මහින්දවාදයේ බෙදුම්වාදය – සිරිසේන රාජපක්ෂ

මහින්දවාදීන් මේ මොහොත වනතුරුත් කියමින් සිටින්නේ සුළුජාතීන්ගේ සහයෝගයෙන් තොරව ආණ්ඩුවක් පිහිටුවීම තමන්ගේ අරමුණ බව ය. පවතින සමානුපාත ඡන්ද ක්‍රමය යටතේ මෙන්ම පවතින දේශපාලන වාතාවරණය තුළත් එළඹෙන මැතිවරණයකදී සුළුජාතීන්ගේ හෝ සුළු පක්ෂවල සහයකින් තොරව කවරෙකුට හෝ ආණ්ඩුවක් පිහිටුවිය හැකිද යන්න ගැටළු සහගතය. හයෙන් පහක බලයක් සහිතව (ආසන ක්‍රමය යටතේ) බලයට පත්වූ ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව පමණක් නොව සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ 1978 න් පසුව බිහි වූ සියලුම ආණ්ඩුවලට බලය පවත්වාගෙන යෑමට සුළුතර පක්ෂවල සහය අවශ්‍ය වූ බව මෙහිදී අමතක කළයුතු නැත. ජයවර්ධන සමයේ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා රජුන් තනන්නා ලෙස රෙජිස්ටර් වූයේ ආණ්ඩු පවත්වාගෙන යාමේදී සුළු ජාතික පක්ෂ වලට හිමි වූ බලය හේතුවෙනි

චන්ද්‍රිකා බන්ඩාරනායක ආන්ඩුවට ද සුළුජාතික පක්ෂවල සහය ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විය. ඉන් පසුව බිහි වූ එජාප ආණ්ඩුවට ද තත්වය එසේ මය. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ද මුස්ලිම් සහ දෙමළ පක්ෂ වල සහය ලබා ගත්තේය. ඒ අනුව ගත්කල ඉදිරියේදීද මහින්දට වේවා අන් අයෙකුට වේවා ආණ්ඩු කරන්නේ නම් සුළු ජාතික පක්ෂ අමතක කරන්නට හැකි නොවන බවට කිසිදු සැකයක් නැත.

ඉහත කරුණු එසේ තිබියදී පොහොට්ටු වාදීන් සුළු ජාතීන් පිළිබඳ වෛරී ප්‍රකාශන කිරීමේ අර්ථය විමසා බැලිය යුතුය. ඔවුන්ගේ මතය අනුව සුළු ජාතික ජනතාවට මහින්දවාදී ආණ්ඩුවක් යටතේ සිදු වනු ඇත්තේ සිංහල මහා ජාතික ආණ්ඩුව දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ජීවත්වන්නටය.

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවෙන් සුළු ජාතික පක්ෂ ආණ්ඩුවට සහයෝගය දීම සම්බන්ධයෙන් මහින්දවාදීන් දක්වන අදහස වන්නේ සුළු ජාතික පක්ෂවලට කප්පම් ලබා දී ආණ්ඩුව විශ්වාසභංගය ගොඩ දාගත් බව ය. එසේ නැතිනම් සුළු ජාතික පක්ෂ කප්පම් ලබාගෙන විශ්වාසභංගයේ දී ආණ්ඩුව ආරක්ෂා කළ බවය.

ඉහත කරුණු අනුව ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ සුළු ජාතික පක්ෂ පවතින ආණ්ඩුවට එකතු වීමෙන් හෝ පවතින ආණ්ඩුවට සහාය දීමෙන් තමන්ගේ ගැටලු විසඳා ගැනීමට උත්සාහ දැරීම වරදක්ද යන්නය. එසේම පවතින ආණ්ඩුවකට ( එය මහින්දවාදී, එක්සත් ජාතික පක්ෂ, ජවිපෙ හෝ විය හැකිය) සුළු ජාතිකයන් සහාය ලබාදීම හෝ පවතින ආණ්ඩුවක් සුළු ජාතීන්ගේ සහාය ලබාගැනීම කප්පම් ගැනීමක් හෝ දීමක් වන්නේද යන්නය.

මෙරට පවතින ජන අනුපාතය අනුව මුස්ලිම් හෝ දෙමළ හෝ බහුතර ආණ්ඩුවක් බලයට පත් වේ යැයි අනුමාන කරන්ට හෝ හැකියාවක් නැත. තවත් ආකාරයකින් ගත්කල ප්‍රජාතන්ත්‍රවාදය අනුව රටේ ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වන ආණ්ඩුවක් තමන්ට ඡන්දය දුන්නේ කවුද නොදුන්නේ කවුද යන්න මත පදනම්ව පංගු පේරු පාලනයක් ගෙන යන්නේ නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. ආණ්ඩුවක පැහැදිලි වගකීම වන්නේ ආගම්, භාෂා, දුප්පත්, පොහොසත්, පක්ෂ, පාට භේදයකින් තොරව සියළු ජනතාවට සමව සැලකීම වන නිසාය.

පවතින ආණ්ඩුවක් යටතේ තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට සුළු ජාතික ජනතාව උත්සාහ නොගන්නේ නම් හෝ පවතින ආණ්ඩුව සුළු ජාතික ප්‍රශ්න විසඳීමට උත්සාහ නොගන්නේ නම් එසේ නැතිනම් සුළු ජාතික ජනතාවගේ ප්‍රශ්න විසඳීම ඔවුන්ට අල්ලස් හෝ කප්පන් දීමක් වශයෙන් පවතින ආණ්ඩුව කල්පනා කරන්නේ නම්, සුළු ජාතික ජනතාවට ඇති විකල්පය වන්නේ තමන්ගේම ආණ්ඩුවක් යටතේ තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ දැරීමයි, එහිදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඇල්ලීමේ හැකියාව සුළු ජාතිකයන්ට නැත, මන්ද බහුතර පිරිස සිංහල ජනතාව වන බැවින් කවර තත්වයක් යටතේ වුවද සුළු ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ හැකියාවක් නොමැති බැවිනි,

ශ්‍රී ලංකාවේ ආණ්ඩු බහුතර සිංහල බෞද්ධවාදීව කටයුතු කරන්නේ නම් ඒ අනුව සුළු ජාතිකයන්ට තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට ඇති එකම මාර්ගය වනු ඇත්තේ තම සුළු ජාතික පිරිස බහුතරය ජීවත් වන ප්‍රදේශ වලට තමන්ගේ පාලනයක් බිහිකර ගැනීමේ කර ගැනීම හෙවත් බෙදුම්වාදයක් කරා තල්ලු වීම ය. පොහොට්ටු වාදීන්ගේ ස්ථාවරය අනුව නැවත රට තුල වෙනම රාජ්‍ය සංකල්පය බිහිවීම නවතනු නොහැකි වනු ඇත්තේ එහෙයිනි.

එසේ හෙයින් රටට ආදරය කරන හා රට බෙදීම වළක්වා ගැනීමට අපේක්ෂා කරන කවර ශ්‍රී ලාංකිකයෙකුගේ වුවද දවසේ වගකීම වන්නේ සුළු ජාතික ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් බලයට පත් කර ගැනීම හෙවත් මහින්දවාදය පරාජය කිරීමයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *