ඇවන්ගාඞ් ගිවිසුම අවලංගු කීරීම හරියට හරි – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග .

චන්ද්‍රිකා කුමාරතුංග  ඇවන්ගාඞ්  සමාගම සමග එක්ව මුහුදු ආරක්ෂක කටයුතු කරගෙන යාමට රජය ඇතිකරගෙන තිබූ ගිවිසුම අවලංගු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීන්දුව නිවැරදි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කරයි .මෙම ජාවාරමේ ලාභයෙන් සියයට පනහක් හිටපු ආරක්ෂක ලේකම් ගොටාභය රාජපක්ෂ මහතාගේ සමාගමකට හිමිවන බවත් එතුමිය කියයි . “යුක්තිය” සමග එතුමිය කළ සාකච්චාව මෙසේ පළකරමු .

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ඇවන්ට්ගාඞ් සිද්ධිය පිළිබඳ ජනාධිපතිතුමාගේ තීන්දුව පිළිබඳ ඔබතුමියගේ අදහස කුමක් ද?

මොකද්ද තීන්දුව මම දන්නේ නෑ

ඇවන්ගාඞ් ගිවිසුම අහෝසිකලා කියලා  මාධ්‍යයෙන් වාර්තා වුනා නේ.

ඔය තීන්දුව මං ගන්න කිව්වේ මාස නවයකට කලින්. ඒ තීන්දුව සියයට සියයක් හරි. මාස 9ක් තිස්සේ මම   ඕක කිව්වා.

ඒක හරි කියන්නේ කොහොම ද?

මම අධ්‍යනය කළා  ඕක ගැන. පොලිසිය ඉතාමත් හොඳට, ඉතාමත් ඉක්මනට මාස දෙකක් ඇතුලත, එනම් මාර්තු  වෙනකොට අදාල සියළුම විස්තර හොයාගෙන තිබුණා. රහස් පොලිසිය ඇතුළු පොලිසියේ විවිධ අංශවල ඒ වාර්තා ගෙන්නාගෙන මම අධ්‍යනය කළා.  ඒ කරලා, මම ලිව්වා පිටු දෙකක වාර්තාවක්. මම යෝජනා කළේ ආණ්ඩුවට  පැහැදිළිවම අවන්ගාඞ් ගිවිසුම අහෝසි කරලා මේ කටයුත්ත නාවික හමුදාවට බාර දෙන්න කියලා. මේ නාවික හමුදාවට මේක කරන්න බෑ කියන්නේ බොරු. අපි මේක යසට කෙරුවා. අපි නාවික හමුදාවත්  එකක්ක කථා කළා. ඒ අය කිව්වා කරන්න පුළුවන් කියලා.

ගෝඨාභය රාජපක්ෂ එතකොට හිටපු නාවික හමුදාපතිට බලකරලා, මේක කරන්න බෑ කියලා ලියුමක් ගත්තා. අරගෙන ගොඨාභයයි, මොහාන් පීරිසුයි අධ්‍යක්ෂවරුන් වෙලා රක්නා ලංකා කියලා සමාගමක් හදාගත්තා. අවුරුදු එකහමාරක් මේ රක්නා ලංකා එක මේ බිස්නස් එක කෙරුවේ.  ඊට පස්සේ කවුරුහරි ඒ ගොල්ලන්ගේ මොලේ පාදන්න ඇති මේක සම්පූර්ණනයෙන් නීති විරෝධියි ඒ ගොල්ලෝ හිරේ යන්න පුළුවන් කියලා. ආරක්ෂක ලේකම් වෙලා ඉන්නකොට හමුදාවක් මුදල් හම්බකරපු එකක් අරගෙන, ඒ ගොල්ලන්ගේ සාක්කුවට සල්ලි දාගත්තාම මේක වැරදි කි‍්‍රියාවක් කියලා. ඊට පස්සේ ඉක්මනට මේක වෙන මොකද්දෝ අරමුදලකට දාලා තියෙනවා. ඒත් ඒක භාණ්ඩාගාර අරමුදලට යවලා නෑ. රක්නා ලංකා එක ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගන්නේ ඊට පස්සේ.  නිශ්ශංක සේනාධිපති ගොඨාගේ යාළුවෙක්. එයා ලව්වා අවන්ට්ගාඞ් කියලා  සමාගමක් හදාගෙන ඒ ගොල්ලන් රක්නා ලංකා එකත් එක්ක ගිවිසුමක් ගහනවා. ඒක කරලා තමුසෙලා බිස්නස් එක කරනවා  අපිට සියයට පනහක දෙනවා කියලා තියෙනවා. ලාබයෙන් සියයට පනහක් දෙන්න කියලා ලියලාම තියෙනවා. හැම මාසෙකටම දශ ලක්ෂ 438ක ලාභයක් තියෙනවා.  ඒකෙන් භාගයක් ගොඨාභයගේ සමාගමකට.

අලූත් ආණ්ඩුවේ ඇමතිවරු දෙන්නෙක් අවන්ට්ගාඞ් ගණුදෙනුව නිත්‍යානුකූලයි කියලා කියනවා නේ.

මුළු සමාජයම කණු වුනාට පස්සේ ඒක වළක්වන්න අමාරුයි මේක හදන්න දවසෙන් දෙකෙන් බෑ.  අපෙත් එක්ක ඉන්න මිනිස්සුත් හුඟ දෙනෙක් ඒ වැරදි වැඩ කළා.   දැන් ඒ අයගෙන් සමහරක් අය මේ ආණ්ඩුවේ ඇමතිවරු. හොරකම් කෙරුවා සහ මහින්දගේ මිනී මැරුම් අනුමත කෙරුවා.  අපි ආණ්ඩුව පෙරලූවේ නැත්නම් තවම ඒ අය ඒකේ. ඒවා වෙනස් කරන්නට ටිකක් කල් යනවා.

හැබැයි මට පැහැදිළිව කියන්න පුළුවන්.  මම ආණ්ඩුවේ කිසි තනතුරක් ගන්නේ නැ කියලා තියෙන්නේ. ව්‍යවස්ථාව වෙනස් කරලා මට තනතුරක් දෙන්න උත්සහ කළා. නමුත් ඒ මොකක්වත් මම එපා කිව්වා. නමුත් හුගක් වැඩවලට මම සම්බන්ධයි. දැන් ඔය අභ්‍යන්තර යාන්ත‍්‍රනයේ සම්බන්ධිකරණ කමිටුවේ ඉන්නවා. ඒ නිසා ආණ්ඩුවේ වෙන දේවල් මම දන්නවා. මට කියන්න පුළුවන් ආර්ථිකය සහ ¥ෂණය පිළිබඳව. මොකද අනික් හැම එකටම මම ඇගිලි ගහන්නේ නෑ. යහපාලනය පැත්තට ආණ්ඩුවේ කටයුතු හරවන්නට දැන් අවශ්‍ය කටයුතු ටික කෙරීගෙන යනවා. මිනිසුන් හිතන තරම් ඉක්මනට කෙරුනේ නැතිවුනාට.

මම හිතන්නේ හොඳ ආර්ථික වැඩ පිළිවෙලක් හැදිලා තියෙනවා. ඒක අයවැයෙන්  පසුව තමයි ක‍්‍රියාත්මක කරන්නට වෙන්නේ. ඒ හැම එකකම ප‍්‍රතිඵල දකින්නට පුලූවන්වෙන් නේ එන අවුරුද්දේ තමයි. මම නම් කියන්නේ මේ සම්මුතිය අවුරුදු දෙකක් නොවෙයි පහක් පවත්වාගෙන යන්නට  ඕනේ. යහපාලනය කරන්නට නම් අලූත් වර්ගයේ දේශපාලනඥයින් හදාගන්නට  ඕනේ.  මේ හොරුයි, මිනීමරුවොයි පාර්ලිමේන්තුවට දාගෙන බෑ. සියලූ දෙනාම උගත්විය යුතු යැයි ඒකෙන් අදහස් කරන්නේ නෑ. දක්ෂකම් තියෙන්න  ඕනේ. ඉගෙනගෙන නැත්නම් මොකකින් හරි දක්ෂකමක්  තියෙන්නට  ඕනේ. වෘත්තිකයින් වගේ අය ඉන්නට  ඕනේ. එහෙම අය අඩු ගණනේ බාගයක්වත් පාර්ලිමේන්තුවට දාගත්තේ නැත්තම්  මේ රට ගෙනියන්න බෑ. දැනට එන්නේ මෝඩ තාත්තලාගේ මෝඩ පුත්තු,  පුතා හෝ දුව වෙච්ච පලියට; කිසිම ඉගෙනුමක් නැති, කිසිම දක්ෂකමක් පෙන්නලා නැති අය වැඩි හරියක් ඉන්නේ. වැඩිම මුදලකු් හොයන්න පුළුවන්, බිස්නස් එක කරන්න පුළුවන් තැන පාර්ලිමේන්තුව නැත්නම් පලාත් සභාව කියලා තමයි මේ අය හිතන්නේ. රණ්ඩුකරලා නාමයෝජනා ඉල්ලන්නේ. කිසිම සුදුසුකමක් නැතිව.  ඒ තත්ත්වය වෙනස් වෙන්නට  ඕනේ.

අනික් එක අපිටයෙන ලොකුම අභියෝගය තමයි මිනිසුන්ගේ හිත් වෙනස් කිරීම. මේ අවුරුදු 10 තුළ රාජපක්ෂලා මිනිසුන්ගේ හිත් වෙනස් කරලා තියෙනවා.  වෙන කිසිදෙයක්  ඕනේ නෑ,  ඕනෑම ජඩ වැඩක් කරලා සල්ලි හොයන්න පුළුවන්නම් තමාගේ අම්මා පවා බන්දෙසියක් උඩ තියලා ඒක කරනවා. වැදගත් මිනිස්සුන්, අවංක මිනිස්සුන් පසෙක තබා  වැරදිකාරයන්ට,  කුඩු මුදලාලිලාට සහ මිනී මරුවොන්ට තැන දීලා.  එය සාධාරණිකරණය කරලා,  දක්ෂකම් සම්පූර්ණයෙන්ම පාගලාදාලා, අදක්ෂයෝ ගෙනල්ලා අර තැන්වල තියලා තියෙන්නේ. මේ මගින් මිනිස්සුන්ගේ ආකල්පත් සම්පූර්ණයෙන් වෙනස් කරලා තියෙන්නේ. සමාජ ඇගයිම් කනපිට හරවලා තියෙන්නේ. මගේ කාලයේ පාසැල්වල අලූත් විෂයන් පටන්ගත්තා. ආචාර ධර්ම ළමයින්ට  උගන්වන්නට. එයට අමතරව සාමය පාසැලේ විෂයක් වුණා. ඒවා ඔක්කොම ඉවරයි. මිනිස්සුන්ගේ මේ සිත් සතන් වෙනස් කරන්නේ කොහොමද කියලා මම නම් දන්නේ නෑ. පාසැල්වල පටන් ගන්න පුළුවන්, අලූගෙන එන ළමයින්ගෙන් මේක ආරම්භ කරන්නට වෙනවා. ඒ වගේ අධ්‍යපනයක් අද හරි ඉතාම වැදගත්.  මේ සියල්ල කරන්නට ප‍්‍රථම මේ ආණ්ඩුව ආරක්ෂා කළයුතු වෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මෙහෙම එකගතාවයක් ඇතිවෙලා තියෙන්නේ. ප‍්‍රධාන පක්ෂ දෙකේ එකගතාවයක් නැත්නම් මේ වෙලා තියෙන විනාශයෙන් රට ගොඩගන්නට බෑ. මේ සුවර්ණමය අවස්ථාව ප‍්‍රයෝජනයට ගත්තේ නැත්නම් සියල්ලන්ටම වෙන්නේ මුහුදට පනින්න.

සාකච්ඡුා කලේ – මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *