදලාලි කීවේය.

ඇත්තටම සිරිසේන මහත්තයා එච්චරම ජනප්‍රිය ද? කියා ඉස්කෝලෙ මහත්තයා ඇසුවේය.

ඉස්කෝලේ මහත්තයා දන්නෙ නැත්නම් අනුරාධපුරේ පැත්තට ගිහින් බලන්න. සිරිසේන මහත්තයාගේ එල්ලූම්ගහට විතරක් මනාපය 90% කියා මුදලාලි කීවේය.

දැන් ඔය 90% කැමැත්ත දීලා තියෙන්නේ කුඩුකාරයෝ එල්ලනවට ද පාස්කු ප්‍රහාර කාරයෝ එල්ලනවට ද කියා ඉස්කෝලේ මහත්තයා ඇසුවේය.

කුඩුකාරයොයි පාස්කු කාරයෝ ඔක්කොම එල්ලනවාට පෝරකයට විරුද්ධ වුණොත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයත් එල්ලන්න බැරිවෙනවා කියලා සිරිසේන මහත්තයා කිව්වා මතක නැද්ද? කියා මුදලාලි ඇසුවේය.

මුලින් කීවේ කුඩුකාරයෝ එල්ලනවා විතරයි කියලා නේද? කියා ඉස්කෝලෙ මහත්තයා ඇසුවේය.

ඇත්ත ඒක තමයි. සිරිසේන මහත්තයාගේ විශේෂත්වය තැනේ හැටියට ඇණේ ගහනවා. දකුනෙන් වරද්ද ගත්තොත් මධ්‍යමට දානවා. මධ්‍යමෙන් ලෙඩක් දාගත්තොත් ඌවට දානවා. කුඩු ගෙන ආවොත් එල්ලනවා . බෝම්බ ගෙන ආවොත් එල්ලනවා. කොමිෂන් සභාවලින් වැරදිකාරයෝ උනොත් සද්ද නැතුව ඉන්නවා. හැබැයි පොකට් කාරයෙක් වුනත් හිතුනොත් එල්ලුම් ගහට යවනවා කියා මුදලාලි කීවේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *