ඇදගෙන නෑම
මේ තරමට ඇදගෙන නෑම නොහොත් නටපු තොවිලයකුත් නැති බේරේ පළුවකුත් නැති ජාතියේ වැඩ කළ ආණ්ඩුවක් ඉතිහාසයේ තිබුණා දැයි දන්‍නේ නැත. ආසන්නම නිදර්ශනය නම් ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබාදීමට සූදානම් වෙයි. රැකියා විරහිත උපාධිධාරින් එම ආණ්ඩුවටම විරුද්ධව පෙළපාලි යයි. ඒ ආණ්ඩුවම රැකියා විරහිත උපාධිධාරින්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරයි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගේ අවසාන කාලයේ ද රැකියා විරහිත උපාධිධාරින් පිරිසකට රජයේ රැකියා දෙන්නට යෙදුණි. එහෙත් එහි දී උපාධි සහතිකවලට අමතරව තවත් සහතිකයක් ද අවශ්‍යවිය. ඒ ග්‍රාමසේවක සහතිකය, චරිත සහතිකය, පොලිස් සහතිකය, වැනි යමක් නොව දේශපාලන හෙංචයිකම පිළිබඳ සහතිකය.
වඩාත්ම බරපතළ කාරණාව එසේ බඳවාගත් උපාධිධාරින්ට රට වෙනුවෙන් කරන්නට සේවයක් හෙවත් රැකියාවක් තිබුණේ නැත.
එක්තරා උපාධිධාරි රැකියාලාභි තරුණයකු කීවේ තමා භූගෝල විද්‍යාව හදාරා තිබිය දී සංවර්ධන නිලධාරි (හෝ වෙනත් එවැනි භූගෝල විද්‍යාව අදාළ හෝ අවශ්‍ය නොවන) තනතුරකට පත්කර ඇති අතර සමාජ විද්‍යාව හැදෑරු තැනැත්තකු අපදාකළමණාකරණයට අදාළ සේවයක යොදවා ඇති බවය. නායයාමක් දැනගන්නට ලැබුණොත් කුමක්කරන් නේදැයි තමා ඔහුගෙන් විහිළුවට විමසූ විට ‘ඉහළට දන්නලා ලියුමක් ගහනවා’ කියා තම මිතුරා විහිළු කළ බවත් එම උපාධිධාරි රැකියාලාභි තරණයා කීවේය.
එසේ බඳවාගත් උපාධිධාරින් අවශ්‍යතා අනුව බඳවා ගත්‍තේ නම් ඔවුන් ගෙන් රටට සේවයක් ලබා ගැනීමට හැකියාව තිබුණි. අවම වශයෙන් බඳවා ගැනීමෙන් පසුව හෝ ඔවුනට ඵලදායි රැකියා පුහුණුවක් ලබාදෙන්නට තිබුණි. එකී කිසිවක් සිදුවූයේ නැත.
අවම වශයෙන් එම රැකියා විරහිත උපාධිධාරීන් දේශපාලනයෙන් තොරව තරඟ විභායකින් තොරා ගැනුණේ නම් යම් සාධරණ බවක් තිබෙන්නට ඉඩ තිබුණි. එහෙත් ඔවුන් රැකියාවලට බදවා ගැනුණේ; අප පෙරත් කී පරිදි, දේශපාලන හිතේෂිවන්තකම් සලකා බලාය. ඒ කියන්‍නේ රාජපක්ෂ ආණ්ඩුව තමන්‍ගේ ඡන්දායකයන් පිරිසක් නඩත්තු කිරීමේ බර ජනතාව මත පැටවූ බවය. මන්ද ඉහත රාජකාරි විරහිත උපාධිධාරි පිරිසට පඩිගෙවන්නට බදු ගෙවන්න ජනතාවට සිදුවන බැවිනි. ආණ්ඩුව ඔවුනට පඩිනඩි ගෙවන්නේ ආණ්ඩුවේ ඇත්තන්‍ගේ පොල් විකුණා නොව මහා භාණ්ඩාගාරයේ මුදලින් වන බැවිනි.
අවම වශයෙන් එම පිරිස නිවෙස්වල ම නවතා ඔවුනට වැටුප වෙනුවට එම වැටුමට සමාන දීමනාවක් ගෙවුවේ නම් එයද භාණ්ඩාගාරයට සහනයක් වන්නට තිබිණි. මන්ද ගෙදර ඉන්න ආධාරලාභි උපාධිධාරියා ආණුඩුවේ කන්‍තෝරුවල වායුසමීකරණ, විදුලි පංකා, විදුලි එළි, දුරකථන භාවිත නොකරන බැවිනි. ඔවුනට වැඩි වන්නට කන්‍තෝරුවල මේස පුටු අවශ්‍ය නොවන බැවිනි. එසේ වූයේ නම් ඔවුන් වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් විදුලිය, ජලය, දුරකතන බිල් ගෙවන්නට සිදුනොවන නිසාය. උපාධිධාරින් වෙනුවෙන් පුටු මේස ලබාදීමට පවා වැය කෙරෙන්‍නේද මහා භාණ්ඩාගාරයේ මුදල්ය. එයත් ආණ්ඩුවට ඉතිරි කරගන්නට තිබුණි.
රටේ ජනතාව වත්මන් ආණ්ඩුව බලයට පත් කළේ ඔවුන්ගේ එම වැරදි නිවැරදි විය යුතු නිසාය. එහෙත් එසේ සිදුවූයේ නැත. යහපාලන ආණ්ඩුව යටතේත් කෙරුණේ හෙංචයියන්ටම රැකියාදීමය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමතිධුර දරමින් ආණ්ඩුවට හේත්තු වී සිටි කාලයේ ජනවාරි වෙනසට උපරිමයෙන් එරෙහි වූ මහින්ද වාදීන්ද රැකියාවලට ගියේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙස්මුහුණ පැළඳගෙන ඇමතිකම් දෑරූ රාජපක්ෂවාදීන්‍ගේ ලැයිස්තුවලිනි. ආණ්ඩු වෙනසට කරගැසූ රැකියා විරහිත උපාධිධාරින් සමහරු තවමත් ගෙවල්වලය.
එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ ආණ්ඩුවේ ජනාධිපති වීමට හොරගල් අහුලන ඇතැම් අයගේ කාර්යාලවල උසට හරියන රැකියා පිළිබද දැන්වීමක් තිබුණු බව ද කාලයක කියැවුණි. ජනපති අපේක්ෂකත්වයට තමාත් සුදුසු යැයි කියන සභාවට නායක කන්ද උඩරට පැත්‍තේ කෙනෙක් ද මහාමාර්ග ගැන උපදෙස් ගන්නට භික්ෂුන් වහන්‍සේ නමක් පත්කර ගෙන සිටියේය. උන්වහන්‍සේට වාහන ද පඩි ද ලබා දී තිබුණේය. ඒ ඇමතිවරයා ගෙදරින් ගෙනා මුදලින් නොවේ. භාණ්ඩාගාරයෙනි.
දැන් ආණ්ඩුව ඇදගෙන නාන්‍නේ රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා දෙන්නට යාමෙනි. ඉතිහාසයේ පළමු වතාවට රැකියා දීමට විරුද්ධව රැකියාවි රහිත උපාධිධාරින් පෙළපාලි යයි. හේතුව ආණ්ඩුවට යහපාලන පිළිවෙත අමතක වීමය.
ආණ්ඩුව මේ හදන්‍නේත් තවත් උපාධිධාරින් පිරිසක් රාජ්‍ය සේවයට පටවා රිම් එකෙන් යන භාණ්ඩාගාරය හොම්‍බෙන්ම යවන්නටය. එය යහපාලන පිළිවෙතට අනුකූල වන්‍නේ නැත. එයට දේශපාලන හෙංචයි භාවය ඉල්ලා සිටිය හොත් එය යහපාලනය අමු අමුවේ පාවාදීමකි. ඒ ගැන කියන්නට තවමත් කාලය නොවේ. එසේ වෙන්‍නේදැයි බලාහිඳීම කාගෙත් වගකීමය.
අවම වශයෙන් එසේ බදවා ගන්නා උපාධිධාරින් විභාග දෙපාර්තමේන්තුව යටතේ තරග විභායකින් තොරා රාජ්‍ය සේවා කොමිසම මඟින් පවත්වනු ලබන විධිමත් සම්මුඛ පරීක්ෂණයකින් පසුව බඳවා ගත යුතුය. බඳවාගැනීමේ දී දේශපාලන මැදිහත්වීම නුසුදුසු කමක් සේ සැලකිය යුතුය. යහපාලන මූලධර්ම නිසි පරිදි ආරක්ෂා වනු ඇත්‍තේ එවිටය. යහපාලන අපේක්ෂා සහිත වුවන්‍ගේ කැමැත්ත ද ඊට යම් පමණකින් හෝ හිමිවනු ඇත.
එපමණක් නොවේ. මින් ඉදිරියට රාජ්‍ය සේවයට බඳවාගැනීමේ දී අනුගමනය කළ යුතු විධිමත් මාර්ග සිතියමක් පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතුය. අවම වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. වසර හතරක් ගෙවීත් ආණ්ඩුවට කරන්නට ඊට වඩා ලොකු වැඩ තිබී ඇති බවයි පෙනෙන්‍නේ. තාමත් ආණ්ඩුව එවැනි වැඩවලට ප්‍රමාද නැත. උපාධිධාරින් තෝරාගැනීමේ දී රජයේ පුරප්පාඩු පිරවිය හැකි අයම ඒ ඒ අංශවලට බඳවාගත යුතුය. තවත් එවැනි බොහෝ දේ තිබේ. සියල්ල විනිවිද භාවයෙන් යුතුව ක්‍රියාත්මක කළ යුතුය.
රැකියාත් සමග කඳුළුගෑස් සහ ජල ප්‍රහාරත් දෙන්නට ආණ්ඩුවට සිදුවීමත් ඇදගෙන නෑමක්ය. හේතුව වශයෙන් දැක්‍වෙන්‍නේ බාහිර උපාධිධාරින්ට මෙවර බඳවා ගැනීම්වලදී යම් අඩුපාඩුවක් සිදුව තිබීමය. එනම් අභ්‍යන්තර උපාධිධාරින්ට එක් හැන්දකිනුත් බාහිර උපාධිධාරින්ට තවත් හැන්දකිනුත් බෙදීමය. අනෙක වයස තිස් පහට වැඩි අයට අසාධාරණයක් සිදුකර තිබීමය.
උපාධිධාරින්ට රැකියා දීම රජයේ වගකීමක් ලෙස ආණ්ඩුව හිතන බව පෙනේ. ඒ රාජ්‍ය සේවයට උපාධිධාරින් බඳවා ගැනීමට ආණ්ඩුව සූදානම් වන බැවිනි. ඒ අනුව ගත්කල උපාධිධාරියා වයසට යාම රජයේ වරදින් සිදු වූ දෙයකි. වයස 35ට වැනි අය බදවා ගැනීමට ඒ අනුව ආණ්ඩුවට බැඳීමක් තිබේ. ආණ්ඩුව මුල්තැන දිය යුතුව ඇත්‍තේ වයස වැඩිම තැනැත්තාගේ සිට අඩුම තැනැත්තාටය.
බාහිර උපාධියට සමතැන නොදීම ආණ්ඩුවට නැවතත් අදගෙන නෑමය. බාහිර උපාධිය අභ්‍යන්තර උපාධියට වඩා බාල එකක් නම් ඒවා ලබාදීමට විශ්වවිද්‍යාල වලට අවසර ලබා දී ඇත්‍තේ කුමකට ද?
ඇත්ත වශයෙන්ම මුල් තැන දිය යුත්‍තේ බාහිර උපාධිධාරයන්ටය. අභ්‍යන්තර උපාධිධාරින් පෙළපාලි යන විට බාහිර උපාධිධාරිහු පංතිවලට යති. සමහර විට ඒ රැකියාවක් හෙවත් රටට සේවයක් ද කරමින් විය හැකිය. ඔවුන් පිළිතුරු ලියන්‍නේත් අහසේ පාවෙන ප්‍රශ්න පත්‍රයකටය. හේතුව ඔහුගේ ප්‍රශ්න පත්‍රය විෂය භාර මාහාචාර්ය වරයා ඉගැන්වු පරිමාව අනුව සැකසෙන්නක් නොව විෂය නිර්‍දේශයේ හතර මායිමේ කොතනින් ඒ දැයි නොදන්නා එකක් නිසාය.
අනෙක් කාරණය බාහිර උපාධිධාරියා යනු බොහෝ විට රැකියාවක් එනම් රටට සේවයක් ද කරමින් ඉගෙනගත් තැනැත්තකු නිසාය. වැදගත්ම කරුණ ඔහු අවම වශයෙන් උපාධිය සදහාවත් රටට බරක් වී නැත. ඔවුන් ඉගෙනගෙන ඇත්තේ තමන්‍ගේ වියදමෙන් බැවිනි.
සයිටම් වෙනුවෙන් ගෙළ සිඳගන්නට පවා උත්සාහ කළ ආණ්ඩුව බාහිර උපාධිධාරින්ට පලා බෙදමින් සිටී. ආණ්ඩුව කියන්‍නේ අනුපාතයට තෝරාගත් බවය. අනුපාතයේ මිනුම් දණ්ඩ කුමක්ද? මිනුම් දණ්ඩ විය යුත‍්තේ අභ්‍යන්තර සහ භාහිර සිසුන්‍ගේ ප්‍රතිශතය එනම්, සියයට ගණන අනුව රැකියා ලබාදීමය. එහෙත් මෙවර සිදුව ඇත්‍තේ එයද නොවේ. බාහිර උපාධිධාරින් සහ අභ්‍යන්තර උපාධිධාරින් යන පිරිස අතරින් වැඩි කොටස බාහිර උපාධිධාරින් බව බැලූ බැල්මටත් පෙනෙන නිසාය.
අනුපාතය වෙනුවට තරග විභාගයක් තොරා ගන්නට ආණ්ඩුව කටයුතු නොකරන්‍නේ මන්ද යන්න ගැටලුවකි. තරග විභායකින් තොරා සාධාරණ සම්මුඛ පරීක්ෂණයකින් උපාධිධාරින් තෝරා ගන්‍නේය කීවේ නම් අන්තරයට ජල ප්‍රහාර වලින් නාන්නට හේතුවක් ඇති වන්නේ නැත. රැකියා විරහි උපාධිධාරින් නාවා ගෙදර යවන්නට ආණ්ඩුවට සිදු වන්‍නේ ද නැත. ඇදගෙන නාන්නට ආණ්ඩුවට සිදු වන්‍නේ ද නැත. යහපාලනය ගැන බලාපොරොත්තු තැබූ අයට දුක හිතෙන් නේද නැත.
සර්ව ලෝක පූට්ටුවා