|

නොගැඹුරු තර්ක -නිශාන්ත කමලදාස

කුණු ගොඩක් නිර්මාණය කිරීමට බොහෝ විට අවශ්‍ය වන්නේ පළමු කුණු පොද දැමීම ය. සෙසු අය ඒ කුණු ගොඩට තම කුණු ද එකතු කරනු ඇත. අවසානය වන්නේ කුණු කන්දක් නිර්මාණය වීම ය. මේ තර්කය වැරදි වැඩ සම්බන්ධයෙන් පමණක් නොව ඕනෑම වැඩක් සම්බන්ධයෙන් ද මිනිසුන් ගෙනෙන තර්කයකි. එය අවදානම් මග හැරිම සඳහා ඉවහල් වන්නේ ය. මක්නිසා ද යත් කලින් කර ඇති නිසා කාලයේ පරීක්ෂණයෙන් සමත්ව ඇති නිසා ය. හැමෝම කරන විදිහට කළ විට සිදුවන්නේ නව යමක් නොවීම ය. නව ප්‍රතිඵලයක් අත් නොවීම ය. අතීතය තුළ රැඳීම ය. වරදක් සිදු නොවූවත් එක තැන පල්වීමට ය.

තර්ක කර ඒ ආශ්‍රයෙන් නිගමනවලට එළඹීම හොඳ ය. එහෙත් ඇතැම් තර්ක ස්පර්ශ කරන්නේ මතුපිට ය. ඒ ගැඹුරට හිතන්නට ඇති කම්මැළිකම නිසා ය. එවිට එන නිගමනවල මෙලෝ රහක් නැත. එහෙමට වටිනාකමක් නැත.

තව කෙනකුට දමා ගසන්නට බොහෝ විට භාවිතා කරන මේ තර්ක මත ගොඩ නැගියහැකි සංවාදය ළදරු ය. ඒවා මොන්ටිසෝරියෙන් එහාට යන්නේ නැත. පරිණත මිනිසුන් මේ සරල තර්කයේ නොගැඹුර දැකිය යුතු ය. ඒවායින් මිදීමට කටයුතු කළ යුතු ය.

මේ ලිපියෙන් අපේක්ෂා කරන්නේ එවැනි තර්ක කීපයක් ගෙන හැර ඒ නිසා අපට වී ඇති වියවුල දක්වන්නට ය.

“හැමෝම කරන්නෙ එහෙමයි“.

හැමෝම කරන්නෙ එහෙනම් ඇයි මං විතරක් ඒ වැරදි වැඩෙන් වැළකෙන්න ඕන?

මේ මා පමණක් නොව, ඔබ ද අසා ඇති තර්කයක් බව මට විශ්වාස ය. මේ තර්කය අනුව අවශ්‍ය වැරදි වැඩක් කවුරුන් හෝ ආරම්භ කිරිම පමණ ය. එවිට ඒ දේ කිරීමට මට ද ලයිසන් ලැබෙන්නේ ය. රටක් අගාධයට යන්නට මෙවැනි මිනිසුන් සිටීම ම සෑහෙන්නේ ය. කළ යුත්තේ වැරදිකරුවන්ගේ පෝලිමට එකතු වීම නොවේ. අවසන් මිනිසා ඔබ සමග සිටිනතුරු ද වැරදි නොකර සිටිම ය.

කුණු ගොඩක් නිර්මාණය කිරීමට බොහෝ විට අවශ්‍ය වන්නේ පළමු කුණු පොද දැමීම ය. සෙසු අය ඒ කුණු ගොඩට තම කුණු ද එකතු කරනු ඇත. අවසානය වන්නේ කුණු කන්දක් නිර්මාණය වීම ය.

මේ තර්කය වැරදි වැඩ සම්බන්ධයෙන් පමණක් නොව ඕනෑම වැඩක් සම්බන්ධයෙන් ද මිනිසුන් ගෙනෙන තර්කයකි. එය අවදානම් මග හැරිම සඳහා ඉවහල් වන්නේ ය. මක්නිසා ද යත් කලින් කර ඇති නිසා කාලයේ පරීක්ෂණයෙන් සමත්ව ඇති නිසා ය. හැමෝම කරන විදිහට කළ විට සිදුවන්නේ නව යමක් නොවීම ය. නව ප්‍රතිඵලයක් අත් නොවීම ය. අතීතය තුළ රැඳීම ය. වරදක් සිදු නොවූවත් එක තැන පල්වීමට ය.

“ඉස්සරත් කෙරුණෙ එහෙමයි“

ඊළග තර්කය, ඉස්සරත් එහෙමයි කෙරුණෙ. මගේ තාත්තාත් එහෙමයි කළේ. සීයත් එහෙමයි කළේ. පරණ රජකාලෙත් කාරණා කටයුතු සිද්ධ වුණෙ ඒ විදිහට. ඒව වෙනස් කරන්න බෑ. ඒව වෙනස් කරන්න ඕන නෑ. ඒ කාලෙ යෝධ ගල් කණු ඉස්සුවෙ මිනිසුන්ට යෝධ බල යෝධ වීර්යය ලැබුණෙ ඒ නිසා. ඒ නිසා ඒ විදිහට තමයි වැඩ කෙරෙන්න ඕන.“

එය ද ඔබ අසා ඇති තර්කයකි. මේ තර්කය අනුව ද අපට සිදු වන්නේ සදාකාලිකව අතීතය තුළ හිරවීමට ය. අතීතය නැවත නැවතත් ඇති කිරීම ය. පවත්වාගෙන යෑම ය. ඒ තුළ ඉදිරියට යෑමක් නැත. අලුත් වීමක් නැත. එය එක තැන පල්වීම සඳහා නොවරදින ඔසුවකි. වර්ධනය, දියුණුව, කල් දා ගැනීමට නොවරදින මගකි.

අවශ්‍ය වන්නේ හැම නව දෙයක් ම ප්‍රතික්ෂේප කිරීම ය. ඒවා හෙළා දැකීම ය. තමන් පමණක් නොව අනුන් ද එසේ කරන බවට වග බලා ගැනීම ය. හොඳින් බැරි නම් නරකින් වග බලා ගැනීම ය. ප්‍රශ්නය වන්නේ අතීතය තවදුරටත් වත්මන් සන්දර්භය තුළ වලංගු නැති වීම ය.

මේ කටයුත්ත සමාන වන්නේ ධර්මය අසා දැන ගන්නට හැකි මූලාශ්‍ර ගණනාවක් තිබෙන රටක, ගුවන් විදුලිය පමණක් නොව, බෞද්ධ චැනල් බර ගණනක් ඇති, රූපවාහිනියක් ද තිබෙන රටක, තවදුරටත් දහම් පාසල වෙනදා විදිහට ම පවත්වාගෙන යා යුතු යැයි කීමට ය. ඒ සඳහා ළමුන් සහභාගී නොවන්නේ නම්, ළමුන් සහභාගී කරවීමට මාපියන් උනන්දු නොවන්නේ නම්, ඔවුන්ගේ හතර හන්දි කඩා හෝ ගෙන්වා ගැනීමට ය. නොඑන්නේ ටියුෂන් පන්ති නිසා නම් ඒවා ද තහනම් කිරීමට ය.

“බහුතරය නිවැරදි විය යුතු ය. සෙසු අය ඒ මතය පිළිගත යුතු ය“

ඊළග තර්කය වන්නේ “බහුතරයකගේ අදහස ඒකයි. ඒ අදහස හරි විය යුතු ය“ යන මතය ය. “එයට ඉඩ ලැබිය යුතු ය“ යන මතය ය. මේ තර්කය අනුව අලුත් යමක් පිළිගන්නට බැරි ය. එය බහුතරය මතය වීමට, මතය ඉදිරිපත්ව, බොහෝ කලක් යන නිසා ය.

ඒ මතයට අනුව, බහුතරයේ මතය පිළිගැනීමට බැරි අය රටින් තොලොංචි විය යුතු ය. ඒ මතය ඇති වෙනත් දේශයක් සොයා ගත යුතු ය.

එය අද දවසේ පන්සලේ සිදුවන පිරිත් ඝෝසාවට යොදා බැලුවොත් මෙසේ ය. යකඩ කට හරහා පිරිත් කනට එබිය යුතු ය. ඒ බහුතරයක් බුද්ධාගම අදහන නිසා ය. ඒ දහම හරි යැයි දකින නිසා ය. එසේ දකින්නට අපහසු අය රට හැර යා යුතු ය.

එහි අවසාන ප්‍රතිඵලය, බහුතරයට යටත් ව අතීතය තුළ ජීවත් වන්නට සිදු වීම ය. නව අදහස් ගෙන එන්නන් සමග ගැටුමකට යෑම ය. ඔවුන්ට කුණුහරුපවලින් සංග්‍රහ කිරීමට සිදු වීම ය.

බුදු හිමියන් එදා දඹදිව ධර්මය දෙසීමෙන් කරන ලද කාර්යය මේ ආකල්ප දරන මිනිසුන් ඉන්නා අද වැනි යුගයක කරන්නට බුදුන්ට ද නොහැකි විම ය. ඒ බුදුන්, පවතින බහුතරයට, ප්‍රතිපක්ෂ අදහසක් දැරීම නිසා ය.

“පූජ්‍ය පක්ෂය හැම විටම නිවැරදි ය“

ඊළග තර්කය වන්නේ පූජ්‍ය පක්ෂයේ, භික්ෂූන්ගේ, උපදෙස් අනුගමනය කළ යුතු බව ය. එය කලින් තර්කයේ ම දිගුවකි. රටේ බහුතරයක් බෞද්ධ ය. ඒ බෞද්ධයින්ගේ පූජාවට පත්ව ඇත්තේ භීක්ෂූන් ය. එවැනි භික්ෂූන්ගේ උපදෙස් ඒ නිසා අනුගමනය කළ යුතු ය. තර්ක එන්නේ වැලට ය. එකට එකක් ඇමිණිලා ය. බැලූ බැල්මට එහි ද වැරැද්දක් නැත. එහෙත් ප්‍රතිඵලය දරුණු ය.

ඒ මතය පිළිගන්නට යන තැනැත්තා වැටෙන්නේ ලොකු අමාරුවකට ය. පිළිගත යුත්තේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ බණ ද නැතිනම් සමන්තභද්‍ර රහතන් වහන්සේගේ බණ ද බුදුන් ලංකාවේ ඉපදුණු බව කියන අභය හාමුදුරුවන්ගේ බණ ද අපවත් වී වදාළ වල්පොල රාහුල හිමියන්ගේ බණ ද වශයෙන් බොහෝ බණ තිබෙන නිසා ද ඔවුන් විසින් දෙන අවවාද එකිනෙකට පරස්පර නිසා ද අමාරුවේ වැටෙන්නේ මේ උපදෙස් හරියට ම බාර ගෙන පිළිපදින්නට හදන තැනැත්තා ය. කියන කොට එහෙම වුනාට කරන කොට එහෙම කරන්නට බැරි ය. එකවර වමටත් දකුණටත් කෙනකුට යා නොහැකි ය.

පරිනිර්වාණයෙන් පසු කාගේ උපදෙස් අනුගමනය කළ යුතු දැයි බුදුන් වහන්සේගෙන් විමසූ කල ලැබුණු උත්තරය වූයේ ධර්මයේ උපදෙස් පිළිගන්නා ලෙස ය. බොහෝ තනතුරුලාභීන් ශාසනය තුළ ඒ වන විට ද සිටිය මුත්, ඒ කවරකුවත් නම් නොකොට, ධර්මය ම ගුරු තන්හි ලා සලකන්නට කීවේ, ලංකාවට තව අවුරුදු දෙදහස් පන්සියයකින් සිදු වන දෙය දිවැසින් බලාගෙන දැයි සිතෙන තරමට දේ අද ලංකාවේ සිද්ධ වන්නේ ය.

එයිනුත් බුදුන්ගේ නිදහස් චින්තනය අවසන් වුණේ නැත. කාලාම සූත්‍රය හරහා බුදුන් වහන්සේ උපදෙස් දුන්නේ තමන්ගේ ධර්මය පවා ප්‍රශ්න කරන ලෙස ය. සිහි නුවණින් විමසන ලෙස ය. එහෙව් ධර්මයක් අදහමින් භික්ෂූන්ගේ උපදෙස් අනුගමනය කළ යුතු යැයි කියන්නේ කෙසේ ද? ඇත්ත කතා කරන්නේ නම් අද භික්ෂූන්ගේ උපදෙස් අනුගමනය කරන කෙනකුට සිදු වන්නේ බුදුන්ගේ උපදෙස්වලට පිටුපෑමට ය.

“සංස්කෘතිය සම්ප්‍රදාය ප්‍රශ්න නොකර පිළිගත යුතු ය“

ඊළග තර්කය වන්නේ සම්ප්‍රදාය පිළිගත යුතු බව ය. පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරනු ලැබූ උපදෙස් පිළිපැදිය යුතු බව ය. සංස්කෘතිය රැකගත යුතු බව ය. දිගින් දිගට එන විශ්වාසයන්ට ගරහන්නේ නැතිව ඒවාට ගෞරව කළ යුතු බවය. එයට හේතුව ලෙස දැක්වෙන්නේ එය කාලයක් තිස්සේ පැවතීම ය.

ඒ අනුව අප ජෝතිෂ්‍යය පිළිගත යුතු ය. හඳේ හෙවනැල්ලෙන් අපේ ජිවිතය ද වැහෙන බවට විශ්වාස කළ යුතු ය. සිකුරු මංගල යෝග ගෙනෙන බව පිළිගත යුතු ය.

එහෙම ගත්තොත් සියල්ලට ඉහළින් පිළිගන්කට සිදු වන්නේ වැස්ස වලාහක දෙවියන් වැස්ස වැස්ස වූ බව ය. ඒ එයට දැනට තිබෙන කිසිම විශ්වාසයකට වඩා වැඩි කලක් පැවති නිසා ය.

මෙහි අවසාන ප්‍රතිඵලය ද අතීතය තුළ ගාල් වීම ය. එය අපට සිහිපත් කරන්නේ පන්සලේ සිටි පූසාගේ කතාව ය. හාමුදුරුවන් බණ කියන විට ඌ කරදර කිරීම හේතුවෙන් ලොකු හාමුදුරුවන් බණ ආරම්භයට පෙර ම පූසා කණුවකට ගැට ගැසිමට පුරුදුව සිටියේ ඒ ගැන කිසිවකුට කිසිවක් නොකියා ය. ලොකු හාමුදුරුවන් මරණයට පත් වූ පසු ද ගෝලයෝ ඒ පුරුද්ද ඒ විදිහටම කර ගෙන ගියෝ ය. ප්‍රශ්නය ඇති වුණේ නොබෝ දිනකින් පූසා ද මිය යෑම නිසා ය. දැන් කණුවේ බඳින්නට පූසෙක් නැති නිසා බණ ආරම්භ කිරීමට නොහැකි වුණේ ය. ඊට පසුව ගම පුරා අඩ බෙර ගසා පූසෙකු සොයාගෙන පරණ කණුවේ බැඳීමට පියවර ගන්නා ලද්දේ ය.

බොහෝ පුරුදු ඒ වගේ ය. බොහෝ සම්ප්‍රදායන් ඒ වගේ ය. ඉතින් ඒවා විමසීමකින් තොරව අනුගමනය කරන්නන්ට සිදු වන්නේ බණ එක්කෝ නොකියා සිටිමට ය. නැතිනම් ආදේශක පූසකු සොයා ගම පීරීමට ය.

“පංචේන්ද්‍රයන්ට සියල්ල අහුවෙන්නේ නැත“

ඊළඟ තර්කය වන්නේ, පියවි ඇසට නොපෙනෙන, අපේ පංචේන්ද්‍රියන්ට හසු නොවන, බලවේග තිබිය හැකි නිසා කිසිදු ගුප්ත විද්‍යාවක් ප්‍රතික්ෂේප කළ යුතු නැතැයි කීම ය.

ඒ තර්කය දිගින් දිගට ගෙන ගියහොත් සිදු වන්නේ, ඕනෑම ඔල්මොරොන්දම්කාරයකු ඇතැයි කියන, ඕනෑම අටමගලයක් පිළිගැනීමට ය. එය අපට හසු නොවන නිසා නැතැයි කිව නොහැකි බැවිනි.

ඒ අනුව වාලම්පූරිය වාසනාව ගෙන දෙන බව ද හූනා සාස්තර කියන අනාගත වක්තෘවරයකු බව ද පිළිගැනීමට අපට සිදු වන්නේ ය. අංජනම් දේවියට හනුමාගෙන් වැඩ ගත හැකි බව ද දෙන්නාගේ ආධාරයෙන් නැති වූ දේ සොයා ගත හැකි බව ද පිළිගත යුතු ය. හොරු අල්ලා ගැනීමට එතරම් පහසු උපක්‍රම තිබිය දී පොලීසිය බොරුවට මහන්සි වන බව ද පිළිගත යුතු ය. වෙඩි නොවදින සුර තිබෙන බවත් අප කළ යුත්තේ ඒවා නිර්මාණය කර ලෝක යුද අවි වෙළඳ පොළ වෙත මුදා හැරීම බවත් පිළිගත යුතු ය. මේ බලගතු ක්‍රම අනුගමනය නොකර පාච්චල් කිරීම නිසා අපේ හමුදා සෙබළුන් බොහෝ ගණනකගේ ජීවිත ද ඔවුන්ගේ අත් පා ද අහිමි වූ බව පිළිගත යුතු ය. ගංගා මෑණීයන්ට නිසි ලෙස ආරාධනා කළේ නම් ලෝක කුසලානය පවා අපට දිනා ගත හැකි ව තිබූ බව ද පිළිගත යුතු ය. කතරගම දෙවියන්ට අපේ වාහන ආරක්ෂා කළ හැකි බව ද පිළිගත යුතු ය. ඒ නිසා වාහන වලට ආරක්ෂක විධිවිධාන යෙදීම සඳහා ජපනුන් අනවශ්‍ය ලෙස වද වෙන බව පිළිගත යුතු ය.

අපට දැනෙන හැඟෙන දේ නම් අපට පෙනෙන අපේ ඉන්ද්‍රියන්ට හසුවන බලවේග මෙල්ල කර ගැනීමෙන් මිසක, එසේ හසු නොවන බලවේග මෙල්ල කර ගැනීමේ ක්‍රමයකින් ජය ලැබූ රටවල් නැති බව ය. එවැනි බලවේග ගැන විශ්වාස කළ මිනිසුන්ට සිදු වුණේ මහන්සියෙන් හරි හම්බ කරගත් දේ බොරුකාරයින්ට පූජා කිරීමට ය.

“අහඹු සිදු වීමකින් න්‍යායයක් ගොඩ නැගිය හැකි ය“

ඊළග තර්කය වන්නේ අහම්බයෙන් සිදු වන දෙයක් ඉදිරියට ගෙන එය හාස්කමකින් සිදු වූ බව කීම ය. එය අප කලින් සඳහන් කළ තර්කයට ද සම්බන්ධ ය. හාස්කම නොපෙනෙන බලවේගයන් විසින් ඇසට පංචේන්ද්‍රියන්ට හසු නොවන බලවේගයන් විසින් කරන්නේ යැයි සිතන නිසා ය.

දළදා සමිඳුන් එළියට වඩම්මන වෙලාවට වැසි වැටෙන්නේ යැයි කියන්නන් කරන්නේ ඒක ය. ඇතැම් දිනක එසේ වන්නට ඇත. එහෙත් එයින් න්‍යායක් ගොඩ නගා ගැනීමට පර්යේෂණයක් කිරීමට අවශ්‍ය යැයි දැනෙන්නේ නැත. ඒ අහඹු සිදුවීම ඒ සඳහා ප්‍රමාණවත් ය. මේ ගැන කොටගම වාචිස්සර හිමියන් කියන්නේ ඒ කතාව ඇත්ත නම් බුදුන් සිටි සමයේ දඹදිව දිගටම ගංවතුරෙන් පිරී තියෙන්නට ඇතැයි කියා ය. ඒ බුදුන් වචන වහරණ හැම වෙලාවක ම බුදුන්ගේ දන්ත ධාතූන් නිරාවරණය වන නිසා ය.

අනතුරකින් නූලෙන් බේරුණු කෙනකු ඔහුගේ එම බේරීම බාර දෙන්නේ පැළඳි සුරයට ය. නැත්නම් පිරිත් නූලකට ය. ඒ එවැනි අනතුරුවලින් බේරුණු, සුර නොපලන්, පිරිත් නූල් අතේ නැති, අටෝ රාසියක් මිනිසුන් සිටිය දී ය.

සුනාමියට බේරුණු බුදු පිළිම හා සුරුවම් කීපයක් පෙන්නා ඇතැමුන් කියන්නේ ඒවා බේරී ඇත්තේ හාස්කමකින් බව ය. බුදු පිළිම නිකම් බිම වැටුණොත් කැඩෙන බවත් එහි දී මේ හාස්කම් දක්වන බලවේග අහක බලන්නේ මන් ද යැයි පිළිබඳ ප්‍රශ්නයක් ඔවුන්ට නැත. මිනිසුන් බිලි දී සිමෙන්ති වැලි පිළිම බේරාගන්නා බලවේග අමානුෂික යැයි ද ඔවුන් සාධාරණ යැයි සලකන ලෝක පාලක බලවේගයන් ඒ තරමටම අමානුෂික විය හැකි දැයි යන්න සම්බන්ධයෙන් ද මේ කියන මිනිසුන්ට වගේ වගක් නැත.

“සංඛ්‍යාත්මක සම්බන්ධයක් හැම විටම හේතු ඵල සම්බන්ධයකි“

ඊළඟ තර්කය වන්නේ එකිනෙකට සම්බන්ධ නැති ක්‍රියාදාමයන් දෙකක් සම්බන්ධ කොට දැක්විම ය. සමගාමීව සිදුවන සිදුවීම් දෙකක් එකක් අනෙකේ හේතුව ලෙස ගැනීම ය.

බ්‍රිතාන්‍යයේ අයිස් ක්‍රීම් වෙළඳාම සරු කාලයට දියේ ගිලී මිය යෑම ද වැඩි ය. මේ දෙක එකතු කොට අපට න්‍යායයක් ගොඩ නැගිය හැකි ය. යම් අදිසි බලවේගයක් නිසා අයිස් ක්‍රීම් දියේ ගිලෙන්නට මිනිසුන් පොළඹවන බව ය. අයිස්ක්‍රීම් අප හිතන තරම් අහිංසක නැති බව ය.

මෙවැනි සම්බන්ධකමක් භාවිතයෙන් ගොඩ නගන න්‍යායයන් තුළ, යම් විද්‍යාත්මක බැඳීමක් ඇතැයි සැක කිරීමට ඉඩ තිබෙන නිසා, මිනිසුන් ඒවා විශ්වාස කිරීමට වැඩි පෙළඹවීමක් ඇත්තේ ය. ඒ මේ සම්බන්ධය සංඛ්‍යා ලේඛන ඇසුරෙන් පෙන්විය හැකි නිසා ය. සංඛ්‍යාලේඛන සත්‍ය වුව ද විමසා බැලීමේ දී පෙනී ගොස් ඇත්තේ අයිස් ක්‍රීම් කෑම හා දියේ ගිලී මිය යෑම අතර සම්බන්ධයක් නැති බව ය. අයිස් ක්‍රීම් කෑමත් දිය නෑමත් යන දෙකම ග්‍රීස්ම කාලයේ එකිනෙකින් ස්වායත්තව සිදු වන බව ය. ඒ දෙකින් ම එකසේ ග්‍රීස්මයට යම් සහනයක් ජනයාට ලබා දෙන බව ය. දිය නෑම වැඩි වන විට, දියේ ගිලී මිය යෑමට ඇති ඉඩ ද, වැඩි වෙන බව ය. තෙවැනි හේතුවක් නිසා ඒ දෙක, අයිස් ක්‍රීම් කෑමත් දියේ ගිලී මිය යෑමත්, වෙන වෙනම ඇති වන බව ය.

“නුහුරු නම් ඉවතලන්න“.

ඊළග තර්කය, යම් අදහසක් තමන්ට නුහුරු, වෙනස්, ප්‍රභවයකින් උත්පාදනය වූවේ නම් එහි යම් අඩුවක් ඇතැයි කීම ය. වැරදි වෙන්නට ඉඩ ඇතැයි හැඟීම ය. ඒ කියන්නේ අදහස බටහිර නම් දෙවරක් නොබලා ම එය ප්‍රතික්ෂේප කළ හැකි බව ය. එය යුදෙව් ක්‍රිස්තියානි යන ලේබලය අමුණා ඉවත දැමිය හැකි බව ය. කියමන වෙන ආගමක නම් අහක බලාගෙන විසි කළ හැකි බව ය. තමන් සතු සියල්ල හරි බව ය. ශ්‍රේෂ්ඨ බව ය. අනුන්ගේ හැම දෙයක් ම ඇද බව ය. කුදු බව ය.

මෙයින් සිදු වන්නේ අප ඉගෙනිමට අසමත් වීම ය. නව අදහස්වලට බාධා ඇති විම ය. නැවත වතාවක් පැරැන්න තුළ අප ගාල් විම ය. අතීතයට කොටු වීම ය.

දියුණුවන මිනිසුන්ට නව දැනුම කුමන ප්‍රභවයකින් ජනිත වූයේ ද යන්න ගැටලුවක් නොවේ. ඔවුන් විමසන්නේ එහි හරි වැරැද්ද පමණ ය. එතැන දී විවෘතව බැලීමට ඔවුන් සූදානම් ය. නව දැනුම දෙස විවෘතව බැලීමටත් තමන්ගේ පැරණි දැනුම දෙස විචාරාත්මකව බැලිමටත් ඔවුන්ට හැකි ය. නව දැනුම සරල තර්කයෙන් කපා කොටා විනාශ කිරීමට ඔවුන් කටයුතු කරන්නේ නැත.

එහි අනිත් අන්තය ද බොළඳ ය. ඒ දේශීය දේ බාල බව, කිසිදු වග විභාගයකින් තොරව, තීරණය කිරීම ය. දේශීය හැම දෙයකට ම ඇලජික් වීම ය. දේශීය දේ සරල තර්කයෙන් නිශ්ප්‍රභා කිරීම ය.

මෙවැනි තර්කවලින් ජීවිතය දිහා බලන තාක් අපට ගැලවිල්ලක් නැත. නිදහසක් නැත. අනාගතයක් නැත. ඒ නිසා ම මේ බොළඳ, ළදරු, සරල ලෝකය තුළ කොටුවන්නේ නැතිව තිරිහන් වෙන්නට සිතා ගත යුතු ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *