|

පුළුල් සංධානය ගැන එජාපයේ චන්ද විමසීමක් ; ලේකම්කම දෙනවානම් බාරගන්න සජිත්ගේත් අකමැත්තක් නැතිලු

පසුගිය සති අන්තයේ ඉන්දියාවේ පෞද්ගලික චාරිකාවක නිරත වූ අගමැති රනිල් හා බිරිඳ මහාචාර්ය මෛත්‍රී කොල්ලූර්හිදී පූජාවකටද එක්විය. එම ස්ථානය නරේන්ද්‍ර මෝදි ඇතුළු දකුණු ආසියාණු ප්‍රභලම දේශපාලඥයන් ආශිර්වාද ලබන ප්‍රධාන ස්ථානය ලෙස ප්‍රචලිතය. යලි සියරට පැමිණි අගමැතිවරයා ඉඩම් ඔප්පු දශලක්ෂයක් බෙදීම සමෘද්ධි පවුල් ලක්ෂ 6ක් බෙදීම හා නිවාස සංකීර්ණ ජනසතු කිරීම මෙන්ම උපාධිධාරීන් 16,000 න් 3,800 කට නව පත්වීම් ලබාදීමේ ආරම්භක අවස්ථාව ඇතුළු ජනතාවට ප්‍රතිලාභ ලබාදෙන අවස්ථා රැසකට එක්විය.

බ්‍රහස්පතින්දා එජාපයට තීරණාත්මක දිනයක් විය. එජාපයේ ප්‍රමුඛත්වයක් බිහිවන ජාතික  ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට අදාළව ගිවිසුම් අත්සන් කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම එදිනට නියමිතව තිබිණ. එම රැස්වීමට යාමට පෙර අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණසිටි මැති ඇමතිවරුන් සමඟ සුපුරුදු ලෙස කතාබහකට එක්විය.

මැස්සෝ ඇහිරෙන සංධාන

“පොහොට්ටුව නම් පහුගියදා මැස්සො ඇහිරෙන සංධානයකට අත්සන් කළා. ඒ අත්සන් කළ සමහරුන්ට ගෙදර ඡන්දවත් නෑ කියලයි කියන්නෙ.” සභානායක ලක්ෂ්මන් කතාවට මුලපිරුවේ උස් හඩින් සිනාසෙමිණි.

“සර්ගෙ කතාවෙ ඇත්තක් තියනවා. දැන් ඔය පොහොට්ටුවත් එක්ක අත්සන් කරපු එක පක්ෂයක් වෙන හේමකුමාරගෙ පුතා එජාප පලාත්සභා මන්ත්‍රීවරයෙක් ඉතින් ඒ පවුල් වල ඡන්ද ටික ඡන්ද ටික පුතාට මිසක් තාත්තට යන්නෙ නෑ කියලයි හැමෝම කියන්නෙ.” ගයන්ත කරුණාතිලක කීවේද උස් හඬින් සිනාසෙමිනි.

ගොටාගේ කූට ලේඛණය

“පොහොට්ටුවේ අපේක්ෂක පොරය එන්න එන්නම ඕඩු යනවා. අන්තිමට මහින්ද මහත්තය නොමඟ යවන්නද කොහෙද ගෝඨගෙ කල්ලිය ඇමරිකානු පුරවැසිකම අහෝසි කළා කියල බොරු ලියවිල්ලකුත් හදලා. පස්සෙ එයාලම ඒක කූට ලේඛනයක් බව පිළිගත්තා” හේෂා විතානගේ කීවේ එවැන්නකි.

“ලසිත් මාලිංග ලෝක වාර්තා රැසක් බිහිකරමින් රටට ගෞරව ගෙනා ක්‍රීඩකයෙක් ඔහු ක්‍රීඩාවට ගෙනා ගාල්ල මහින්දය හා ගුරුහරුකම් දීපු ගුරුවරුන්ටත් ප්‍රණාමය දීලා අන්තිමට කිරි කලයට ගොම බින්දුවක් දාගත්ත වගේ මහින්ද රාජපක්ෂට ලකුණු දන්න ගිහිල්ලා පොඩි අවුලක් ඇති කරගත්තා. රාජපක්ෂලා පන්නල දාපු දොස්තර කෙනෙකුටත් ලකුණු දෙන්න ගියා. ඔය දොස්තර ඔච්චර හොඳනම් ගෝඨාභය සිංගප්පූරුවෙන් බේත් ගත්තෙ ඇයි කියලයි මිනිස්සු අහන්නේ” මනූෂ නානායක්කාර කීවේ එවැන්නකි.

“බැංකු පොලී අනුපාතය අඩුකරලා ජනතාවට හා ව්‍යාපරිකයන්ට සහන දෙන්න අගමැතිතුමා ගත්ත තීන්දුව වැදගත්. ඒත් ඒක ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. පාස්කු ප්‍රහාර වගේ සිදුවීම් ඇතිවූ රටවල් ගොඩ ගියේ තරගකාරීව ව්‍යාපාරිකයන්ට ක්‍රියාකළ හැකි ලෙස බංකු පොලී අඩුකරන්න ඒ රටවල ආණ්ඩු ක්‍රියා කළ නිසයි.” අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි පලකළ අදහසට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පලවිය.

ලිට්‍රො ගෑස් අවුල

“ලිට්‍රො ගෑස් එකේ අධ්‍යක්ෂක මණ්ඩලය කිසිම හේතුවක් නැතුව පන්නලා මංගල ඇමතිතුමා අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් දැම්මාම සේවකයොත් ඒකට විරුද්ධ වුණා. ඉවත් කරපු අධ්‍යක්ෂක මණ්ඩලය උසාවි ගිහින් අලුත් අධ්‍යක්ෂක මණ්ඩලයටවිරුද්ධව වාරණයක් ගත්තා. ඒක මාසෙකට වලංගු වුණා. ඊට පස්සෙ මංගලගෙ කණ්ඩායම ගෑස් එකේ බලය යලිත් තහවුරු කලත් පරණ අධ්‍යක්ෂකවරු ආපහු උසාවි ගිහින් තමන්ගෙ තැන තහවුරු කරගත්තා. දැන් එතන බලය දරන්නෙ ඒ අයයි. ඒ අතරෙ මංගලගෙ අලුත් අධ්‍යක්ෂ මණ්ඩලය ගෑස් එක විකුණන්න හදනවා කියල සේවකයොත් එය වළකන  උසාවි නියෝගයකුත් අරන්. ඒ අතරෙ මංගලගෙ කණ්ඩායම දැන් යලිත් උසාවි ගිහින්. මේ ගැටුම නවත්තන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනෑ. වරදක් නොකළ අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉවත්කිරීම වැරදියි. සේවක හඬට කන්දීමත් වැදගත්. 2001 චන්ද්‍රිකාගෙ ආණ්ඩුව පෙරලපු පරාක්‍රම බන්දුල ගුණවර්ධන හා කඩුවෙල නගර සභාවේ හිටපු එජාප සභාපති මුදිත පීරිස්ල වැනි පරණ අධ්‍යක්ෂකවරු එක්කයි සේවකයොත් ඉන්නෙ” එජාප නීති උපදේශකයෙක් කීය.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අරලියගහ මැදුරේදී බ්‍රහස්පතින්දා පෙ.ව.09:30ට ඇරැඹූණේ අගෝ.05 දා අත්සන් කිරීමට නියමිත පුළුල් සංධානයට අනුමැතිය ලබාගැනීමටය. එහිදී කතාකළ කබීර්, මංගල, තලතා, මද්දුමබණ්ඩාර,අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ ඇතුළු පිරිසක් ප්‍රකාශ කළේ එජාප ජනපති අපේක්ෂකයා නම්කොට ඉන් අනතුරුව මෙම සංධානය අත්සන් කළ යුතු බවය. එහෙත් අගමැතිවරයාගේ ස්ථාවරය ඊට මදක් වෙනස් විය.

“එජාපෙ පක්ෂ නායකයින් මාස 03 ක් තිස්සේ සමහර දවස්වල රෑ පුරා මේ සංධානයට අදාල කටයුතු නිමකළා. සංධානයට අදාල ව්‍යවස්ථාවත් හැදුවා. එජාපය එම සංධානයේ ප්‍රධානතම පක්ෂයයි. සංධානයේ නායකත්වයත් අපට ලැබෙනවා. ඕනම තින්න්දුවකදී නිෂේද බලය පාවිච්චි කිරීමේ බලයත් අපිට තිබෙනවා. එජාපය පැත්තෙන් මලික්ලට මේ ව්‍යවස්ථාවට අදාල සංශෝධන තියනවනම් ඉදිරිපත් කළොත් ඒවත් ඇතුල් කළ හැකියි.” අගමැතිවරයා පැහැදිලි කළේය.

එමෙන්ම නවීන් දිසානායක, ජෝන් අමරතුංග, කාවින්ද ජයවර්ධන ඇතුළු පිරිසක් කීවේ සංධානය බිහිවීම තුල ජනපතිවරණ ජයග්‍රහණය වඩා පහසුවන බවය.

එහෙත් විවිධ තර්ක විතර්ක මැද ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති ගැන මෙන්ම අපේක්ෂකත්වය නම් කිරීමට පෙර සංධානය ගැසීමේ තත්වයට කණ්ඩායමක් යම් විරෝධතාවයක් දිගටම පලකරන්නට විය.

සංධානය ගහනවද නැද්ද

“මේ කෘත්‍යාධිකාරිය රැස්වුණේ සංධානය ගහනවද නැද්ද කියල තීන්දු කරන්නයි. කාගේත් එකඟත්වයෙන් අපි මේක කරමු. නැත්නම් ඡන්දයක් විමසලා බලමු. එතකොට එන තීන්දුව මට පක්ෂ නායකයින්ට දන්වන්න පුළුවන්” අගමැතිවරයා කීවේය.

“පුළුල් සංධානයක් බිහිවීම මමත් අනුමත කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියළු ජාතීන් හා සියළු සංවිධාන හා විවිධ කණ්ඩායම් එකතු කරගැනීමෙන් එජාප ජයග්‍රහණය පහසු වෙනවා. ඒ නිසා සංධානයේ ලේකම් ධූරය අපේ කණ්ඩායමට ලබාදෙන්න. මම වුණත් ඒක බාරගන්න අකමැත්තක් නෑ. අපි සමගියෙන් කටයුතු කරමු. වාද විවාද හා කල්ලි කණ්ඩායකම් බිහි නොවෙන්න අපි සියළුදෙනා කටයුතු කරලා මේ ඊලඟ ජනපතිවරණ ජයග්‍රහණය අප සතුකරගනිමු. වසර 70ක් දුක් විදින මේ රටේ ජනතාව හා සංවර්ධනය ඉල්ලල වැලපෙන මේ රට කව්රුත් එකතුවෙලා ගොඩදාමු”  සජිත් ප්‍රේමදාස අවසානයේ ඉතා සංවේදීව පළකළ අදහස් කාගේත් අවධානයට ලක්විය.

අනතුරුව පැවති ඡන්ද විමසීමේදී සංධානය ගැසිමට පක්ෂව ඡන්ද 35ක් හා ඊට එරෙහිව ඡන්ද 10 කට ආසන්න සංඛ්‍යාවක් ලැබිණ. මෙහිදී සමහරු සෘජුවමද තවත් සමහරු බාගෙට අත් ඔසවමින් තම ඡන්දය ප්‍රකාශ කිරීම කැපී පෙනෙන ලක්ෂණයක් විය.

“එජාපෙ අපේක්ෂකයා කවුද කියන එක නායකතුමා සජිත් හා කරූ තුන්දෙනා කතාකරලා බේරගන්න. එහෙම නොවුනොත් අපේ සමහරු විපක්ෂයට ප්‍රහාර එල්ල කරනවා වෙනුවට පක්ෂය ඇතුලේ අයටම දිගටම පහර දෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක විශාල අවාසියක් හා උඩ බලාගෙන කෙල ගැසීමක් වේවි.” කෘත්‍යාධිකාරිය නිමවා පැමිණි අගමැතිවරයාට දිනේෂ් වීරක්කොඩි කීවේ එවැන්නකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *