අක්කා දීමේ දේශපාලනය – සම්පත් අමරසිංහ

දැනට පවතින තොරතුරු අනුව ලබන අගෝස්තු 11 වැනිදා පොහොට්ටුව පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන්නට බොහෝදුරට ඉඩ තිබේ. ඉන් පසුව අගෝස්තු 13 දා ශ්‍රී මහා බෝධය වැඳපුදා ගැනීමෙන් සහ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන්  ඊට සමගාමීව අගෝස්තු 13දෑවැන්ත ප්‍රචාරක වැඩසටහනක් ආරම්භ කිරීමටත් ගෝඨාභය හිතවාදී පිරිස සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.

ගෝඨාභය හිතවාදීන් සිය ජනාධිපතිධුර අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන්නේ වර්තමානයේ පවතින තත්ත්වය අනුව ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමට නොහැකි බව දැන දැනම ය. ගෝඨාභය මහතාට ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට ඇති බාධාව වන්නේ ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවයයි.   

දැනට පවතින තොරතුරුවලට අනුව ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරනු ලබන පුද්ගලයන්ගේ නම් ඇතුළත් දෙවැනි කාර්තුවේ නාම ලේඛනයට ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් වී නැත. ඒ සඳහා වන තුන්වන කාර්තුවේ නාම ලේඛනය ප්‍රකාශයට පත්වනු ඇත්තේ ඉදිරි නොවැම්බර් මාසයේ දී බව පැවසේ. ඒ කාලය වන විට මෙරට ජනාධිපතිවරණයේ නාම යෝජනා බාරගැනීමේ කාලය අවසන් වීමට නියමිතව තිබේ. එසේ නම් ඊළඟ ජනාධිපතිවරණයට නාම යෝජනා ලබා ගන්නා කාලය  වනතුරුත් ගෝඨාභය මහතාගේ ඇමරිකානු පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නය අවසන් වන්නේ නැත. එසේ නම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ඉදිරි ජනාධිපතිවරණයට නාම යෝජනා ලබා දීමට ගෝඨාභය  මහතාට නිතිය අනුව ඉඩක් නොලැබෙනු ඇති බවට සැක නැත.

අවධානම් තත්ත්වයක සිටියදීත් ගෝඨාභය මහතාගේ නම යෝජනා කිරීමෙන් පොහොට්ටු පක්ෂය බලාපොරොත්තු වන්නේ ගෝඨාභය මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය නමැති විලංගුව ම තමන්ගේ මැතිවරණය සඳහා ප්‍රචාරක වාසියක් වශයෙන් යොදා ගැනීමටය.

එහිදී ඔවුන්ගේ සැලසුම වන්නේ ගෝඨාභය මහතාට ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට නොහැකිවන්නේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියා හේතුවෙන්ය යන මතයක් ජනතාව අතර පැළ කිරීමය. පවතින වාතාවරණය අනුව රාජපක්ෂ හිතවාදින් එවැනි පදනම් විරහිත තර්කයක් වුවද එක හෙළා පිළිගනු ඇති බව විශ්වාස කළ හැකිය. ජනාධිපතිවරණයට ගෝඨාභයට ඉදිරිපත් විය නොහැකි වන්නේ ආණ්ඩුවේ ක්‍රියා හේතුවෙන්ය යන්න ප්‍රසිද්ධ කර ඔහු වෙනුවට වෙනත් අයකු යොදවා ජනාධිපතිවරණ රේස් එක දිවවීම ඔවුන්ගේ අදහසය. යම් හෙයකින් එවැනි තර්කයක් ජනගත වුවහොත් එම මතය පරාජයකරන්නට තරමට ශක්තිමත් යාන්ත්‍රණයක් ආණ්ඩුව පාර්ශවයට ද ඇති බවක් පෙනෙන්නට නැත. ඒ අනුව බොහෝවිට රාජපක්ෂවාදින්ගේ මතයට යම් පමණකට හෝ බලයක් ලැබෙනු ඇති බවද ඔවුන් විශ්වාස කරන්නට පුළුවන.

ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් පවතින වාතාවරණය යටතේ පවා රාජපක්ෂවාදීන් විසින් නම් කරණු ලැබුවහොත් එම ක්‍රියාව මගින් පැහැදිලි කෙරෙන දේශපාලන යටි පෙළ කුමක්ද යන්න මේ මොහොතේ වටහා ගැනීම ලාංකීය ජනතාවට වැදගත්ය.

රාජපක්ෂවාදීන් ඔවුන් දේශපාලන වශයෙන් පරාජයට පත් වු 2015 ජනාධිපති වරයාගේ පටන මේ දක්වාම කරගෙන යමින් සිටින්නේ අති දැවැන්ත බොරු ප්‍රචාර රාශියක් මගින් ජනතාවගේ මතය විකෘති කිරීමයි.

ඔවුන් තමන්ගේ ප්‍රචාරය ආරම්භ කළේ වරාය නගරය හම්බන්තොට වරාය ආදිය පදනම් කර ගනිමිනි. එසේ පටන්ගත් ඔවුන්ගේ ප්‍රචාරයේ මාතෘකා බවට මේ වන විට කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, පාස්කු ප්‍රහාරය, සිංගප්පුරු වෙළඳ ගිවිසුම, බැඳුම්කර ප්‍රශ්නය, ආර්ථික කොරිඩෝව, ඉඩම් පනත ආදිය හරහා දිග්ගැස්සෙමින් තිබේ.

මෙකී කාරණාවලදී පාස්කු ප්‍රහාරය සහ මහබංකු බැඳුම්කර ප්‍රශ්නය හැරුණු විට අන් කිසිම කරුණක් පවතින තත්ත්වයට වෙනස් තත්ත්වයක් යටතේ කෙළවර වනු ඇතැයි සිතන්නට කාරණා නැත. නිදසුනක් වශයෙන් හම්බන්තොට වරාය ඉදිකිරීමේ සැලසුමේ පටන්ම එහි ඉරණම ලියැවී තිබුණේ එය යම් දිනක චීනයේ පාලය යටතට පත්වීමටය.

චීනය ඒසා  දෑවැන්ත ණයක් හම්බන්තොට වරාය සඳහා යොදවනු ලැබුවේම එම ණය යළි ගෙවීමේ හැකියාව ලංකාවට නැති බව දැනුවත්වය. ණය ගෙවීමට නොහැකි වු විටෙක එය නව සේද මාවත ව්‍යාපෘතියේ කොටසක් වශනේ හම්බන්තොට යොදා ගැනීම ඔවුන්ගේ ඉලක්කය විය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වන විටත් ශ්‍රී ලංකාව මහින්ද රාජපක්ෂ පාළනය යටතේ චීනයේ ගැටයට හසු වී තිබුණි. හම්බන්තොට වරාය ඉදිකිරීම මගින් රාජපක්ෂ රෙජිමය ශ්‍රී ලංකාව ණය උගුලක හසු කළා පමණක් නොවේ. කරදියවර මංගල්‍යය ආදි සෝබන වැඩසටහන්වලට දැවැන්ත මුදල් සම්භාරයක් වැය කිරීමෙන් ද ඒ මුදල් තමන්ගේ දේශපාලන හෙන්චයියන්ට ඩැහැගැනීමට ඉඩ සලසා දීමෙන්ද රටට දැවැන්ත විනාශයක් සිදු කළේය.

කොළඹ වරාය සම්බන්ධයෙන් ගත්තද තත්ත්වයේ වෙනසක් නැත. වරාය නගරය චීන කොලනියක් වීමේ අවධානම බැහැරවුයේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ගන්නා ලද දූරදර්ශී ක්‍රියාමාර්ග නිසාය. චීනය අමනාප කරගනිමින් වරාය නගරය ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීම වත්මන් ආණ්ඩුවේ උපායමාර්ගික දක්ෂතාව පෙන්නුම් කරන සාධකයක් වුව ද රාජපක්ෂවාදින් ජනතාව අතර පැළ කරනු ලැබූ මතය වෙනත් එකකි.   

සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් රාජපක්ෂවාදින් ගෙනයන මතයද අමුලික බොරුවකි. චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ ආරම්භව රාජපක්ෂ යුගයේ දී යළි පණ ගන්වනු ලැබ ක්‍රියාත්මක වු ගිවිසුමක් භයානක යක්ෂයෙක් වශයෙන් හුවා දක්වන්නට රාජපක්ෂවාදින් උත්සාහ දරමින් සිටි.

ඔවුන්ගේ මතය අනුව වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ බටහිර බලවේග වලට රට පාවාදීමේ එකම අරමුණෙන් යුතුවය. බටහිර රටවලින් රට බේරාගැනීමට නම් එකම විසඳුම මහින්ද රාජපක්ෂය. මහින්ද රාජපක්ෂට නැවත ඒමට වත්මන් ආණ්ඩුව බාධාකර ඇති බැවින් විකල්පය ගෝඨාභය රාජපක්ෂය.

ඇමරිකාවෙන් වැටුප් ලබන විදේශ අමාත්‍යාංශ නිලධාරියකු ගැන මහත් කලබැගෑනියක් පසුගිය දිනවල රාජපක්ෂවාදින් විසින් කරනු දක්නට ලැබුණි. එසේ වුව ඔවුන් ඇමරිකානු පුරවැසියකු තමන්ගේ පාලන කාලයේ රටේ කොඳුනාරටිය වන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරීම සම්බන්ධව කතා කරන්නේ නැත.

රාජපක්ෂ රෙජිමය තම පාළන කාලයෙන් වැඩි කොටසක් ගෙවා දැමුවේ බටහිරට බණිමිනි. එක්සත් ජාතින්ටත්, මානව හිමිකම් සංවිධානවලටත් බැණවදිමිනි. ඇමරිකාවට බැණවිදිමිනි. නමුත් ඒ කාලයේවත් තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කටයුතු කළේ නැත.

ඊළඟ ජනාධිපතිවරණයට කැසකවමින් එළිය වියත්මග ආදිය හරහා ප්‍රචාරක වැඩ කරමින්සිටි වසර දෙක තුනක කාලය තුළවත් තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නට ඔහු උනන්දු වුයේ නැත. ඉහත හැසිරීම් සියල්ල රාජපක්ෂවරුන්ගේ දෙබිඩි හැසිරීමට උදාහරණ වශයෙන් පවතී.

බැරි බව දැන දැනම ගෝඨාභය මහතා ජනාධිපති අපේක්ෂකත්වයට නම් කිරීමද ජනතාවට පමණක් නොව තමන්ගේම පාක්ෂිකයාට පවා කොකා පෙන්වන ඔවුන්ගේ දේශපාලනයේම කොටසකි. නංගී පෙන්වා අක්කා දීමේ උත්සාහයකි. ගැටලුව වන්නේ පොහොට්ටුවාදින් ඒ බව තේරුම් නොගැනීමය.

සම්පත් අමරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *