පක්ෂයේ බලයත් රනිල්ට; කුඩා පක්ෂත් රනිල් ට

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙ බහුතරයේ සහය හිමිව ඇති බව ඊයේ පැවති තෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී යළිත් වරක් තහවුරු වීය.

පක්ෂයේ නායකත්වයෙන් ගොඩනැගෙන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංධාන ගිවිසුම අත්සන් කිරීම කල්දමන ලෙසත් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තීරණය කිරීමෙන් පසුව සන්ධානය ගොඩනගන ලෙසත් සජිත් පාර්ශවය ඉල්ලා සිටිය ද එය අනුමත නොවීය. සන්ධාන ව්‍යවස්ථාව සංශෝධනය කළයුතු බවට කළ ඉල්ලීම අනුව අවශ්‍ය සංශෝධන ලබාදීමට පමණක් අවස්ථාව ලබාදීමට එකඟත්වයක් ඇතිවීය.

පස්වැනිදා සන්ධාන ගිවිසුම අත්සන් කිරීම ගැන පැවති ඡන්ද විමසීමේ දී රනිල් පිලට ඡන්ද 35ක් ලැබුණු අතර විරුද්ධව විරුද්ධ පිලට ලැබුණේ ඡන්ද 7ක් බව වාර්තා වීය. සජිත් ප්‍රේමදාස මහතා ඡන්දය දීමෙන් වැළකී සිටි බව ද වාර්තා වී ඇත.

සජිත් පිල මෙම සන්ධානයට විරුද්ධ වීමට හේතුව එයට සම්බන්ධවන සෙසු පක්ෂ කිසිවක් තම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමට සූදානම් නොවන නිසා බව කියති.

මේ අතර කඳුරට ජනතා විමුක්ති පෙරමුණේ පී. රාධක්‍රිෂ්ණන් ඇමතිවරයා ඊයේ සවස හැටන් හි පැවති රැස්වීමක දී ප්‍රකාශ කළේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ ලෝකයේ පිළිගැනීමක් ඇති නායකයකු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *